මම ලංකාවට හරිම ආදරෙයි | Page 3 | සිළුමිණ

මම ලංකාවට හරිම ආදරෙයි

සෙකන්ඩ් ෂෝ වෙනුවෙන් ලංකාවට ඉන්දියාවෙන් පෑ තාරකාව පල්ලවී

හේමාල් කියන්නේ ඉතා නිහතමානී පරාර්ථකාමී රංගන ශිල්පියෙක්. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ඔහු මට සිංහල දෙබස් උච්චාරණය කරන හැටි පවා කියා දුන්නා. ඇත්තෙන්ම සතුටුයි එවැනි නිහතමානී චරිතයක් සමඟ වැඩ කරන්න ලැබීම ගැන

ජනප්‍රිය ඉන්දීය සිනමා තාරකාවක් වන පල්ලවී සුභාෂ් පසුගියදා (18දා) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් යානයෙන් ලංකාවට පැමිණියා. ඒ ඇය රංගනයෙන් දායක වන ලාංකේය නිෂ්පාදන දායකත්වයක් ලැබුණු second show චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම සඳහා.

 

ඒ අනුව ශ්‍රී ලංකා – ඉන්දීය සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ "ඩාර්ක් රූම් ක්‍රියේෂන්ස්" වෙනුවෙන් කෞශල්‍යා වික්‍රමසිංහ ප්‍රථමවරට සම නිෂ්පාදනයෙන් දායක වූ ගනේෂ් මහදේවන් නිෂ්පාදනය කළ ඉන්දීය දමිළ ජාතික A.T Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ " සෙකන්ඩ් ෂෝ" චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූණා.

“සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය “Suspense, Thriller, Fantacy” ගණයට අයත් චිත්‍රපටයක්.

2019 වර්ෂයේදී නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මින්හැම්වල) රූපගත කළ මේ චිත්‍රපටය, එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි. මෙහි සිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂක තිසර ඉඹුලානගෙන්.

මෙහි සිංහල ගීත සහ දමිළ ගීත ඇතුළත් අතර සිංහල පද කසුන් හීනටිගල විසින් රචනා කර තිබෙනවා. එම ගීත කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂානි සඳරේකා, දිනේන්ද්‍ර බණ්ඩාර, කාවින්දි ගුණවර්ධන, යන ලාංකේය ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබනවා.

"සෙක්න්ඩ් ෂෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ලාංකේය සිනමා නළු හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවි සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර්, කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂතා සොනාවනේ සහ ගුජරාටි නිරූපණ ශිල්පිනී පූජා මොන්ඩල් ඇතුළු පිරිස.

ශ්‍රී ලංකා – ඉන්දීය සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ජුනි අග මාසයේදී ලොවපුරා තිරගත වීමට නියමිතයි. මෙය “Suspense, Thriller, Fantacy” ගණයට අයත් චිත්‍රපටයක්.

second show චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම සඳහා පැමිණි ඉන්දීය නිළි පල්ලවී සුභාෂ් කියා සිටියේ ශ්‍රී ලංකාවට තමන් මහත් සේ ආදරය කරන බවත්, තමන් මින් පෙර රඟපෑ "යශෝධරා චිත්‍රපටයේ" යශෝධරාගේ චරිතය නිසා තමන්ට ආදරය කරන ශ්‍රී ලාංකේය පිරිසක් තමන් වටා සිටින බවයි. ඒ නිසා මෙරට කුමන දේශපාලන හෝ සමාජීය ප්‍රශ්න ඇති වුවද ඉන් තමන්ට බලපෑමක් නොවන බව විශ්වාස නිසා තමන් මෙවර ලංකාවට පැමිණි බවද ඇය කියා සිටියා.

"මෙවර මම ලංකාවට පැමිණියේ second show චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීමට. මෙතැනදී විශේෂයෙන්ම කිව යුතුයි කෞශල්‍යා වික්‍රමසිංහ ගැන. ඇය තමයි මාව ලාංකේය සිනමාවට හඳුන්වා දෙන්නේ. ඇය මට මගේ අම්මා වගේ. මේ ඇයගේ පළමු ශ්‍රී ලංකා – ඉන්දීය සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ චිත්‍රපටය. ඒ නිසා ඇයගේ ආරාධනාව මම ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද?"

පල්ලවී මෙම සිනමා නිර්මාණයේ රංගනයෙන් දායක වන්නේ ලාංකේය සිනමාවේ ජනප්‍රිය තරුවක් වන හේමාල් රණසිංහ සමඟ. ඒ නිසා ඔහුගෙන් ලැබුණු සහයෝගය ගැනත් ඇය කියා සිටියා.

හේමාල් කියන්නේ ඉතා නිහතමානී පරාර්ථකාමී රංගන ශිල්පියෙක්. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ඔහු මට සිංහල දෙබස් උච්චාරණය කරන හැටි පවා කියා දුන්නා. ඇත්තෙන්ම සතුටුයි එවැනි නිහතමානී චරිතයක් සමඟ වැඩ කරන්න ලැබීම ගැන.

“සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය සමඟින් ශ්‍රී ලංකා – ඉන්දීය සම නිෂ්පාදනයෙන් එක් වන්නේ කෞශල්‍යා වික්‍රමසිංහ. ඇය ද “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ගැන මෙලෙස අදහස් පළකර සිටියා.

“සෙකන්ඩ් ෂෝ” කියෙන්නේ මගේ ප්‍රථම සම නිෂ්පාදනය. මේ චිත්‍රපටය ලබන ජුනි 23වනදා සිට ඉන්දියාවට සමගාමිව ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කරනවා. මෙය ද්විභාෂා චිත්‍රපටයක් නිසා සිනමා රසිකත්වයට සිංහල සහ දමිළ බසින් “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය දැක බලා ගන්නට අවසථාව උදා වනවා. එමෙන්ම “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයේ සිංහල සහ දමිළ ගීතවල අයිතිය ඉන්දියාවේ Divo සමාගම හා ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ආයතනයට ලබා දී තිබෙනවා.

මෙය සාර්ථකව තිරගත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර, නුදුරේම සිය දෙවන නිෂ්පාදන කටයුත්ත සිංහල සහ හින්දි බසින් නිර්මාණය කරන බවද කෞශල්‍යා වික්‍රමසිංහ කියා සිටියා.

Comments