කැන්ගරු දේශයේ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ කැසැන්ඩ්‍රා ප්‍රනාන් | Page 2 | සිළුමිණ

කැන්ගරු දේශයේ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ කැසැන්ඩ්‍රා ප්‍රනාන්

ඇගේ තේමාව මානුෂීයත්වය හා සහකම්පනයයි

කැසැන්ඩ්‍රා සිල්ලර වෙ‍ෙළඳසල් සහ කෙටි කෑම ආශ්‍රිත විවිධ අවන්හල් සේවකයන්ගේ වැටුප් සහ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි කෙනෙක්

ලාංකිකයන්ට සමීප රටක් වන ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට අලුත් තරුණ මුහුණක් ලෙස ලාංකේය සම්භවයක් සහිත තරුණියක් තේරී පත්වීම පසුගිය සතියේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වුණු පුවතක් වුණා.

මේ හපන්කම පෙන්වපු තරුණිය තමයි කැසැන්ඩ්‍රා ප්‍රනාන්. තවමත් 34 හැවිරිදි වියේ පසුවන ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ යන්තම් වයස 11 පිරෙන විටයි. වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු දිග ඩැන්ඩිනොන් නම් ප්‍රදේශයේ සිට සිය අනාගතය ගොඩනැඟූ ප්‍රනාන්දු පවුල වර්තමාන ස්ථාවරත්වයට පත්වීම වෙනුවෙන් පැමිණි මාර්ගය මලින් සැදුණක් නම් නොවෙයි.

ආගන්තුක සත්කාරකරණය සහ අධ්‍යාපනය යන විෂයන් මුලිකව හැදෑරූ කැසැන්ඩ්‍රා වසර 15 කට වැඩි කාලයක් ඩැන්ඩිනොන් ප්ලාසා වෙ‍ෙළඳ සංකීර්ණයේ පේස්ට්‍රි නිෂ්පාදන සම්බන්ධ අරක්කැමිවරියක ලෙස කටයුතු කළ අතර, පසුව එම අවන්හලේ හිමිකාරිය බවට ද පත්වී තිබෙනවා. තමා සේවය කළ ප්‍රදේශයේ ලොකු කුඩා සියලු දෙනා අතරම ජනප්‍රිය තරුණියක් වූ ඇය, කුඩා කාලයේ පටන් සිය දෙමාපියන් විසින් ලබා දුන් නිසි මඟ පෙන්වීම නිසාම සමාජ සේවය සඳහා ද කැපවී ඇත්තේ මානුෂීයත්වයට හා සහකම්පනයට මුල් තැන ලබා දෙමින්.

සිල්ලර වෙ‍ෙළඳසල් සහ කෙටි කෑම ආශ්‍රිත විවිධ අවන්හල් සේවකයන්ගේ වැටුප් සහ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි කැසැන්ඩ්‍රා, ඔවුන් වෙනුවෙන් පසුගිය කොවිඩ් වසංගත කාලයේදී විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා. එසේම ඉංග්‍රීසි බස කතා කිරීමට හැකියාවක් නැති සරණාගතයන් සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතවරියක් ලෙසද ඇය ඉටුකළ සුවිශේෂ කාර්යභාරයද කාන්තා නායිකාවක ලෙස කැසැන්ඩ්‍රාගේ කීර්ති නාමය වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළත බැබළීමට තවත් හේතුවක්.

කලක පටන් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට සම්බන්ධ ව කටයුතු කළ කැසැන්ඩ්‍රාට මෙවර මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව හිමිවුණේ මෙල්බර්න්හි හෝල්ට් නම් ආසනය වෙනුවෙන්. ඊට පෙර කම්කරු පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රී ඇන්තනි බ්‍රේන්ගේ විශ්‍රාම ගැනීම ඇගේ පාර්ලිමේන්තු ආගමනය ඉක්මන් කළ සිදුවීම ලෙසත් සැලකෙනවා.කැසැන්ඩ්‍රාගේ අදහස් සහ කම්කරු පක්ෂයේ මුලික ප්‍රතිපත්ති සමාන වීම හේතුවෙන් 2022 ඕස්ට්‍රේලියානු ජාතික මැතිවරණය වෙනුවෙන් ඇගේ ඉදිරිපත්වීම් ස්ථිර වී තිබුණේ මෙම වසරේ මාර්තු මාසයේදීයි.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ලාංකේය සම්භවයක් සතිත කාන්තාව බවට කැසැන්ඩ්‍රා පත්වන විට ඇය ඉදිරියේ පරාජයට පත්වුයේද තවත් ශ්‍රී ලාංකිකයකු වූ රන්ජ් පෙරේරායි. ලිබරල් පක්ෂය නියෝජනය කළ ඔහු ජන්ද 28,777(42.3%) ක් ලබා ගනිත්දී , ජයග්‍රාහී කැසැන්ඩ්‍රා ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39,185(57.3%)ක්. ඔවුන් දෙදෙනාට අමතරව තවත් ලාංකිකයකු වන විරෝෂ් පෙරේරා ද ලිබරල් පක්ෂය නියෝජනය කරමින් මෙල්බර්න්හි ස්කියුලින් නම් ආසනය සඳහා තරග කළත්, ඔහුට සිය මුහුණට ජයග්‍රාහී සිනහවක් නඟා ගැනීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වූවන් වැඩි පිරිසක් ජිවත්වන ලොව ප්‍රධාන රටවල් තුනෙන් එකක්වන ඕස්ට්‍රේලියාව තුළ සිටින විවිධ ජනවර්ග අතරින් දස වන ස්ථානය ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බවද පැවසෙනවා. එය එරට ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 0.46%ක්. ඉන් අර්ධයක්ම පාහේ ජීවත් වන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් නගරය හා ඒ ආශ්‍රිතවයි. 1816 වසරේදී පළමු ලාංකිකයා එරටට සංක්‍රමණය වීමෙන් පසු, ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත තුළ පාහේ මේ වන විට ශ්‍රී ලංකික සම්භවයක් සහිත වුවන් පැතිරී ජිවත්වන අතර, ඔවුන් නොයෙක් ආගම් සහ ජන වර්ග නියෝජනය කිරීමත් විශේෂත්වයක්. මෙල්බර්න් ප්‍රමුඛ අනෙක් සියලු ප්‍රාන්ත සහ නගර ආදියේ වාර්ෂිකව නොයෙක් ලාංකේය සංස්කෘතික උළෙලයන්ද පැවැත්වෙන අතර රූපවාහිනී, ගුවන් විදුලි සහ වෙනත් මාධ්‍ය නාළිකා ආදියද එහි ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියාත්මකයි.

පසුගිය සතියේ පැවැත්වුණු 47 වැනි ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දයෙන් එරට හිටපු අගමැතිවරයා වූ ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය පරාජය වීම විශේෂත්වයයි. ප්‍රතිඵල නිකුත්වූ වහාම ස්කොට් මොරිසන් සිය පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණේ සිය පක්ෂය මෙන්ම සමස්ත ඕස්ට්‍රේලියාවමද නව වෙනසක් සඳහා පෙළගැසී ඇති බව පිළිගනිමින්.

මේ අනුව විශාලත්වය අනුව ලොව 6 වන රටේ මිලියන 26ක් වන ජනගහනයට නායකත්වය ලබා දීමේ නව වගකීම සහ අභියෝගය පැවරී ඇත්තේ 59 හැවිරිදි කම්කරු පක්ෂ නායක ඇන්තනි අල්බෙනීස් වෙතටයි. එරට හිටපු විපක්ෂ නායකවරයාද වන ඇන්තනි 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස නව ඔස්ට්‍රේලියාවක් නිර්මාණය කිරීම සඳහා වන සිය ගමන මේ වන විටත් අරඹා අවසන්. ඒ වෙනුවෙන් ලාංකේය සම්භවයක් සහිත කැසැන්ඩ්‍රාගේ දායකත්වය ගැන අපට අනාගතයේදී මෙයට වඩා පුළුල් ලෙස අවධානය යොමු කළ හැකිවනු ඇති.

Comments