අපේ පරම්පරාව ඉදිරිය දකින පරම්පරාවක් - රංගන ශිල්පී සුනෙත් ශාන්තප්‍රිය | සිළුමිණ

අපේ පරම්පරාව ඉදිරිය දකින පරම්පරාවක් - රංගන ශිල්පී සුනෙත් ශාන්තප්‍රිය

මගේ ඇඟේ තිබුණේ වේදිකා නාට්‍යම තමයි

මගේ ගමන  හරි හෙමින්

 

වර්ෂ 1818 ගැන කතා කරන විට කාගෙත් මතකයට නැගෙන්නෙ ඌව වෙල්ලස්ස කැරැල්ලයි. මේ කැරැල්ලට ජීවය දුන් වෙල්ලස්සේ පරම්පරා ගණනාවක් අදත් එහි ජිවත් වෙති. ඒ පරම්පරාවල අනාගත පුරුකක් පසුගිය දවසක මුණ ගැසුණි. මේ පසුගිය දිනවල විකාශනය නිමා කළ "සකල ගුරු" ටෙලි නාට්‍යයේ කුමාරගේ චරිතය ප්‍රේක්ෂකයන්ගේ මතක පොතට එක් කළ සුනෙත් සාන්තප්‍රියයි.

 

ඔබ නළුවෙක් වෙන්න ඕන කියලා හිතුවේ ඇයි ?

හැමෝටම සිහින තියෙනවා. ඒවා හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. මම දැකපු හීනේ තමා නළුවෙක් වෙන එක. ඒ හීනේ මම සැබෑ කර ගත්තා. ඉගෙන ගන්නා අතරතුරේදී මට ප්‍රවීණ අධ්‍යක්ෂකවරු, ගීත රචකයෝ, පිටපත් රචකයෝ, රංගන ශිල්පීන්, ශිල්පිනියන් යන කලා ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ ශිල්පීන් හමු වෙනවා. ඒ අතරෙදී තමයි පරාක්‍රම නිරිඇල්ල හා එච්, ඒ පෙරේරා යන කලාකරුවන් හමු වෙන්නේ.

 

ඔවුන් හමුවීමෙන් පසු කළේ කුමක්ද ?

පරාක්‍රම නිරිඇල්ල ප්‍රමුඛ නාට්‍යවේදීන් ජන කරළිය කියලා නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කරනවා. ඒ තෝරා ගන්නා කණ්ඩායමට මාත් ඇතුළත් වෙනවා. ඔය විදිහට ජන කරළිය නාට්‍ය කණ්ඩායමට ඇතුළත් වීමෙන් පසුව නාට්‍ය පිළිබඳ මට ඉගෙන ගන්න ලැබෙනවා. මට විතරක් නෙවෙයි, තෝරා ගත්ත සියලු දෙනාටම නාට්‍ය කලාව පිළිබඳ උගන්වනවා. අපිට වැටුුපකුත් ලැබුණා. පසුව මෙම ජන කරළිය නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණු සියලු දෙනාම වෘත්තිමය කුසලතාවලින් පිරි නාට්‍ය කණ්ඩායමක් ලෙස කවුරුත් නිර්වචනය කරන්ට ගන්නවා. ඒක අපි සියලු දෙනාටම හොඳ උත්තේජනයක් වුණා.

 

ජන කරළිය නාට්‍යය කණ්ඩායමෙන් ඔබ ලැබූ පන්නරය මොකක්ද ?

මම ජන කරළිය නාට්‍ය කණ්ඩායමත් සමඟ වසර අටක් පමණ රැදි සිටියා. එහිදී නාට්‍ය අටක් විතර නිෂ්පාදනය කළා. ඒ අතර අන්දර මල්, චරන්දාස්, මකරා, හුනු වටය, සෙක්කුව, මැටි කරත්තය යන නාට්‍ය නිසා මගේ ගමනට හොඳ මාවතක් නිර්මාණය වුණා. මේ නාට්‍ය බලපු අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මාව අලුත් නාට්‍යවලට සම්බන්ධ කර ගත්තා. මේ නිසා දවල් රෑ දෙකේම නාට්‍ය පුහුණුවීම් කළා. මට මේ නිසා මගේ පෙර ගමන් මාර්ගය හොඳයි කියලා වැටහුණා. ශ්‍රී ලංකාව වටේම ගිහින් මේ සියලුම නාට්‍ය පෙන්නුවා.

 

පුංචි තිරයේවත්, සිනමාවේවත් නොදැකපු කාලයක කොහොමද වෙළඳ දැන්වීම් කලාවට එන්නේ ?

හොඳම නළුවා වීමෙන් ලැබුණු සම්මාන හින්දා තමයි, මට පස්සෙ වෙළෙඳ දැන්වීම් කිහිපයක් කරන්න ලැබුණා. ඊට පස්සේ මම කාර්යබහුල තත්ත්වයට පත් වුණා. කවුරුත් මාව "පේන්ට් බාස්" කියලා හඳුන්වන්න ගත්තා. ඒකෙන් මට හොඳක් සිදු වුණා. මට තවදුරටත් වෙළඳ දැන්වීම් කලාව තුළම රංගනයේ යෙදෙන්න පුළුවන් වුණා. මගේ අතමිටත් සරු වුණා.

 

වේදිකා නාට්‍ය කලාවට ඇයි ඔච්චරම කැමති ?

මම පාසල් යන කාලයේ ඉඳන්ම වේදිකා නාට්‍යවල රඟපාපු නිසා මගේ ඇඟේ තිබුණේම වේදිකා නාට්‍යම තමයි. වේදිකා නාට්‍යවල රඟපාපු ඕනෑම නළුවකුට හෝ නිළියකට ටෙලි නාට්‍ය කලාව සහ සිනමාව තුළ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මගේ ගුරුවරු සහ ප්‍රවීණයෝ කියලා තියෙනවා. මම කලබලේට දුවන මනුස්සයෙක් නෙමෙයි. ඒ හින්දා මගේ ගමන මම හරි හෙමින් යන්නේ.

 

මුල්ම ටෙලි නාට්‍යය පිවිසුම ගැන මොනවද කියන්න තියෙන්නේ ?

ජාතික නාලිකාවේ විකාශනය වුණු රෝෂාන් කුරුප්පු අධ්‍යක්ෂණය කළ " විහඟ ගීතය " ටෙලි නාට්‍යය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය. සිනමාවේ සහ ටෙලි නාට්‍ය ප්‍රවීණයන් රැසක් මෙහි රංගනයෙන් දායක වුණා. මගේ මුල්ම ටෙලි නාට්‍ය මට අත්දැකීම් සම්භාරයක් ගෙනත් දුන්න එකක්. එවැනි දේවල් ජීවිතයට ගෙන දෙන්නේ පුදුම සතුටක්.

 

ප්‍රේක්ෂකයාගේ මතක පොතට එක්වෙන්නේ " සකල ගුරු " කුමාර නිසා නේද ?

ඇත්තටම ඔව්. සුනිල් රත්නායකගේ " සකල ගුරු " ටෙලිනාට්‍ය පන්සලේ ඇබිත්තා ලෙසට ද රඟපාන මට ඒ චරිතය නිසා නාට්‍ය කීපයක්ම රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙනවා. බස් එකේත්, ඉස්කෝලේත් ඒ වගේම ජනප්‍රිය වුණා. ඒ වගේම රඟපාපු නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්නත් තියෙනවා.

 

හුණුවටේ සව්වා ගැන මොනාද කියන්න තියෙන්නේ ?

ඔහුගේ මුල්ම වේදිකා නාට්‍ය තමයි හුණුවටයේ කතාව එහි එන චරිතය තමයි සව්වා කියන්නේ. මේ වේදිකා නාට්‍යයේ නිසා මගේ ජීවිතේ වෙනස් කරපු හැම දෙයක්ම සිදු වුණා. ජයසේනයන් ගෙන් ලැබූ ආභාසය නිසා එදා වගේ අදත් මම හුණුවටේ නාට්‍යයට හරිම කැමතියි. " හෙළ ගැඹුරුයි පුත බිම නොබලන්....". ඒ ගෘෂාගේ කියමන මගේ හිතේ දරාගෙන ඒ ගැඹුර අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා සව්වා හැමදාම හිතන්නෙත් එහෙමයි.

 

මේ දිනවල අලුත් වේදිකා නාට්‍ය කිහිපයක පෙර පුහුණුවීම් කරනවාද ?

ඔව්. වේදිකා නාට්‍ය කීපයකම පෙර පුහුණුවීම් මේ දවස්වල කරනවා. කේ බී හේරත් මහතාගේ ජගන්මා සහ ඩග්ලස් රණසිංහ ශූරීන්ගේ පරණ නාට්‍යයක් වන "අඹුසැමියෝ" එය නව නිෂ්පාදනයක් ලෙස ඩග්ලස් රණසිංහයන් වේදිකාගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජයලත් මනෝරත්නයන්ගේ "ගුරු තරුව" නාට්‍ය මට සන්ධිස්ථානයක් වුණා. ඒවා නැවත නව නිර්මාණ ලෙස එන්න පුළුවන්. එහෙම නිර්මාණ ඉදිරියට එනවා කියන්නේ ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මම දකිනවා.

 

සිනමාවට අවතීර්ණ වන්නේ කොහොමද ?

මම ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිනමා පට කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. බිංදු, සිරි පැරකුම්, සුනාමි යන නිර්මාණවලට සහ හීන හොයන සමනළ්ලු මම පූර්ණ දායකත්වය දීලා තියෙනවා. ඉදිරියේදී තව නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා.

 

ඔබේ පරම්පරාව ගැන කියන්න තියෙන්නේ මොනවාද ?

අපේ පරම්පරාව ඉදිරිය දකින පරම්පරාවක්. අලුත් දේවල් හොයන්න හැමවෙලේම දඟලන නවීන තාක්ෂණයත් එක්ක ගමනක් යන්න දඟලන කොට්ඨාසයක්. විවිධ දක්ෂතාවන්වලින් හෙබි පිරිසක්.

 

ඒ පරම්පරාව ප්‍රවීණයන් එක්ක ගැටුම් ඇති කරගන්නේ ඇයි ?

ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන විට අධ්‍යයනයකින් තොරව හා ප්‍රවීණයන් අඳුරන්නෙ නැති එක එක්තරා සාධකයක් වෙනවා. ඒ නිසා තියෙන හොඳම දේ තමයි අධ්‍යයනයකින් ප්‍රවේශය ගෙන ක්ෂේත්‍රයට පැමිණීම. එවිට ගැටුම් අඩුයි. ප්‍රවීණයන්ට හිමිවෙන තැන හිමි වෙනවා.

Comments