
බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය
සුදත් අබේසිරිවර්ධනගේ නිර්මාණයක් වුණු “Breathing Memories” කෙටි චිත්‍රපටය 07 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. අකලංක ප්‍රභාෂ්වර, රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටයේ තිර රචනය ද සුදත් අබේසිරිවර්ධන විසින්ම සිදු තිබෙනවා. අද රසඳුන මේ කතාබහ Breathing Memories කෙටි චිත්‍රපටය ගැන සුදත් අබේසිරිවර්ධන සමඟ.
ඔබේ නිර්මාණ පසුබිම ගැන කතා කරොත්
මෙය මගේ තුන්වෙනි කෙටි චිත්‍රපටය. 2015දී තමයි මම පළමුවෙන්ම කෙටි චිත්‍රපටයක් කළේ Dying Dreams නමින්. ඊට පස්සේ 2017දී/ Where's my route කියන කෙටි චිත්‍රපටය කළා. තුන්වෙනි නිර්මාණය Breathing Memories කෙටි චිත්‍රපටය.
කොහොමද මේ Breathing Memories කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ
මේ Breathing Memories කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්න මට අවස්ථාව ලබා දෙන්නේ නැගෙනහිර පළාතේ ජිවත් වෙන අපේ දමිළ සහෝදරයන් දෙදෙනෙක් වන අනන්ත රාමනන් සහ වඩමලෙයි රාජ්කුමාර්. බ්‍රිතාන්‍ය කවුන්සිල් එකේ ව්‍යාපෘතියක් හැටියට තමයි ඒ අයට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කෙටි චිත්‍රපට 5ක් නිර්මාණය කරන්න. සිංහල, දෙමළ, මුස්ලිම් අධ්‍යක්ෂවරුන් යටතේ. එතකොට ඒ අය සිංහල අධ්‍යක්ෂවරයෙක් හොයද්දි තමයි මට අවස්ථාව ලබා දුන්නේ. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ සිංහල දෙමළ ශිල්පීන්.
Breathing Memories කෙටි චිත්‍රපටයට වස්තු විෂය වෙන්නේ මොකක්ද?
යුද්දෙන් වසරකට පසුව සහජීවන වැඩමුළුවකට යන උතුරේ ජිවත් වුණු තරුණියක් සහ දකුණේ ජීවත් වුණු තරුණයෙක් වටා තමයි මෙහි කතාව නිර්මාණය වෙන්නේ. මේ වැඩමුළුවෙන් පස්සේ තරුණයාගේ මතක එක්ක තමයි මේ විනාඩි 8ක කාලය ගතවෙන්නේ. පළවෙනි දෙබස "මට කවුරුත් මතක නැහැ, කෙල්ල විතරයි මතක" මේ දෙන්නා අතර සම්බන්ධතාව ගොඩනැඟෙන ආකාරය, එය බිඳ වැටෙන ආකාරයයි මෙහි අන්තර්ගතය වී තිබෙන්නේ.
මෙම චිත්‍රටපටයට දායක වූ කණ්ඩායම ගැනත් මතක් කරමු
රංගනයෙන් අකලංක ප්‍රභාෂ්වර, රසිකා අරුල්චෙල්වම්, රචනය හා අධ්‍යක්ෂණය සුදත් අබේසිරිවර්ධනගෙන්, නිෂ්පාදනය වඩමලෙයි රාජ්කුමාර්ගෙන්, කැමරා අධ්‍යක්ෂණය කුලරුවන් ගමගේ, සංස්කරණයෙන් සංඛ මල්වත්ත, සංගීතය චින්තක ජයකොඩි, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රමෝද් එදිරිසිංහ, රංග වින්‍යාසයෙන් ප්‍රදීප් රාමවික්‍රම, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් අනන්ත රාමනන්, අංග රචනයෙන් පාලිත අබේලාල්, කලා අධ්‍යක්ෂණයෙන් ආර්ට් කෑම්ප්, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ජොෂුවා හෙබී, වර්ණ අධ්‍යක්ෂණයෙන් හසිත ජයසංඛ, ප්‍රචාරක මෙහෙයුම්වලින් සමීර වීරසේකර හා නිෂ්පාදන කළමණාකරණයෙන් චාමර ගමඇතිගේ මේ සඳහා දායක වුණා.
මේ වෙද්දී ලැබුණු සම්මාන ගැන මතක් කළොත්
මම නිර්මාණය කළ කෙටි චිත්‍රපට තුනම සම්මානිත වූ නිර්මාණ. “Breathing Memories” කෙටි චිත්‍රපටය ගැන කියනවා නම් National Creative Art Foundation (Hong Kong/USA) ආයතනය පැවැත්වූ RunDoc Talent Film Award උළෙලේදි සම්මානයක් ලැබුණා. දෙවැනි සම්මානය ඉතාම තරගකාරී චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමෙන් ලැබුණු සම්මානයක්. Bengal International Short Film Festival හි Best Short Fiction.මේ උළෙල සඳහා රටවල් 17 ක කෙටි චිත්‍රපට ඉදිරිපත් වී තිබුණා.
එහිදී අවසන් වටය සඳහා කෙටි චිත්‍රපට 16ක් තෝරාගෙන තිබුණා. ඒ චිත්‍රපට 16 අතර ප්‍රංශය, ස්වීඩනය, තුර්කිය,එක්සත් රාජධානිය, ස්පාඥ්ඤය, චෙක් ජනරජය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව(බෙංගාල,හින්දි,කන්නඩ) වැනි රටවල නිර්මාණ ඇතුළත් වුණා. මෙම උළලේ ප්‍රධාන සම්මානය වන හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානයයි මගේ “Breathing Memories”කෙටි චිත්‍රපටයට හිමිවුණේ.
සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙනද නිර්මාණ කරන්නේ
කොහෙත්ම නැහැ. අපේ කණ්ඩායමට ඕනේ වුණේ මේ නිර්මාණය කරාට පසුව හැකි ඉක්මණින් ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න. ඒ නිසා තමා අපි මෙය යූ ටියුබ් මාධ්‍යට මුදාහැරිම සිදු කරේ. ඇතැම් සම්මාන උළෙලවල් සඳහා යූ ටියුබ් දැමු නිර්මාණ බාර ගන්නෙත් නැහැ.
මෙතනින් එහාටත් සම්මාන උළෙලවල් සඳහා යොමු කරලද තියෙන්නේ
ඔව්, සම්මාන උළෙලවල් කිහිපයකට මෙය යොමු කරලා තියෙනවා. බංගලාදේශයේ සම්මාන උළෙලක තරගකාරී අංශයට ගන්නවා කියලා මේ වෙද්දී මට ඊමේල් පණිවුඩයක් හරහා දැනුම් දීලා තියෙනවා.
අපි කතා කරපු මේ ප්‍රස්තුතය, ලංකාවේ සන්දර්භය ඇතුළේ අපි කතා කරපු දේ කොහොමද අපිට වෙනස් වූ සමාජයන් සහ සංස්කෘතීන් බාරගන්නේ කොහොමද කියන එක මේ සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් කිරීමෙන් මට දැන ගන්න ලැබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.
ඉස්සරහට කලාව එක්ක මොන වගේ ගනුදෙනු කරන්නද අදහස තියෙන්නේ
මගේ ආරම්භය එක්ක මගේ නිර්මාණ ප්‍රවේශය වෙන්නේ නාට්‍යය. 2002 ඉඳන් විශ්වවිද්‍යාලයේ සිට "වේදිකාවෙන් මහ පොළවට නාට්‍යය උළෙලේ" අවසාන වටයට කෙටි නාට්‍යයක් නිර්මාණය කිරීමත් සමඟම අවුරුදු ගණනාවක් තිස්සෙ කෙටි නාට්‍යය 5ක් සහ දිගු නාට්‍යයක් නිර්මාණය කළා. 2020 දී කළ "ගිනි ගිනි මාලේ දිගු නාට්‍යය" රාජ්‍ය නාට්‍යය උළෙලේ දී අවසන් වටයට තේරෙන නාට්‍යයක් බවට පත්වෙනවා.
මම නාට්‍යය වෙනුවෙන් යෞවන සහ රාජ්‍ය සම්මාන ලබනවා. ඒ නිසා මට තිබුණේ නාට්‍යය පසුබිමක්. 2015 න් පස්සේ තමයි මම කෙටි චිත්‍රපට ප්‍රකාශන මාධ්‍යක් විදියට තෝරා ගත්තේ. මට හිතෙනවා මේ මාධ්‍යයන් දෙක ඇතුළෙ කරපු උත්සාහයන් එක්ක ඉදිරියේදී නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කියන මාධ්‍යන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ.
අවසාන වශයෙන් කලාවේ ඔබේ දැක්ම මොකක් ද?
මගේ කලාත්මක ප්‍රකාශන හරහා මට තියෙන අදහස තමයි මම සාමාන්‍යය මනුස්සයෙක් විදියට මේ සමාජය එක්ක ගනුදෙනු කරන ආකාරය, මම මේ සමාජයේ පවතින දේශපාලන ආර්ථික සමාජීය දේවල් සමඟ ගැටෙන ආකාරය සහ ඒ සංකල්පම තමයි මගේ නිර්මාණ තුළින් මම මතුකරගන්නේ. එක්තරා විදියකට මමත් මේ තුළ ජිවත් වෙද්දී ඔබත් සමඟ හැඟීම් හුවමාරුවක් කරන්න මම මගේ නිර්මාණ භාවිත කරනවා.