මම කැමති ආදර ගී විඳින්න | සිළුමිණ

මම කැමති ආදර ගී විඳින්න

මා කැමති ගීත ත්‍රිත්වය ම ආදරය, ප්‍රේමය, ප්‍රේමයේ අපේක්ෂාව, වියොව තේමා කොට ගත් ගීත. මම ආදරයට කැමතියි. මට දැනෙන්නෙ ආදරය මගේ ජීවිතයෙ ම කොටසක්, මට ජීවත්වීමට අනුප්‍රාණය දෙන්නක් ලෙස. එය මගේ බිරියගේ දු පුතුන්ගේ එහෙමත් නැත්නම් පෙම්වතියකගේ ආදරය වෙන්න පුළුවන්. ඒ ආදරය මට අවශ්‍යයි. ආදරයක් අහිමි වුණාම දැනෙන දුක වේදනාවත් විඳ ගැනීමේ ශක්තියත් මා සතුයි. කවුරුන් හෝ කියනවා නම් ඔහු හෝ ඇය ආදරයට වෛර කරනව කියල ඒක තමන්ගෙ හිත රවටා ගැනීමක්. සැබෑ ආදරය සමඟ වෛරය නෑ.

 

මහාචාර්ය සරච්චන්ද්‍රගෙ පෙමතො ජායතී සොකො නාට්‍යයේ ඇඳුරුතුමා වන්න මගේ... ගීතයට මම දැඩි ලෙස ආදරය කරමි; ඇලුම් කරමි. නාට්‍යමය ජවනිකාවේ රඟපාන්නෙ වයෝවෘද්ධ උද්දාල බමුණා සහ ළාබාල සුකුමාර ස්වර්ණතිලකා ය. එය අසම්මත පෙම් බැඳුමකි; විවාහයකි. පළමු නිෂ්පාදනයේ සිට මා ස්වර්ණතිලකාවන් කීපදෙනෙක් ම දැක ඇත්තෙමි. ඒ මනුලා බටුගෙදර, තමරා ජයන්ති ද සිල්වා (විවාහයෙන් පසු මනෝරත්න ) රත්නාලාලිනී ජයකොඩි හා නිහාරි සෝමසිරි ආදීන් ය.

උද්දාල බමුණා ජයලත් මනෝරත්න ය. පසුකාලීන රූපවාහිනී වැඩසටහන් කීපයක දී ඉන්දිකා උපමාලි විසින් හා පසුව මාධනී මල්වත්ත විසින් ද මේ ගීතය අපූරුවට ගායනා කරනු රස විඳ ඇත්තෙමි. ජයන්ත අරවින්දගේ අපූරු ගී තනුව හා සංගීතයෙන් වර්ණවත් වුණු මේ ජවනිකාව එක්වරක් හෝ නරඹා ඇත්තකුට මේ ගීතය හද රිදවන ප්‍රේමයේ සංකීර්ණ මානව සබඳතා මතු කෙරුණු ගීතයක් ලෙස හදෙහි නිදන්ගත වූවාට කිසිදු සැකයක් නැත.

 

ඇදුරුතුමා වන්න මගේ

නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර

ජීවිතයේ ගිරි දුර්ගය

නගින්ට අත්වැලක් දෙන්න

මහට දෙන්න ගුරු උපදෙස්

වියෝ වෙතත් මා ඔබගෙන්

නිරන්තරව සිහියට එන

සමීපයෙන් ඉවත් නොවී

දුකටත් සැපටත් දෙකට ම

නොහරින හිත මිතුරකු සේ

 

ස්වර්ණතිලකා තම වෘද්ධතර ස්වාමියාගෙන් සමුගැනීමට අවසර ඉල්ලා සිටින මොහොතෙදියි මේ ගීය ගයන්නී. සිරි රහල් හිමිට පසු සිංහල වියත් වහරෙහි ව්‍යංජනා ශක්තිය අතැඹුලක් සේ පිරිසිඳ දත් අග්‍රගණ්‍ය කවි ශක්තියකින් යුත් කවියා සරච්චන්ද්‍ර ලෙස මහා කවි ගුණදාස අමරසේකර දකින්නේ සිංහබාහු හා පෙමතො යන නාට්‍ය ගීතවලින් මතු කෙරෙන අර්ථ ධ්වනිය නිසා යයි සිතමි. ස්වර්ණතිලකා උද්දාල බමුණා අමතන්නී ඇදුරුතුමා යනුවෙනි. ඔහු ඊට නොරිසි ය. 'කුමටද මා අමතන්නේ - ඇදුරුතුමා යන පදයෙන් ? නොවෙම් ද මම ඔබ සැමියා - ඔබගෙන් පෙම් බසක් පතන ?' සැළමුතු ප්‍රේමය හමුවේ අසරණ වන ළාබාල ස්ත්‍රී චිත්තයක මනෝභාව මතුකිරීමෙහි ලා සරච්චන්ද්‍රගේ භාෂාව දිදුලන හැටි බලන්න.

ඔහු ඇයට ඔහුගෙන් ශිල්ප ශාස්ත්‍ර නොදෙයි. එහෙත් ඈ ඔහුගෙන් ඉල්ලා සිටින්නී ජීවිතය නම් ගිරි දුර්ගය තරණය කිරීමට අත්වැලක් වන ලෙසයි. ඈ ඔහුගෙන් වෙන් ව ගිය ද නිරතුරුව සිහියට එන දුකෙහි දී මෙන් ම සැපෙහිදීත් අත් නොහරින සමීපයේ ම සිටිනා මිතුරකු සේ සිහියට නැඟෙන්නට ඇයට ඇවැසි ය. බොහෝ කල්හි අප අත් විඳින ප්‍රේමයේ වේදනාව තුළින් දැනෙන සුවයට ආදරය කරමි.

පණ්ඩිත් අමරදේව මහා ගාන්ධර්වයාගේ සංගීත නිර්මාණයෙන්, ගායනයෙන් හා මහගමසේකර මහා ගේය කාව්‍ය රචකයාගේ කාව්‍ය සංකල්පනාවෙන් සුපුෂ්පිත වූ වසන්තයේ මල් කැකුළක් සේ ඔබ ගීතය මගේ දෙවන තෝරා ගැනීමයි.

 

වසන්තයේ මල් කැකුළක් සේ

හිනැහී හිනැහී ඔබ සිටියා

වසන්තයේ මල් පොකුරු නෙළා

ඔබ මා දෝතට ගෙනෙන තුරා

මඟ බලමින් මා සිටියා

සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ

ගහ කොළ මැලැවෙන ගිම්හානේ

අවසානේ ඔබ ආවා

ඔබ අත වූ මල් එකිනෙක පර වී

සුළඟේ විසිරෙනු මා දුටුවා

සුළඟේ විසිරෙන ඒ මල් අතරින්

ඔබගේ රුව මා දුටුවා

ඔහු ඈ මුලින් ම දකින්නේ වසන්තයේ මල් කැකුළක් ලෙසින් හිනැහි හිනැහී සිටිනා මොහොතක ය. ඈ මල් පොකුරු නෙළාගෙන ඔහු වෙතට එනු දැකීම ඔහුගේ එකම අපේක්ෂාවයි. එහෙත් සිදුවන්නේ කුමක් ද? වසන්තය ගෙවී යන තෙක් ම ඔහු මඟ බලා සිටිය ද ඈ නොවේ ඔහු සොයා එන්නී. එහෙත් අවසන් ඔහුගේ අපේක්ෂා දල්වමින් ඈ එනු ඔහු දකී. වසන්තය ගෙවී ගොස් අහස පොළොව ගිනියම් වූ ගහ කොළ මැලැවුණු ගිම්හානයේ දී ය ඔහු ඈ දකින්නේ. ඈ ඔහුගේ අපේක්ෂාව සඵල කරන්නී ද? වසන්තය ගෙවී එළැඹෙන ගිම්හානය කෙබඳු ද? අහස පොළොව ගිනියම් වූ අව්වේ ගහ කොළ මැලැ වී ගොසිනි.

ඔහුගේ අපේක්ෂාවනට අත්වන ඉරණම අපුරු චිත්ත රූපාවලියකින් විශිෂ්ට ලෙස සේකර ප්‍රතිනිර්මාණය කරයි. ගීතයෙහි කූටප්‍රාප්ත මොහොත තුළින් සදාකාලික නොවන ආදරයේ අනිත්‍ය ස්වභාවය සංකල්ප රූප මඟින් පාඨක ශ්‍රාවක හද සසල කරමින් සමීප කරවීමට අමරදේවගේ ළයාන්විත ස්වරය ද සේකරගේ අර්ථපූර්ණ සංකේතාර්ථ නංවන වදන් ද සමත් වේ. පරවුණු මල් සුළඟේ විසිරී යද්දී ඒ මල් අතරින් කථකයා ගේ අපේක්ෂාවේ රුව දකින්නට සැලස්වීම උත්ප්‍රාසය දනවන්නක් යැයි හැඟේ.

ආදරයේ ම චමත්කාරජනක වූත් සුන්දර වූත් එමෙන් ම හුදෙකලා ශෝකී අත්දැකීමකින් නිරතුරුව ම හද රිදවන තුන්වන ගීතය ගයන්නී විශාරද නන්දා මාලිනී ය. ගේය කාව්‍ය සංකල්පනාව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ය. සංගීත නිර්මාණයෙන් දායක වී ඇත්තේ එච්. එම්.ජයවර්ධන ය.

 

නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි

ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන බිඟුන් බමනා

ස්නේහයේ ජල තරඟ බිඳෙනා

නිල්ල දිලෙනා නිම්නයේ

ගරා නොවැටෙන නවාතැන ඔබ

දයාවේ සඳ සිසිල ලබනා

සාමයේ මඳ පවන රඳනා

හිම මිදෙන මිටියාවතේ

සදා උණුසුම් නවාතැන ඔබ

 

ජීවිතය දිගු වන්දනා ගමනක් නම් විරාමයක් සඳහා මොහොතකට නවතින නවාතැන් පොළ වී ඔබ සිටිනු පෙනේ. අතිශය සුන්දර වූ පරිසරයක ගරා නොවැටී ඇති නවාතැන් පොළ ඔහු වීම ජීවිතයේ ඈ ලද භාග්‍යයක් ද? නිම්නයේ නිල්ල බිඳෙයි. බමන්නේ ආලයේ වන බිඟුන් ය.බිඳෙන ජල තරඟ ස්නේහයේ තරඟ වේ. මේ සියල්ල මැද ගරා නොවැටී ඔබ සිටී. ඔබ මගේ ජීවිතාපේක්ෂාව දල්වන්නේ ද? ඈ පතන දයාවේ සඳ සිසිල, සාමයේ මඳ පවන ඔහුගෙන් ඈ විඳියි.

මේ නවාතැන් පොළ හිම මිදෙන මිටියාවතක නැවතුම් පොළකි. හිම මිදෙන මිටියාවතක සීතල ඇයට නොදැනේ. ඒ සදා කල්හි ම උණුසුම සදන නවාතැන ඔහු වීම නිසාය. හිම මිදෙන මිටියාවතක සදා උණුසුම් නවාතැන් පොළක් ? ඇදහිය හැක්කක් ද? ආදරවන්තියකට ආ සමීපයෙහි ම සිටිනා ඇගේ ප්‍රේමවන්තයා ගේ රැකවරණය උණුසුම ආදරය සදා උණුසුම් නවාතැනක් වීම අරුමයක් නොවන්නේ ය.

නන්දා මාලිනී ගේ මධුර හඬ පෞරුෂය මේ ප්‍රේම ගීතයේ ආත්මය සේ මට දැනේ. සිත තැවුලින් දුකින් පිරුණු මොහොතක නවාතැන් පොළට ගොස් සුනිල්, නන්දා එච්. එම්. සුසංයෝගයෙන් නිමැවුණු මේ ගීතයේ මිහිර විඳින්නට පුරුදුව සිටිමි. ආදරය කිරීමට පටන් ගන්නා මොහොතක ඔබ තාවකාලික උන්මත්තකයකු බවට පත්වන්නේය යන කියමන සැබෑවක් නොවෙද කියාත් මෙවන් ගී ඇසෙන මොහොතක මට සිතේ. තාවකාලික උන්මත්තකයකු වන්නේ ද සැබෑ ආදරවන්තයෙක් ම නම් එහි කිනම් දොසක් ද?

බුද්ධදාස ගලප්පත්ති

Comments