ඊශ්‍රායලයෙන් ඇවිත් අපේ ආරුගම්බේ සිනමාවට නඟයි | Page 2 | සිළුමිණ

ඊශ්‍රායලයෙන් ඇවිත් අපේ ආරුගම්බේ සිනමාවට නඟයි

ලංකාවේ නමකින්, ලංකාවේ  රූගත වුණු ආරුගම්බේ සිනමාපටය

යුරෝපීය රටවල් 50ක තිරගත වෙන්න නියමිතයි

 

පසුගිය 20 වනදා අපට ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ රූ ගැන්වෙන "ආරුගම්බේ" සිනමා නිර්මාණයේ දර්ශන තලයකට පැමිණෙන ලෙස ඇරයුමක් ලැබෙනවා. මාර්කෝ කැමල් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම "ආරුගම්බේ" චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායල චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන United Channel Movies (UCM) හි චිලික් මයිකල් සහ ශ්‍රී ලංකා නිෂ්පාදන සමාගම Frames TV & Film Production හි ශ්‍යාමන් ප්‍රේමසුන්දර විසින්.

 

මෙහි රූගත කිරීම්ආ රුගම් බොක්කේ පමණක් නොව කොළඹ සහ ඇල්ල මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි විවිධ ස්ථානවලයි සිදුකර තිබුණා.

වත්මනේ රටේ පවතින තත්වය හමුවේ මෙවන් විදෙස් සිනමා නිර්මාණයක් රූ ගැන්වීමට ලංකාවට පැමිණීම ගැන අධ්‍යක්ෂ මාර්කෝ කැමල්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ වසර 15 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙන බැවින් ලංකාව සිය දෙවන නිවෙස ලෙස සලකන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්ත්වය තමා දිවයිනට පැමිණීම හෝ මෙම චිත්‍රපටය බාර ගැනීම නතර නොකළ බවයි. එමෙන්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුටු වන අතරෙම ආරුගම්බේ චිත්‍රපටය විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනු ඇතැයි ඔහු තරයේ විශ්වාස කරන බවද කියා සිටියා.

පවසන්නේ මෙවැන්නක්.

චිත්‍රපටයෙ අන්තර්ගතය පිළිබඳව අපට යම් අවබෝධයක් ලබා දෙමින් සහය අධ්‍යක්ෂ හා තිර රචක Mor Polanuer කියා සිටියේ මෙම චිත්‍රපටයේ කතාව වන්නේ ඊශ්‍රායල තරුණ කණ්ඩායමක් සර්ෆ් කිරීමට සහ ලංකාවේ ජිවන රටාව සහ සංස්කෘතිය අත්විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. චිත්‍රපටය තුළ ශ්‍රී ලාංකිකයාගේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ පොදුවේ විදේශිකයන්ට ලබා දෙන සැබෑ ආදරය සහ සැලකිල්ල ගැන ද කතා කරන අතර මෙම සංචාරය අතරතුර සිදුවන සිද්ධි සමුදායකින් "ආරුගම්බේ" නිර්මාණය ව ඇති බවක්.

ශ්‍රී ලංකා නිෂ්පාදන සමාගම Frames TV & Film Production සමාගමේ ශ්‍යාමන් ප්‍රේමසුන්දරත් මෙහි සම කොටස් කරුවෙක්. මේ ඔහු දැක්වූ අදහස් මෙවැනියි.

Frames TV & Film Production කියන මගේ ආයතනය විදෙස් නිෂ්පාදන සමඟ කටයුතු කරන ආයතනයක්. මට දැන ගන්න ලැබුණා United Channel Movies (UCM) ඊශ්‍රායල චිත්‍රපට නිෂ්පාදන ආයතනය ඔවුන්ගේ නව නිෂ්පාදන කටයුත්තට අවශ්‍ය කරන පහසුකම් සහිත රටක් හොයන බව. එතැනදී ලංකාව සහ තායිලන්තය කියන රටවල් දෙකට තමයි ඔවුන් මුලිකත්වය දීලා තිබුණේ. මට සහ මගේ කණ්ඩායමට හැකියාව ලැබුණා කොහොම හරි මේ නිෂ්පාදන කටයුත්ත ලංකාවට ගේන්න. ඒ හරහා තමයි ඔවුන් මේ නිර්මාණයට "ආරුගම්බේ" කියන නම පවා යොදන්න තීරණය කළේ.

සියල්ල කතා කරලා ලංකාවට එන්න දින නියම වෙලා තියෙද්දී, රටේ පවතින වාතාවරණය එක්ක කොහොමද අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ වගේ ප්‍රශ්න එක්ක නැවත මෙය තායිලන්තයේ රූපගත කරන්න සුදානම් වෙලා තිබුණා. හැබැයි මට පුළුවන් වුණා මේ පවතින තත්ත්වය මේ නිර්මාණ කටයුත්තට කිසිම බාධාවක් නොවන බව මම තහවුරු කරන්න. මම එතැනදි කිව්වේ මම මගේ පෞද්ගලික මුදල් යොදලා හරි මේ නිෂ්පාදන කටයුත්ත අඛණ්ඩ ව කරගෙන යන බව.

ඊශ්‍රායල චිත්‍රපට සමාගමෙන් අවශ්‍ය කරන කැමරා උපකරණ අරන් එන්න දීලා තිබුණෙත් නැහැ. කොහොම හරි ලංකාවේ පවතින උපරිම තාක්ෂණික කැමරා භාවිත කරලා සියල්ල හොඳින් රූපගත කරන්න පුළුවන් වුණා. දවස් 26ක රූප ගත කිරීම් සිදුවුණා. මේ කාලය තුළ විවිධ ප්‍රශ්න අභියෝග පැන නැගුණත් ඒ කිසි දෙයක් මේ කණ්ඩායමට පෙන්වන්නේ නැතුව ලංකාවේ රේඛිය නිෂ්පාදකවරයා විදියට මට පුළුවන් වුණා; නිෂ්පාදන කටයුතු සාර්ථකව අවසන් කරන්න. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය තමයි "ආරුගම්බේ" කියන නම යුරෝපිය රටවල් 50ක ප්‍රචලිත වීම.

"ආරුගම්බේ" සිනමා නිර්මාණයේ ප්‍රධාන කාන්තා චරිතය කීර්තිමත් ඊශ්‍රායල නිළියක් වන Mira Tzur විසින් රංගනයෙන් දායක වන අතර ඊට අමතරව Joy Rieger, Maor Schwietzer ඇතුළු ඊශ්‍රායල නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වනවා. "ආරුගම්බේ" සිනමා නිර්මාණය සඳහා මෙරටින් රංගනයෙන් දායක වීමට රංගන ශිල්පින් හයදෙනෙකුට අවස්ථාව උදා වී තිබෙනවා. ඉන් චරිත තුනක්ම ප්‍රධාන ධාරාවේ චරිත වීමද විශේෂත්වයක්. ඒ චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ බුද්ධික ජයරත්න, අශාන් ඩයස් සහ සනත් ගුණතිලක.

මේ විශේෂ අවස්ථාව ලැබුණු බුද්ධික ජයරත්න පැවසුවේ මෙවැන්නක්.

"ආරුගම්බේ" නිර්මාණය ගැන කිව්වොත් ආදරය ත්‍රාසය කුතුහලය පිරි කතාවක්. මේකේ 95%ක් රූපගත වෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකට ප්‍රධාන ධාරාවේ එහෙම නැත්නම් මෙහි එන මව් කතාවට සෘජුව සම්බන්ධ වන චරිත තුනකට ශ්‍රී ලංකාවේ නළුවන් තුන් දෙනෙක් ඔවුන් යොදා ගන්නවා.

ඒ සඳහා Frames TV හි ශ්‍යාමන් කිහිපදෙනෙක් ව යෝජනා කරලා යැව්වම ඔවුන් තෝරා ගන්නවා මා සහ සනත් ගුණතිලකත් අශාන් ඩයස්වත්. මේ චිත්‍රපටය ඔවුන් අදහස් කරනවා යුරෝපයේ රටවල් 50ක තිරගත කරන්න. අපේ රටේ ප්‍රදේශයක නමකින් ජාත්‍යන්තර තලයේ චිත්‍රපටයක් නිර්මාණය වන පළමු අවස්ථාව. ඒ නිසා මේක රටට ලොකු අවස්ථාවක්.

මම සම්බන්ධ වෙන පළවෙනි විදෙස් චිත්‍රපටය. සැලකිය යුතු චරිතයක් ලැබීම සහ යුරෝපිය රටවල් කිහිපයක එකවර තිරගත වීම මගේ වෘත්තිමයභාවයටත් හොඳ සලකුණක්.

මෙහි රඟන අශාන් ඩයස් පවසන්නේ මෙවැන්නක්.

පළමුවෙන්ම ලංකාවට මේ වගේ කාලයක ජාත්‍යන්තර චිත්‍රපටයක කණ්ඩායමක් ගේන එක කළ නොහැකි වැඩක්. ඒ නිසා Frames TV හි ශ්‍යාමන් ප්‍රේමසුන්දරට ස්තුතිවන්ත වෙන්න ඕනේ මාස ගාණක් මහන්සි වෙලා ලංකාවේ කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදියට ඔක්කොම සැලසුම් ඇතිව කිරීම සම්බන්ධව. අනෙක් කරුණ මේ ජාත්‍යන්තර සිනමා නිර්මාණයේ නමත් "ආරුගම්බේ" ඒ තුළින් ලංකාව ඉදිරියට තවත් ප්‍රමෝට් වෙයි. ඒක ඉස්සරහට තවත් ලොකු බලාපොරොත්තු සහ වාසනාව ගෙන දෙන දෙයක්.

සනත් ගුණතිලක පවසන්නේ මේ ඔහු දායක වන හතරවෙනි විදෙස් චිත්‍රපටය බවයි. මේ චිත්‍රපටය මම දායක වූ අනෙකුත් චිත්‍රපටවලට වඩා සුවිශේෂී වනවා. ඒ මේ තුළ මට ලැබුණු චරිතයේ ස්වභාවය නිසා නෙවෙයි. මම මෙතැනදී කරන්නේ මෙරට හෝටල් හිමිකරුවකුගේ භූමිකාවක්. මම බැලුවේ මට ලැබුණු චරිතයේ දිග පළල නෙවෙයි. රටක් වශයෙන් අපේ රටේ සිනමා කර්මාන්තයට ලැබුණු අවස්ථාව ගැන.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments