ලස්සන කතා කරන ඇස් දෙකක් උරුම කරගන්නේ මෙහෙමයි | සිළුමිණ

ලස්සන කතා කරන ඇස් දෙකක් උරුම කරගන්නේ මෙහෙමයි

ඇස් වටා ආලේප කරන්න වෙනම ආලේපන වර්ග තිබෙන බව ඇතැමුන් දැනුම්වත් නැහැ

දුම්පානය කරන විට අධිකව හිරුඑළියට නිරාවරණය වූ විටත් ඇස්වටා කළු වෙනවා.

 

“මා ඔබත් එක්ක සුහද කතාවක් - ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.." කියල සින්දුවක් තියෙනවනෙ. ඇත්තටම ඔබ ඇස්වලින් කතා කරල තියෙනවද? අපි ඕනම කෙනෙක්ගෙ මුලින්ම බලන්නේ ඇස් දෙක. ඒ වගේම අපි ලෝකය දකින්නෙත් ඇස්වලින්. ඉතින් ඇස් වටා අවපැහැ වෙලා තියෙනකොට එය අපේ රූපයට ගේන්නේ අවලස්සනක්. ඉතින් අපි අද කතා කරන්න හිතුවා ඇස් වටා අඳුරු වීම වැළැක්වීම සහ ඇස් සුන්දරව තබාගැනීමට කළ යුතු දේවල් පිළිබඳව.අද රූ රහස් තුළින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරන්නෙ සිංගප්පූරුව,මාලදිවයින, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා හේරත් ය.

 

ඇස් වටා කළු වීම අප කාටත් තියෙන ප්‍රශ්නයක්. අපි බලමු ඇස් වටා කළු වෙන්නේ කොහොමද කියලා. අපි අපේ මුහුණේ ඉතාමත් සංවේදී කොටසක් තමයි ඇස්වටා තියෙන්නෙ. වයසට යනකොට අපේ සමේ තියෙන කොලජන් ටික ටික අඩු වෙනවා. එතකොට සම ඉක්මනට රැලි වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම අප වයසට යෑමේදී සම දුර්වර්ණ වීමත් සිදු වෙනවා. සිනිදු සහ සංවේදී නිසා ඇස් වටා අවපැහැ වෙනවා. එනිසා අකලට වයසට ගිහින් වගේ පෙනුමක් දිස් වෙනවා. වෙහෙසට පත් වෙලා වගේ පේනවා.

අපේ ඇස් වටා කළු වීමට බලපාන ප්‍රධාන හේතු තමයි අධිකව නිදිමැරීම, අධික වෙහෙස සහ අධික ආතතික තත්ත්වය. ඒ වගේම දුම් පානය කරන විටත් අධිකව හිරු එළියට නිරාවරණය වූ විටත් ඇස්වටා කළු වෙනවා. එමෙන්ම වයසට යාමත් එක්ක එක්කත් ඇස් කළු වෙන්න පුළුවන්.

අපි දන්නවා සමහරක් ක්‍රීම් වර්ග භාවිත කරනකොට ඇස් වටා ආලේප කරන්න එපා කියල ක්‍රීම්වලම සඳහන් වෙනවා. ඇස් වටා ආලේප කරන්න වෙනම ආලේපන වර්ග තිබෙන බව ඇතැමුන් දැනුම්වත් නැහැ. ඇත්තටම ලස්සන ඇස් දෙකක් තියාගන්න අපි සුවබර නින්දක් ලබාගන්න ඕන. ඒ වගේම අධික මානසික ආතතිය සහ අධික වෙහෙස නැති කර ගන්නත් උත්සාහ කළ යුතුයි.

ඇස්වලට කරන්න හැකි සත්කාර ලෙස නිවසේ දී අපිට අමු අර්තාපල් පෙති දෙකක් ඇස් වලට තබාගන්න පුළුවන්. ඒ වටේම තම්බපු තේ පැකට් මෙන්ම පිපිඤ්ඤා පෙතිත් ඇස් මත තබාගැනීම සුදුසුයි. මේ හැම දෙයින්ම අපිට ඇස් දෙක ලස්සන කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි ගොඩක් වෙලාවට eye makeup පාවිච්චි කරනවා. චූටි ඇස් දෙකක් තියෙන කෙනෙක් ඇස් දෙක ලොකු කරගන්න සහ ලස්සන කරගන්න eyelashes පාවිච්චි කරනවා. ඉස්සර නම් අපි eyelashes අලවපු එක තමයි කළේ. හැබැයි ටික වෙලාවක් යද්දි ඒව ගැලවෙනවා.දැන් එයට විසඳුමක් ලෙස eyelashes plant කරනවා. ඒ වගේම තව නොයෙක් නවීන ක්‍රමත් භාවිත කරනවා. ඒ වගේම ඔබේ ඇස් ගොඩක් යටට ගිලිල වගේ නම් ඇස් වටා අධිකව අඳුරු වෙලා නම් වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න අතපසු කරන්න එපා. PRP එකක් කරලා අපිට පුළුවන් එය යථා තත්ත්වයට පත් කරගන්න.

ඒ වගේම තමයි ඡායාරූප ගැනීම, වැඩසටහන් වැනි දෑ කරන අය විවිධ වර්ණයන්ගෙන් eye lenses පාවිච්චි කරනවා. මේවා අපි හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගැනීම අතිශය වැදගත්. මොකද මේ lenses වලින් ඇස් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම eye lenses අපේ ඇහැට දාලා පැය අටක වගේ කාලයක් විතරයි තියාගන්න ඕන. ඊට පස්සේ අත් දෙක හොඳට පිරිසිදු කරල ඒවා ඉතාමත්ම පරිස්සමෙන් ඉවත් කර රසායනික ද්‍රාවණයට දමා තැබිය යුතුයි. මේ eye lenses ළූණු සිවියක් වගේ. සිවි කාච (contact lenses) පාවිච්චි කරනකොට තියෙන ගැටලුවක් තමයි ඇස් තුවාල වීම.එතකොට lenses වලටත් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම ලෙන්සස් නිසා ඇස්වලට ඔක්සිජන් ලැබීමට බාධාවන් එල්ල වෙනවා. ඒනිසා contact lenses පාවිච්චි කරනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන.

අපේ ඇස් දෙක ආරක්ෂා කරගැනීමට ඇස් මසාජ් එකක් කරන එකත් වැදගත්. ඒ සඳහා මුදුව දාන ඇඟිල්ල (වෙදැගිල්ල) තමයි භාවිත කරන්න ඕන. මොකද ඒක තමයි අපේ ප්‍රෙෂර් එක අඩුම ඇඟිල්ල. මේ වගේ දේවල්වලින් අපිට ඇස් දෙක ආරක්ෂා කරගන්න වගේ ම ලස්සන කරගන්නත් පුළුවන්.

නිසංසලා සංගීතා සමරතුංග

Comments