කොළඹ සිට මාතර දෙසට යන විට හමුවන මාගාල්ල හන්දියෙන් වමට හැරී සැතපුම් තුන හතරක් පමණ ගිය තැන හමුවන ශ්‍රී සුමංගලෝදය ද්විතීයික විද්‍යාලයීය ඉතිහාසය වසර ශතකයක් ඉක්ම වූවකි. නමුත් එහි ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය යංතම් වසර 5ක් පමණ වේ. ඒ 2017 වසරයි.
“විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ යුතුයි කියන පළමු බීජය වැඩෙන්නේ හිටපු විදුහල්පති ගාමිණී ශාන්ත සිත තුළ ය . ඔහු මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළා. කිහිප දෙනෙක්ගෙන් හමු වී උපදෙස් ලබාගෙන සම්බන්ධ කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට උත්සාහ කළා. නමුත් කුමන හෝ හේතුවක් මුල් වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දිනෙන් දින ප්‍රමාද විය. ඒත් එතුමාගෙ බලාපොරොත්තුව ඒ ලෙසින් වසර කිහිපයක් ම දළු ලා වැඩුණා.“ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය සහන් මලින්ද ප්‍රේමරත්න ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් ප්‍රසූතිය ගැන පැවසුවේ එසේ ය.
හිටපු විදුහල්පතිතුමාගේ ක්‍රිකට් ‘ඇම්ම’ සුවපත් කරන ජීවකයා වන්නේ ශ්‍රී සුමංගලෝදයේ ආරම්භක මෙන් ම වත්මන් ක්‍රිකට් පුහුණුකරු ධනුෂ්ක සංජීව සමරකෝන් ය. විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සමරකෝන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති සුදුසුකම්ලාභී ක්‍රිකට් පුහුණුකරුවෙකි. ඔහු තිබෙන සම්පත් යොදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අභියෝගය බාර ගන්නේ ය.
නමුත් හරි හමන් ක්‍රීඩාංගණයක් නොමැති ව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය හැකි ද?
දකුණු ලක අග නගරය ක්‍රිකට් තෝතැන්නකි. නගර මධ්‍යයේ පිහිටි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාලු ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ ක්‍රිකට් තිඹිරි ගෙයයි. ඒ තරගවල දී ය. ඇතැම් අවස්ථාවක දෙකක දී නගරයේ සුපිරි පාසල්වල ක්‍රිකට් පුහුණුවීම් සඳහා ගාලු ක්‍රීඩාංගණය වෙන් වූව ද කෝඩුකාර කළහේ පොඩ්ඩන්ට ආරම්භයේ දී එතැන හිමි වූයේ නැත.
ශ්‍රී සුමංගලෝදය ද ඝන කබොක් බොරැල්ලෙන් පිරි සාමාන්‍ය කඳුකර බිමකි. ක්‍රීඩා කිරීමට හැකි යම් තැනක් වී නම් ඒ එක් පසෙකට වෙන්නට වූ ඉතා කුඩා ප්‍රමාණයේ සෙල්ලම් මිදුලක් ලෙසින් හැදින් වූ තැනකි. කළ හැකි යමක් නොවූ තැන ඔවුන් එහි ක්‍රීඩාව ආරම්භ කළෝ ය. මසක්, දෙමසක් ගිය තැන ඒ අවට තිබූ වන ගස් කපා, වල ගොඩැලි සමතලා කරමින් එම ඉඩ ප්‍රමාණය කුඩා ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට කළහේ ක්‍රිකට් පොඩ්ඩන්ගේ දෙමාපියන් පියවර ගත්හ.
ඒ අතර කාලයේ මේ ක්‍රීඩාංගණය සැකසීමේ සංග්‍රාමය ගාල්ල ප්‍රදේශයේ පරහිතකාමී ක්‍රීඩාලෝලියෙක් වූ රෝහණ ප්‍රියන්ත ගාල්ලගේ ගේ කණ වැකෙන්නේ ය. ඔහු ඒ පිළිබඳ සොයා බලා තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්, සැකසෙන ක්‍රීඩාංගණයේ කොණකට වෙන්නට අංග සම්පූර්ණ සිමෙන්ති පැති විකට්ටුවක් සාදා දෙන්නේ ය.
එදා ශ්‍රී සුමංගලෝදය පොඩ්ඩෝ ක්‍රිකට් කරලියේ රඟන්නට මඟ විවර කර ගන්නේ ඒ ලෙසිනි.
“මම ගොඩාක් සතුටු වෙනවා කළහේ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට දායකත්වය දැක්වීමට ලැබීම ගැන. ඒ දවස්වල ක්‍රිකට් නොමැති පාසල් කිහිපයකට ම මම උදව් කළා. ක්‍රිකට් ආරම්භ කරන්න පුළුවන්. නමුත් කළමණාකරණය කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑමයි වැදගත්. ඒ අතුරින් තවමත් ක්‍රිකට් නිසියාකාරව කළමණාකරණය කරගෙන යෑම ගැන මම ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ සියලු දෙනා ගැන ආඩම්බර වෙනවා.” රෝහණ ප්‍රියන්ත ගාල්ලගේ පැවැසුවේ ය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඒ රෝහණ ප්‍රියන්ත පැති විකට්ටුව සාදා දීමට අමතර ව ආරම්භක වසරේ පුහුණුකරුගේ වේතනය ලබා දීමට ද පරිත්‍යාගශීලී වන්නේ ය.
ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් ආරම්භ කර මාස 3ක ඇවෑමෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ තරගාවලියට ඇතුලත් වන්නේ ය.
කෝඩුකාර ඔවුන් පළමු වටයේ තරග 4කට සහභාගී වෙමින් තරගාවලියේ අපරාජිතව සිටිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ හ.
“දෙවැනි වටයේ දී ඉදිරියට යන්න අපිට නොහැකි වුණත්, කණ්ඩායමක් ලෙස දැක් වූ දක්ෂතා ගැන සෑහීමකට පත් වෙනවා. අනතුරුව මෙම කණ්ඩායම ම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ වෙනස්කම් සහිතව 2018 වසරේ දී වයස අවුරුදු 15න් පහළ පාසල් තරගාවලියට එක් වෙනවා. එම කණ්ඩායම තෙවැනි වටය දක්වා පැමිණෙන අතර එම වසරේ එම කණ්ඩායම නියෝජනය කළ දිල්ශාන් කාවින්ද සහ දුලීප නෙත්මිණ
ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමට සුදුසුකම් ලබා ගත්තා. ඒ අතුරින් දිල්ශාන් කාවින්ද ගාල්ල කලාප දෙක කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කිරීමට තරම් දක්ෂතා දැක් වුවා.” ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ පුහුණුකරු සමරකෝන් පැවැසුවේ ය.
අනතුරුව ශ්‍රී සුමංගලෝදය විද්‍යාලය 2019 වසරේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් ද පාසල් ක්‍රිකට් පිටියට රැගෙන ඒමට කටයුතු කරන්නේ ය. මේ වන විට ඔවුන් තෙවැනි පෙළ පළමු කොටසේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටියි.
“ළමයින්ගේ මානසික සහ ශාරීරික තත්ත්වයන් ඉහළ මට්ටමක රඳවා ගැනීමට අධ්‍යාපනය වගේ ම ක්‍රීඩාවත් ඉතා වැදගත්. පංති කාමරය තුළින් ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු වෙද්දී ක්‍රීඩා පිටිය තුළින් ශාරීරික ක්‍රියාකාරකම් සිදු වෙනවා. ඊට අමතර ව ජය පරාජය සමසේ විඳ දරා ගැනීමේ ශක්තිය ක්‍රීඩාවෙන් ඉගැන්වෙනවා. විශේෂයෙන් ම ක්‍රිකට් වැනි කණ්ඩායම් ක්‍රීඩාවකින් සාමුහිකව ජය ගැනීමේ සහ විඳ ගැනීමේ චර්යාවන් හුරු කෙරෙනවා. අපි ඉතා අවම පහසුකම් තිබෙන පාසලක්. නමුත් ගොඩාක් දක්ෂ දරුවන් අප අතර සිටිනවා. ඔවුන්ව හෙට දවසේ දී ජාතියට දායාද කිරීමයි අපි සිදු කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඒ වෙනුවෙන් වෙහෙස වෙන විශාල පිරිසක් අප වටා රැදී සිටිනවා. පුහුණුකරු සමරකෝන් ඇතුළු සියලු දෙනා ඒ යුතුකම වෙනුවෙන් අත ගසා සිටිනවා. විදුහල්පති ලෙස මම ඔවුන්ගේ ඒ කැපවීමට ස්තූති වන්ත වෙනවා.” ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයීය විදුහල්පති ප්‍රියන්ත පී. ලියනගේ පැවැසුවේ ය.
ශ්‍රී සුමංගලෝදය පොඩ්ඩන්ගේ ලෝකයම ක්‍රිකට් ය. කතා බහ ද ගමන බිමන ද ක්‍රිකට් ය. ක්‍රීඩාංගණය සැකසීම ද ක්‍රිකට් ම යැයි ඔවුන්ගේ නිගමනයයි. තරගයක දී සේ ම පුහුණුවීම්වල දී ද මේ සියල්ලෝම කඩිමුඩියේ වැඩ ය. ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොවේ දෙමාපියන් ද හරි හරියට වැඩ ය. ලණු පැදුර එළීම, ඒ මත සීමා මායිම් කිරීම, ක්‍රීඩාංගණයේ සීමාවන් ලකුණු කිරීම යන මේ සියලු දේ සිදු කෙරෙනුයේ මේ සියලු දෙනාගේ එකතුවෙනි.
“අපි සුමංගලෝදයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ බොහොම සීරු මාරුවට. හිටපු විදුහල්පතිවරුන් ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ වර්තමාන විදුහල්පති ප්‍රියන්ත පී. ලියනගේ, නියෝජ්‍ය විදුහල්පති නුවන් ප්‍රියංකර මහතා සහ පාසලේ සෑම ගුරුවරයෙක් ම මේ අසීරු කාර්ය සාර්ථක කර ගැනීමට විශාල කැපවීමක් කළා. ඒ වගේම රෝහණ ප්‍රියන්ත ගාල්ලගේ අපිට අසීරූ වූ සෑම අවස්ථාවකම නිර්ලෝභීව අපේ අවශ්‍යතාවන් ඉෂ්ට කළා. ඊට අමතර ව විපුල පතිරණ, විද්‍යාලයීය පාසල් සංවර්ධන සමීතිය, ධනුෂ්ක පලිහක්කාර ප්රමුඛ විද්‍යාලයීය 97/2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම, දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක යන අය විශාල ලෙස අපේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් උදව් කර තිබෙනවා. ඒ වගේ ම ක්‍රීඩා කරන සෑම ළමයෙක්ගේ ම දෙමාපියන් දක්වන දායකත්වය සහ සේවය මිල කළ නොහැකියි. ඔවුන් නිසා තමයි අද සුමංගලෝදයේ ක්‍රිකට් පවතින්නේ. ඒ වගේ ම දිස්ත්‍රික් පුහුණුකරුවන් දක්වන දායකත්වයත් සුමංගලෝදයේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ශක්තියක්.” සුමංගලෝදය විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකරු ධනුෂ්ක සමරකෝන් පැවැසුවේ ය.
සුමංගලෝදය විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ ආඩම්බරයෙන් සමරන්නට තරම් සැමරුම් නොමැත. නමුත් ඔවුන්ගේ කැපවීම සහ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට කෙරෙන අරගලය පැසසිය යුතුය. මේ අරගලයේ තැන් තැන්වල නටබුන් ද නැත්තේ නොවේ. ඒ අතර පැති විකට්ටුවේ දැල සකසා ගැනීම, අඩක් සාදා නිම කර ඇති ක්‍රීඩා මණ්ඩපයේ වැඩ කටයුතු අවසන් කිරීම ප්රමුඛ කාර්යයන් අතර වේ. මේ අඩු-පාඩුවලට අමතර ව ක්‍රීඩා භාණ්ඩවල උග්‍ර හිඟයට ද ඔවුන් හෙට දිනයේ ක්‍රිකට් පිටියේ දිලෙන්නට උත්සාහ කරමින් මඟ හසර සොයමින් සිටින සුමංගලෝදය විද්‍යාලයීය ක්‍රිකට් පොඩ්ඩන්ට ‘ක්‍රීඩා’ උණුසුම් සුබ පැතුම් එක් කරමු.