“නානා” කියන බ්‍රෑන්ඩ් එකේ විහිලු කියන්නේ එකක් විතරයි | Page 2 | සිළුමිණ

“නානා” කියන බ්‍රෑන්ඩ් එකේ විහිලු කියන්නේ එකක් විතරයි

මධුෂාන් නානායක්කාර ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහුගේ රුව දුටු සැණින් ඔබ හඳුනන සොඳුරු කලාකරුවෙක්. ඔබ දන්නවා මේ වෙද්දී අපේ ආදරණීය කලාකරුවන් රැසකගේ නමින් තමන්ටම කියලා යූ-ටියුබ් නාළිකාවක් තියෙන බව. අද අපි මධුෂාන් සමඟ වැඩිපුර කතා කරන්නේත් ඔහුගේ "නානා" යූ- ටියුබ් නාළිකාව ගැන.

 

"නානා" යූ- ටියුබ් නාළිකාව කොහොමද පටන් ගන්නේ

ඒ ගැන කියන්න ඉස්සෙල්ලා නානා කියන නම ගැන වචනයක් කියන්න ඕනේ. නානා කියන්නේ මාව දන්නා සුවහසක් මිනිස්සු ප්‍රිය කරන පෙට් නේම් අතරින් එකක්. ඒකට හේතුව මගේ වාසගම නානායක්කාර වීම. මම පාසල් ගියේ නාලන්ද විද්‍යාලයට. පාසලේ දී බොහෝ ගුරුවරුන් කතා කරන්නේ වාසගමින්. නානායක්කාර දිග වැඩි නිසා තමා නානා කියලා කෙටි වුණේ. සමහර අය අහනවා මම මුස්ලිම් ද කියලත්. නැහැ මම සිංහල.

දෙවැනි කාරණය තමයි මම මිට කලින් සම්බන්ධ වෙලා හිටියා යූ- ටියුබ් නාළිකාවක් සමඟ. එතකොට ලොකුවට මේ වගේ යූ- ටියුබ් නාළිකා සම්බන්ධයෙන් ෆලෝ එකක් තිබ්බේ නැහැ. ඒ කාලේ අපි පටන් ගත්තා "බොම්බයි මොටයි" කියලා. ඒ වැඩේ ඔහොම යන අතරේ මම රංගනයෙන් දායක වුණු පැකේජ් නාට්‍යය වෙනුවෙන් මට 42වන සිග්නීස් සම්මාන උළෙලේදී සම්මානයක් ලැබෙනවා. එදා තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළ ආයතනයෙන් යෝජනාවක් එන්නේ අයියේ අපි යූ- ටියුබ් නාළිකාවක් පටන් ගමුකො කියලා. එදා රෑම අපි යූ- ටියුබ් නාළිකාවක් හැදුවා. මම ඇත්තටම හිතාගෙන හිටියේ මගේ නෝනාගේ කෑමබීම ඉවුම් පිහුම් සම්බන්ධයෙන් වීඩියෝ පළ කරන්න. මොකද එයා කෑමබීම සම්බන්ධයෙන් හොඳ එක්ස්ෆර්ට් කෙනෙක්. පේනවනේ ඉතින් මගේ ඇඟ දැක්කමත්. නමුත් අර පරණ මම හිටපු යූ-ටියුබ් නාළිකාවේ නිෂ්පාදකතුමා ඒකට කැමති වුණේ නැහැ. මම කිව්වේ මම දෙකම කරන්නම් කියලා.

ඒ අය වෙන කෙනෙක් දාගෙන කරගෙන යනවා. මට ඉතින් අලුතින් ලියන්න ඕනේ වුණේ නැහැ ඒ වෙද්දීත් මගේ අතේ පිටපත් දෙක තුනක් තිබ්බ නිසා අලුත් වැඩේ පටන් ගත්තා. ඕක තමා "නානා" යූ- ටියුබ් නාළිකාවේ පටන් ගැන්ම.

 

මේ වෙද්දී විවිධ වූ ක්ෂේත්‍රවලින් ජනප්‍රිය වුණු අය යූ- ටියුබ් නාළිකාවන් ආරම්භ කරනවා. මේ තත්ත්වය කොහොමද දකින්නේ

දැන් ඇත්තටම ලෝකයේ යන විදියට එපැයි අපි හැඩ ගැහෙන්න. දැන් හැමදේම සම්පුර්ණ වශයෙන් ඩිජිටල් වෙමින් එන්නේ. ඉතින් අපිට ඕනේ නම් මේ දේවල් කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. නමුත් හැමදෙයක්ම අලුත් වෙද්දී ප්‍රේක්ෂකයන් එක්ක රැඳිලා ඉන්න හොඳ මාධ්‍යයක්. මේ වෙද්දී රටේ ටෙලි නාට්‍යය කර්මාන්තයට සහ සිනමාවට වෙලා තියෙන දේ ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ එක්කම මේ වෙද්දී මට හම්බෙලා ඉන්නවා ටෙලි නාට්‍යය කිසිවක් නොබලන යූ- ටියුබ් නාළිකාවන් පමණක් බලන ප්‍රේක්ෂකයන්. ඒ අය මාව දන්නේ යූ- ටියුබ් එකේ නානා කිව්වම. තවත් සමහර අය ඉන්නවා යූ- ටියුබ් නාළිකාවන් බලන්නෙම නැති අයත්. ඒ නිසා ඕනෙම කෙනෙක්ට යූ- ටියුබ් කියන්නේ හොඳ ෆෝමැට් එකක්. මම එකේ කැමතිම කෑල්ල තමයි රඟපානකොට ලංකාවේ නාළිකාවලින් පෙන්වන නිර්මාණ නිසා සමහර සීමාවන් තියෙනවා. හැබැයි මෙතනදී ඒ කිසිම සීමාවක් නැතුව නිදහසේ පිටපතට අවශ්‍ය පරිදි කරන්නට නිදහස තියෙනවා. යූ- ටියුබ් නාළිකාව තුළ එහෙම බැරියර්ස් නැහැ. ඒකට තමා මම ආසම.

 

කොහොමද මේ වෙද්දී ලබන ආදායම

යූ- ටියුබ් නාළිකාවක් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් නම් යම් ආදායමක් ලබන්න පුළුවන්. මම කියන්නේ නැහැ පට්ට ආදායමක් ලැබෙනවා කියලා. නමුත් මටත් මේ තුළින් ආදායමක් ලැබෙනවා. ඒ ලැබෙන ආදායම මගෙත් එක්ක වැඩ කරන පිරිස අතරේ බෙදිලා යනවා. මගේ කණ්ඩායමේ ඉන්නවා මහේෂ් උයන්වත්ත, දිල් මිහිරාජි, බුද්ධික සේමසිංහ, සහ තව නිර්මාණයට අනුව එකතුවෙන පිරිස ඉන්නවා. ඒ වගේම හොඳ රංගන ශිල්පියෙක් විදියට බොහෝ දෙනා දැකලා තියෙන කසුන් ලියනගේ මේ වෙද්දී මගේ ප්‍රධාන කැමරා ශිල්පියා සහ සංස්කරණ ශිල්පියා විදියට වැඩ කරනවා. ඒ වගේම මගේ නාළිකාවේ මැනේජ්මන්ට් එක කරන්නේ කස්සා ඇඩ්වර්ටයිසින් ආයතනයේ පොඩි කොල්ලෝ ටික. අපිට තරම් අත්දැකීම් නැති වුණාට තාක්ෂණික පැත්තෙන් අපිට වඩා සෑහෙන්න දැනුමක් තියෙනවා. මම බොහොම සතුටින් මේ කණ්ඩායම එක්ක වැඩේ කරගෙන යනවා. එන ආදායමත් ඉතින් ඔය පිරිසට බෙදිලා යනවා.

 

වැඩියෙන්ම විව්ස් ලැබුණු වීඩියෝ ක්ලිප් එක මොකක්ද?

"පාන් කාලයි හොදි චුට්ටයි" මේ කතා කරන මොහොත වෙද්දී අට ලක්ෂ තිස් තුන්දාහකට එහා බලලා තියෙනවා. තවමත් දවස ගානේ ඒ වීඩියෝ එකට විව්ස් එකතු වෙනවා.

කවුද මේ වීඩියෝවල පිටපත් හදන්නේ

මගේම විතරක් නෙවෙයි. අපි වැඩ කරන පිරිස එකතු වෙලා කතාබහ කරලා තමයි නිර්මාණය කරන්නේ.

 

"නානා" යූ- ටියුබ් නාළිකාවේ ඉදිරි දැක්ම මොකක් ද?

"නානා" යූ- ටියුබ් නාළිකාව තුළ කොමඩි කියන්නේ එක සංකල්පයක් විතරයි. නමුත් මේ "නානා" යූ- ටියුබ් නාළිකාව තුළ තව තව අලුත් සංකල්ප දාන්න පුළුවන්. මේ දවස් වල මම හිතාගෙන ඉන්නවා අපේ රටේ දේශපාලන ආර්ථික සහ සමාජීය වාතාවරණය සම්බන්ධයෙන් ඒ ඒ අදාල අංශ වල ඉන්න ප්‍රවීණ ජ්‍යේෂ්ටයන් සමඟ අපේ සමාජයේ වෙසෙන පහළම පන්තියට දැනෙන විදියේ කතිකාවක් නිර්මාණය කිරීම. මොකද මම දැකපු අඩුපාඩුවක් තමයි ලෝ ලේයර් එකේ මිනිස්සු හරියට කාරණාව මොකක් ද කියලා දන්නේ නැහැ.

ඒ එක්කම නානා කියන බෑන්ඩ් එක යටතේ විහිලුවලට එහා ගිය ප්‍රඩක්ට් කිහිපයක් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී ඩොලර් එක නැග්ගේ නැත්නම් මම "නානා" කියන බෑන්ඩ් එක යටතේ පර්ෆියුම් එකක් ලෝන්ච් කරන්න පවා මම හිටියා. ඒ වගේ වෙනස් වෙනස් වැඩ ටිකක් මේ නානා බෑන්ඩ් එක යටතේ ඉදිරියට ගෙන්න තමයි මගේ සුදානම. "නානා" කියන බෑන්ඩ් එකේ විහිලු කියන්නේ එකක් විතරයි.

 

පොඩ්ඩක් හරි අපි කතා කරමු ඔබේ කලා නිර්මාණ ගැන

ඇත්තටම මේ කාලයේ නම් ඉතාම ඛේදනීයයි කියන්න. පහුගිය දවස්වල සම්බන්ධවෙලා හිටිය නිර්මාණවල රජයට අනුබද්ධ නාළිකාවල නිෂ්පාදන නවත්තලා තිබ්බා. ඒකට හේතුව අනුග්‍රාහකයන් නොමැති වීම.පෞද්ගලික නාළිකාවල ගිය ටෙලි නාට්‍ය විතරයි එක දිගට ගියේ. ඒකත් රෙඩ් ලයිට් එකක් වැදිලා තියෙනවා. කොයි වෙලාවේ නතර වෙයිද කියන්න බැහැ. මේ දවස්වල කලාව විතරක් ආදායම කරගෙන ජීවත් වන අයගේ අනාගතය මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.

මොනවා හරි නිර්මාණයකට කතා කළොත් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ හැර කලාව ගැන ලොකුවට කතා කරන්න බැහැ.

 

Comments