
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන
විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පළමු මාස දෙක ඇතුළත මම මගේ පළමු වන ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා
මම කුඩා කාලේ පටන් චිත්‍ර අඳින්න දක්ෂයි. මාමලා දෙන්නෙක් ම චිත්‍ර ශිල්පීන් වීම නිසා මටත් ඒ හැකියාව ලැබෙන්න ඇති
විශ්වවිද්‍යාල ජිවිතයේදී හමුවූ කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්යවරු සැමදෙනා ම මට ලොකු සහායක් වුණා
තෙලිතුඩ අනාගතය කර ගත් නමුත් සිනමාව සිත්තම් කරන ඔහු පසුගිය 20 වැනිදා දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශාධිපතිවරයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන යි. එම අධ්‍යයන අංශයේ මේ වනවිට සිටින ජ්‍යෙෂ්ඨත ම කථිකාචාර්යවරයා ද වන ඔහු අංශාධිපති තනතුරෙන් ඉවත් ව සිනමා ප්‍රේක්ෂකත්වය පිළිබඳ සිය ආචාර්ය උපාධි කටයුතුවල නිරත ව සිටින්නේ ය.
“අපේ රටේ සිනමා නිර්මාණ ජාත්‍යන්තර සිනමා උළෙලවලින් විශිෂ්ට සම්මාන ලබා ගන්නවා. නමුත් අපේ රටේ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් නැති ව ඒවා වැසී යනවා. අපේ සිනමා කෘතියක් අඩු ම තරමේ අපට මාලදිවයිනටවත්, ඉන්දියාවටවත්, කේරළයටවත් අලෙවි කිරීමේ සිනමා කර්මාන්තයක් නැහැ. අපේ සිනමාව කලාවක් විදිහට ඉදිරියට ගියාට කර්මාන්තයක් විදිහට පසු බහිනවා. නමුත් 70 දශකයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් තමන්ගේ පවුල් පිටින් සිනමා ශාලාවලට ගිහින් චිත්‍රපට නැරඹුවා. සිනමා ශාලාවලට නොගියාට රූපවාහිනියෙන්, ඩීවීඩී මඟින්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් තමන්ට පහසු ක්‍රම මඟින් අදටත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට නරඹනවා. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ගැළපෙන සිනමාවක් අපට නැහැ. එවැනි සිනමාවක් යළි ගොඩනඟන්නේ කෙසේද කියා මම මගේ ආචාර්ය උපාධි පර්යේෂණයේදී අධ්‍යයනය කරනවා.”
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදනය පිළිබඳ ගෞරව උපාධිය විශිෂ්ට සාමාර්ථ්‍යය සහිත ව 1998 දී හිමිකර ගත් ඔහු එම වසරේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ද වූයේ ය. උපාධි ප්‍රතිඵල නිකුත් වන්නටත් පෙර අධ්‍යයන අංශයේ ප්‍රදර්ශකයකු ලෙසත්, දෙමසක ඇවෑමෙන් ප්‍රතිඵල ලද පසු එහි ම සහකාර කථිකාචාර්යවරයකු ලෙස පත් වූ ඔහු 2002 වර්ෂයේදී ස්ථිර ආචාර්ය මණ්ඩලයට බැඳුණි. පහතරට සම්ප්‍රදායයේ කෝළම් නාට්‍ය කලාව සහ එහි සන්නිවේදනාර්ථ පිළිබඳ දර්ශනපති උපාධිය නිම කළ ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් බවට පත්වන්නේ 2007 වර්ෂයේදී ය. පළමු පෙළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තත්ත්වයට 2012 වසරේදී පත් වන ඔහු 2017 වසරේ අධ්‍යයන අංශයේ අංශාධිපති ධුරයට පත් වුණි. ඒ සමඟ ම ආචාර්ය උපාධි කටයුතු සඳහා යොමු වන ඔහු ඇමෙරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේත්, කැලණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා යොමු වන්නේ ය. එහිදී එහි මූලික පර්යේෂණ සඳහා ඇමෙරිකානු රජයෙන් පිරනමන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය ඔහුට හිමි වුණි.
“වසර පහක් මම අංශ ප්‍රධාන තනතුරේ හිටියා. එයින් මගේ ආචාර්ය උපාධි කටයුතු තරමක් ප්‍රමාද වුණා. මේ මොහොතේ මගේ ආචාර්ය උපාධි කටයුතුවල අවසාන අදියරේ ඉන්න නිසා අංශ ප්‍රධානකමෙන් ඉවත් ව අධ්‍යයන නිවාඩු ලබා ගන්න මම තීරණය කළා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සහ ඇමෙරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යුසුෆ් කල්වියන්ගෝ යන මහත්වරුන් මගේ ආචාර්ය උපාධි පර්යේෂකවරුන් හැටියට කටයුතු කරනවා.”
දකුණු පළාතේ අම්බලන්ගොඩ බටපොල උපන් ඔහු මූලික අධ්‍යාපනය ලැබූයේ නින්දාන මහා විද්‍යාලයෙනි. දෙවැනි ශ්‍රේණියේ සිට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් ව උසස් පෙළ දක්වා ම එහි අධ්‍යාපනය ලැබුවේ ය.
“මම කුඩා කාලේ පටන් චිත්‍ර අඳින්න දක්ෂයි. මාමාලා දෙන්නෙක් ම චිත්‍ර ශිල්පීන් වීම නිසා මටත් ඒ හැකියාව ලැබෙන්න ඇති. උසස් පෙළ චිත්‍ර කරලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න මගේ ලොකු ආසාවක් තිබුණා. නමුත් උසස් පෙළ කලා විෂය කරලා වැඩක් නෑ කියන මතයක් ඒ කාලේ සමාජයේ තිබුණු නිසා අම්මා තදින් ම විරුද්ධ වුණා. මගේ ඥාති සහෝදරයන් දෙන්නෙකුත් ඒ කාලේ ඉංජිනේරු හා වෛද්‍ය පීඨවල ඉගෙන ගනිමින් හිටියා. මගේ දැඩි අකැමැත්තෙන් වුණත් මම උසස් පෙළ ගණිතය අංශයෙන් හදාරලා විෂයයන් දෙකක් පමණක් සමත් වුණා. දෙවනුවත් ටික කාලයක් ගණිතය විෂයන්වලට අදාළ ව පන්ති ගියා. ඒත් මගේ හිත තිබුණේ කලා විෂයන් කරන්න යි. ටික දවසකට පස්සේ ගෙදරට හොරෙන් කලා විෂයන්වලට මාරු වෙලා මාස අටක් ඇතුළත දී උදේ හවස පන්තිවලට සහභාගි වෙලා 1991 දී උසස් පෙළ විභාගයෙන් ඒ දෙකයි, බී දෙකයි සහිත ව සමත් වුණා.
ඒ වනවිටත් මම පාසලේ නාට්‍ය, සංගීත, කලා වැඩමුළුවලට සම්බන්ධ වෙලා හිටියා. පාසල් කාලේ නාට්‍ය කරලා දිස්ත්‍රික්, පළාත් වගේ ම සමස්ත ලංකා ත්‍යාග පවා හිමි කර ගත්තා. උසස් පෙළ අවසන් වෙලා ඉන්න අතරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කලා පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන බව පුවත්පතක මම දැකලා එයට ඇතුළත් වුණා. සෑම ඉරිදාවක ම මම අම්බලන්ගොඩ ඉඳලා පාන්දර හතරට බස් එකේ නැගලා දෙහිවලින් බැහැලා මහරගමට ගිහින් ඒ පාඨමාලාව හොඳින් හැදෑරුවා. අවසානයේ එහි විශිෂ්ටතා සම්මානයකුත් මට හිමි වුණා. ඒ පාඨමාලාවේ අධ්‍යක්ෂවරයා වූයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යි. නාට්‍ය ක්ෂේත්‍රයේ සිටි විශිෂ්ටයන් බොහෝ පිරිසක් ඒ කාලේ මම හඳුනාගත්තා.
ඒ පාඨමාලාව අවසන් වෙනවාත් සමඟ ම එහි ම තිබූ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය පාඨමාලාවට බැඳුණා. නිස්කෝ වීඩියෝ ආයතනයෙන් මෙහෙයවූ ඒ පාඨමාලාව මාස හයක පූර්ණ කාලීන පාඨමාලාවක් වුණා. යාළුවකුගේ ගෙදර නතර වෙලා මම ඒ පාඨමාලාවටත් දිගට ම සහභාගි වෙලා සාර්ථක ව එය නිම කළේ වැඩි ම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා බවටත් පත් වෙමිනුයි. එහි අවසාන පරික්ෂණයට මම ලියූ තිර පිටපත “ඊශ්වර වින්සතිය” යි. ඒක යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කළා ම ඒ සඳහා හොඳ ම තිර රචනයට හිමි යෞවන සම්මානය වගේ ම නිස්කෝ වීඩියෝ සම්මානයත් මට ලැබුණා.
ඊළඟ පාඨමාලාවේ ප්‍රදර්ශකයා හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එම පාඨමාලාවේදී තිරපිටපත් රචනය පිළිබඳ ඉගැන්වූ සෝමවීර සේනානායකයන් ටික දවසකට පස්සේ මට ඔහුගේ නිර්මාණවලට සහභාගි වන ලෙස ආරාධනා කළා. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ, සෝමවීර සේනානායකයන්ගේ තිර රචනයක් වූ “කස්තිරම” ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කාර්යයට මම සම්බන්ධ වුණා. ඒකේ රූගත කිරීම් මීමුරේ ප්‍රදේශයේ තිබුණා. ඒක ඉතා ම දුෂ්කර වගේ ම සුන්දර අත්දැකීමකුත් වුණා. මම බොහෝ දේ එයින් ප්‍රායෝගික ව ඉගෙන ගත්තා. ඊට පස්සේ සෝමවීර සේනානායක මහතා තිර රචනය කළ ටෙලි නාට්‍ය නිෂ්පාදන බොහෝමයක මම සහාය කලා අධ්‍යක්ෂ හැටියට වැඩ කළා. ඒ වනවිට මම විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණා. විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට වසර දෙකක පමණ කාලයක් තිබුණා. ඒ කාලය ඇතුළත මම මේ සියලු දේ කළා.
විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ජනසන්නිවේදනය හදාරද්දී මම චිත්‍රපට, ටෙලි නාට්‍ය හදරලා තිබුණ නිසා ඒ පාඩම් මට හරි පහසු වුණා. ඒ වෙද්දී මම යාළුවෝ එක්ක කොළඹ සංස්කෘතික මධ්‍යස්ථානවල නිරතුරු ව සැරිසරමින් නිර්මාණ නැරඹීමට, වැඩමුළුවලට සහභාගී වීමට, බොහෝ කලා කටයුතුවලට සම්බන්ධ වීමට හුරු වෙලා හිටියා. ඒකත් මගේ අධ්‍යයන කටයුතුවලට විශාල සහායක් වුණා. ජාතික තරුණ සේවා සභාවෙ ම තිබූ යොවුන් රූපවාහිනී චිත්‍රපට තරගයට මගේ ඊශ්වර වින්සතිය තිර පිටපත ඉදිරිපත් කළා. ඒක මට ම චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව එයින් මට ලැබුණා. ඒ අතරේ විශ්වවිද්‍යාලය ආරම්භ වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පළමු මාස දෙක ඇතුළත මම මගේ පළමු වන ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සිදු කළා. ඒ සඳහා OCIC සිනමාවේදී නාට්‍ය උළෙලේ සම්මාන ගණනාවක් ලැබුණා. විශ්වවිද්‍යාලයේදී මට ඉතා ම හොඳ ආචාර්ය මණ්ඩලයක් හමු වුණා. ඒ අතරේ මම රජයේ චිත්‍රපට ආයතනයේ සිනමා පාඨමාලාව හැදෑරුවා. ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකුත් හැදෑරුවා. කවි, ගීත, තිර නාටකය ආදිය සඳහා මම විවිධ අවස්ථාවල සම්මාන ලබා ගෙන තිබෙනවා.”
අතින් චිත්‍ර අඳින්නට හුරු ව සිටි කථිකාචාර්ය ලොකුලියන ක්‍රම ක්‍රමයෙන් පරිගණක ග්‍රැෆික් කලාව (Graphic Design) වෙත යොමු වන්නට වූයේ ය. ඒ අනුව හොඳ ම පිටු සැලසුම්කරණය උදෙසා ඔහු දෙවරක් රාජ්‍ය සම්මාන ද දිනා ගත්තේ ය. තිර රචනා, කවි, ඡායාරූප, ගීත නිර්මාණ උදෙසා යෞවන සම්මාන ද දිනා ගත්තේ ය. ලෝක පාපන්දු තරගාවලියට සමගාමීව Berlin Talent campus හි පැවැත්වූ කෙටි චිත්‍රපට උළෙලකට ඔහු ඉදිරිපත් කළ ‘WE Love Football’ කෙටි චිත්‍රපටය රටවල් 78කින් පැමිණි චිත්‍රපට 278කට වැඩි සංඛ්‍යාවක් අතරින් හොඳ ම කෙටි චිත්‍රපටය බවට පත් වූ අතර එය පසුව 2006 ලෝක පාපන්දු සම්මේලනය විසින් පාපන්දු ප්‍රවර්ධන කටයුතු සඳහා රටවල් රැසක් විසින් පුරා යොදා ගන්නා ලදී.
“මගේ ජීවිතයේ වීරයා වුණේ මගේ තාත්තා යි. තාත්තාගේ නම ලොකුලියන චූලරත්න. ඔහු වෘත්තියෙන් රජයේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක් ලෙස කටයුතු කළා. මගේ අම්මාගේ නම රූපාණි බදුගොඩහේවා. ඇය ගෘහණියක් හැටියට අපේ ජීවිතවලට රැකවරණය ලබා දුන්නා. අපි විශ්වවිද්‍යාලයේදී මහජන සබඳතා පිළිබඳ ව විෂයක් විදිහට ඉගෙන ගන්නවා. නමුත් හොඳ ම මහජන සබඳතාව තිබූ තැනැත්තා මගේ තාත්තා යි. ඔහුට හිත මිතුරු නෑදෑයන් වගේ ම ගම්වාසීන්ගේත් ආදරය නොඅඩුව ලැබුණා. මගේ මවගේ බාල සහෝදරයා ප්‍රේමදාස බදුගොඩහේවා යි. ඔහු ලංකාවේ ඉතා ම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ අභාසය මට ලැබී තිබෙනවා. ඔහු මගේ ජීවිතයේ දෙවැනි වීරයා යි. අගනුවර තරුණ කවි සමාජයේ (අතකස) කවියෙක් වන තව මාමා කෙනෙක් ඉන්නවා. ඒ හැකියාවන් මටත් ලැබී තිබෙනවා. ඊළඟට මට ජාතික තරුණ සේවා සභාවේදී ඕවන් වීරක්කොඩි මහතා හමු වෙනවා. දක්ෂ චිත්‍ර හා සැලසුම් ශිල්පියෙක් වන එතුමා අම්බලන්ගොඩ කෙනෙක් බව මම පසුව දැන ගත්තා. එතුමාගේ ඇසුර හා ලබා දුන් දැනුම මගේ ජීවිතයට බලපෑවා.
ඒවගේ ම විශ්වවිද්‍යාල ජිවිතයේදී හමුවූ කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්යවරු සැමදෙනා ම මට ලොකු සහායක් වුණා. මට සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ වගේ ම අපේ අම්මාගේ සහෝදරයන්ගේ දරුවන් වුණු අයියලා දෙන්නෙකුත් පුංචි කාලේ සිට ම මාත් එක්ක එකට සිටියා. අපේ ගේ ළඟ රබර් වත්තක් තිබුණා. ඒකේ මාදං, පේර, රඹුටන් වගේ නොයෙකුත් පලතුරු තිබුණා. අපි කට්ටිය ම ඒ රබර් වත්තේ ඇවිදින්න යනවා. ළමා කාලය හරි ම විනෝදෙන් ගත වුණා.”
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන 2002 වසරේදී විවාහ වන්නේ ප්‍රියදර්ශනී ඥානසේන සමඟ යි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ උපාධිධාරිනියකි. ඇය ගුවන්විදුලි සංස්ථාවේ නිල භාෂා පරිවර්තිකාව ද වන්නී ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පුතා රන්දෙව් කොළඹ මහානාම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන්නේ ය. බාල දුව හා පුතා නිවුන් දරුවන් ය. දුව දෙව්ලි කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ද පුතා දෙව්රම් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබති.