
1.මගේ පළමු නවකතාව
කර්තෘ ප්රකාශනයක් ලෙස 2005 වසරේදී එළිදැක්වූ "වසන්තය සිනහ විය'' මගේ මුල්ම නවකතාවයි. ඒ වන විට අප පදිංචි වී සිටියේ ඩුබායි රාජ්‍යයේ.මගේ පුතා මොන්ටිසෝරියට දාලා එයින් පිටත වාඩිවෙලා තමයි මුල්ම නවකතාව ලියූවේ. එය නෑනා හා මස්සිනා අතර ආදරයක් වන අතරම පාසල් ප්‍රේමය අළලා ලියූවක් .
2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
'පාසල් කාලයේ ප්‍රේමය' අප කාටත් සුන්දර මතකයක්. මම මේ පොත ලියන කාලයේ විවාහ වී එක් දරු මවක් වුණත් අපේ පාසල් කාලයේ අත්විඳි පුංචි ප්‍රංචි ආදර බැඳීම් අපේ මිතුරියන්ගේ පෙම් සබඳතාවන්හි මතක "වසන්තය සිනහ විය' නවකතාවේ ඇතුළත්. ඒවා මේ නවකතාවේ මගේ මතකයේ රැඳෙන සිදුවීම්.
පළමුවන නවකතාව වගේම මගේ දෙවැනි නවකතාව ''සිතින් බැඳී ඇති නිසා" මා ලියූවේ මගේම පාසල් කාලය, දහම් පාසල් කාලය හා යෞවන සමිතිවල ගත කළ සත්‍ය අතීතය පසුබිම් කොට ගනිමින්. බලපිටිය උපන් ගම කොටගත් මගේ ළමා විය හා යොවුන් විය එම ගමේ ගෙවා දැමූ අන්දම මා සිත්තම් කළේ මෙම නවකතාවේයි.
3. මගේ වෙනත් නව කතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
මා මේ වන විට ලියා ඇත්තේ නවකතා 16ක් වුවද බොහෝ කතා කොටස් දෙකකින් යුක්තයි. 2009 දී මා ලියූ "පෙම්වන්තියේ" පොත කොටස් 6ක්. එහි පිටු 1708කි. 2009 වසරේ ලංකාවේ දිගම නවකතාව එය බවද සූරිය ප්‍රකාශන අධිපතිතුමා මට පැවසුවා. පෙම්වන්තියේ පොත සුරංගි අතුකෝරල යන නම ලංකාව තුළ මෙන්ම වෙනත් රටවල ලාංකිකයන් අතරද මා ප්‍රසිද්ධ අයකු බවට පත් කළා. මේ වන විට එහි දෙවන මුද්‍රණයද මා හතර පස් වතාවක්ම මුද්‍රණය කර තිබෙනවා. මගේ ලේඛන දිවියේ සංධිස්ථානය පෙම්වන්තියේ කතාව බව මට නොබියව කියන්න පුළුවන්. මේ නවකතාව එක් පාඨකයෙක් 48 වන වාරයක් කියවූ බව මට පැවැසුවා.
රණවිරුවකුගේ ආදරය හා සෙනුෂි 1, 2 පොත් මා ලියූවේ අවසන් භාගයේ පැවති යුද්ධයේ සත්‍ය සිද්ධීන් හා සත්‍ය චරිත ද පදනම් කොටගෙන. ඉමන්දි ටීච නවකතාව ද ලියුවේ 2016 පැමිණි මහා ගංවතුරත් සැබෑ ජීවත්වන උඩුදුම්බර පාසලක ගුරුවරියකගේ චරිතයත් තෝරාගෙන.
මේ බොහෝ කතාවලට ඇත්තේ සත්‍ය අතීතයක්. මගේ නවකතා ලිවීමේ සුවිශාලම අරමුණ අප රටේ පරිසර සම්පත්, පුරාවස්තු ආරක්ෂා කර ගැනීමයි.
4.මා නොලියූ, මා කැමති වෙනත් පොත්
මා නවකතා ලිවීමට පෙර නවකතා කියවීමෙහි ඉමහත් රුසියෙක්. ලියන්නට ගත් පසු නවකතා කියවීම අත්හැරියා. මා පසුකාලීනව මිලට ගත්තේ හා කියවූයේ පරිසරය, ගහකොළ හා ඓතිහාසික ස්ථාන සම්බන්ධ පොතපත පමණයි. පාසල් කාලයේ මගේ ප්‍රියතම පොත වූයේ කතා සරිත් සාගරයයි. එයින් පසුව ඇටමැස්සා පොතද මොන්තක්‍රිස්තෝ සිටුවරයා පොතද ඉතා ප්‍රියකරන පොතක්. මා අලුත් නවකතාවක් ලිවීමට පෙර මගේ පරණ පොතක් 2ක් යළිත් කියවන්නට පුරුදුව සිටිනවා. ඒ මා ලියන ශෛලිය මනසට ගැනීමටයි.
5.මගේ ඉදිරි සැලසුම්
කොරෝනා වසංගත සමයෙන් පසු පොතක් ලියන්නට සිත තාමත් සමහන් වී නැහැ. මගේ මීළඟ නවකතාව බෙහෝ විට සමාජය තුළ අප කතාකරන මාතෘකාවක් හා සබැදේවි. රටේ වාතාවරණය හා මුද්‍රණ ගැටලු ලේඛකයා කොතැනින් කොතැනට රැගෙන යාවිදැයි සිතන්න බැරි තරමට වර්තමානය අවිනිශ්චිත වූවත් අපේ ආදරණිය පාඨකයන් වෙනුවෙන් අප ලිවිය යුතුය.