කාන්තා සිරුර අවලස්සන කරන අනවශ්‍ය රෝම ඉවත් කරන හැටි | Page 2 | සිළුමිණ

කාන්තා සිරුර අවලස්සන කරන අනවශ්‍ය රෝම ඉවත් කරන හැටි

නිතර ෂේව් කිරීමෙන් සමට හානි ඇති කරනවා. මේ හරහා සමේ කැපීම්, සීරීම්, තුවාල වුවද ඇතිවිය හැකියි. ෂේව් කිරීමෙන් ඇත­ැමුන්ගේ නව රෝම ඉක්මනින් වර්ධනය වෙනවා

 

ඕනෑම ක්‍රමයකින් සමෙහි ඇති රෝම ඉවත් කිරීමට පෙර සම හොඳින් පිරිසුදු කර ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තක්

 

අපේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය තමයි සම. මේ සම පුරාවටම රෝම වැවී ඇති අතර මුහුණ, අත් පාවල ඇති අනවශ්‍ය රෝම අපේ සුන්දරත්වය සඟවනවා. එමෙන් ම එය බොහෝ දෙනෙක්ට මානසික පිඩනය ගෙන දෙන්නක්. ඒ නිසා අපි අද හිතුව රූ රහස් තුළින් මේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීම ගැන කතා කරන්න. රූ රහස් සමඟින් අද සිය දැනුම බෙදා ගන්නේ NVQ4 ඇගයීම් නිලධාරිනී ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී නිමාලි දිනූෂා යි.

 

රූපලාවණ්‍යයේ දී අනවශ්‍ය රෝම ඉවත් කිරීම කියන්නෙ ඉතා වැදගත් මාතෘකාවක්. මෙය කාන්තාවන්ගේ පිරිසිදු බවට වැදගත් වෙනවා. අනවශ්‍ය රෝම සමේ පැවතීම හේතුවෙන් සම අවපැහැ ගැන්වෙන අතර ම නොයෙකුත් විසබීජ ද සමයෙහි රැඳී තිබිය හැකියි. අපි කුමන ආලේපනයක් සම මත ආලේප කළත් මේ අනවශ්‍ය රෝම හේතුවෙන් මනාසේ ආලේප කර ගත නොහැකි වන අතර එම ආලේපන සමට උරා ගැනීමට අපහසු වෙනවා. ලංකාවේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ක්‍රම කිහිපයක් භාවිත කෙරෙනවා. රේසරයක්, නූලක්, ට්විසරයක් හෝ ක්‍රීම් වර්ග භාවිතයෙන් එසේත් නැත්නම් වැක්ස් කිරිම හෝ ලෙසර් කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා.

 

නූලක් ආධාරයෙන්ඇ හිබැම සැකසීම (Threading)

අපේ රටේ බහුලව කරනු ලබන්නේ නූලක් ආධාරයෙන් ඇහිබැම සැකසීමයි. මෙය ත්‍රෙඩින් (threading) කිරීම යනුවෙන් හඳුන්වනවා. threading මඟින් අනවශ්‍ය ලෙස හැඟෙන කෙස් පමණක් ඉවත් කරගන්න පුළුවන්. මෙය සුළු වේදනාවක් ඇති කරනු ලබන අතර සති හතරක් පහක් වැනි කාලයකට වරක් කළ යුතු වෙනවා. විශාල ප්‍රදේශයක රෝම ඉවත් කර ගැනීම සඳහා මෙම ක්‍රමය ගැළපෙන්නේ නැහැ. නිවැරැදි ආකාරයට අලංකාරවත් ලෙස ඇහිබැම සකසා ගැනීමට නම් මනා පළපුරුද්දක් ඇති රූපලාවණ්‍යය ආයතනයක සේවාව ලබාගැනීම ලබා ගැනීම සුදුසුයි.

 

ටුවිසර් (Tweezer)

ට්විසර් භාවිතයෙන් ද අනවශ්‍ය රෝම ඉවත් කර ගත හැකියි. විශේෂයෙන් ට්විසරය භාවිත කරන්නේ කරන්නෙ ඇහි බැම සැකසීමේ දී යි. මෙහි දී රෝම උගුල්ලා දැමීම සිදු කරන අතර එය මෘදුව කිරීමෙන් සම ආරක්ෂා කරගන්න පුළුවන්.

ශේවින් ( Sheving)

පිරිසිදු රේසරයක් මඟින් අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීම ශේවින් යනුවෙන් හඳුන්වනවා සබන් හෝ ශේවින් ක්‍රීම් එකක් ආලේප කර මෙහිදී ඔබට ශරීරය ශරීරය ඕනෑම ස්ථානයක් ෂේව් කර ගත හැකියි. මෙය වේදනා රහිත ක්‍රමයක් වුණත් කෙටිකාලීන‍යි. එමෙන් ම නිතර ෂේව් කිරීමෙන් සමට හානි ඇති කරනවා. මේ හරහා සමේ කැපීම්, සීරීම්, තුවාල වුණ වුවද ඇතිවිය හැකියි. ෂේව් කිරීමෙන් ඇතමුන්ගේ නව රෝම ඉක්මනින් වර්ධනය වෙනවා. මෙම ක්‍රමය පිරිමින් සඳහා යෝග්‍ය වුණත් කාන්තාවන් සඳහා එතරම් යෝග්‍ය නොවන්නේ නිතර නිතර ශේව් කිරීමෙන් සම රළු විය හැකි නිසයි.

 

වැක්සින් ( Waxing)

සමට සීතල හෝ උණුසුම් ආලේපනයක් ආලේපකර රෝම ඉවත්කිරීම වැක්සින් ලෙස හඳුන්වනවා. මෙය ද සති හතරකට වරක් සිදු කළ හැකියි.සියුම් වේදනාවක් ගෙන දුන්නත් එය සාර්ථක ක්‍රමයක්. වැක්සින් කිරීම ඉතා පරිස්සමෙන් සිදු කළ යුතු අතර නුපුහුණු අය සිදුකිරීමෙන් සම පිලිස්සෙන්න වුණත් පුළුවන්. එමෙන් ම සමෙහි ආසාදන පවතින විට වැක්ස් කිරීම නිර්දේශ කරන්නේ නැහැ. වැක්ස් කිරීමේදී සැමවිටම රෝම කූප වැවී ඇති දෙසට ක්‍රීම් ආලේප කරන අතර ඊට විරුද්ධ දිශාවට ඇද ගැනීම මඟින් රෝම ඉවත් කර ගත හැකියි.

 

ලේසර් කිරීම ( Laser)

මෙම ලේසර් ක්‍රමවේදය මඟින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම වෛද්‍යවරයකු මඟින් සිදු කර ගන්න පුළුවන්. එහිදී සිදු කරන්නේ ලේසර් උපකරණයක් මඟින් තාපය නිකුත් කර රෝම විනාශ කිරීමයි.

මේ ඕනෑම ක්‍රමයකින් සමයෙහි ඇති රෝම ඉවත් කිරීමට පෙර සම හොඳින් පිරිසුදු කර ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තක්. සැමවිටම අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු ටෝනර් එකක් හෝ ඇලෝ ජෙල් එකක් භාවිතා කිරීම රූපලාවණ්‍යය ආයතන මඟින් සිදු කරනවා. එමඟින් සමේ ආසාදන ඇතිවීම වළක්වා සමට නිසි ආරක්ෂාවක් සහ පෝෂණයක් ලබා දෙනවා.

Comments