මගේ නවකතාවලින් ජීවිතයට යමක් දෙන්න මම උත්සාහ කරනවා | Page 2 | සිළුමිණ

මගේ නවකතාවලින් ජීවිතයට යමක් දෙන්න මම උත්සාහ කරනවා

‘නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව මොනවා හරි කරන්න" තම පියාණන් කලකට ඉහත දීපු ඔවදන ඇයගේ සිතට තදින් කාවැදී තිබුණා. මේ උපදේශයත් සිතේ රඳවාගෙන පාසල් කාලයේදි හිතට දැනෙන පුංචි පුංචි දේවල් කඩදාසිවල අකුරු කළ ඇය දිලිනි ගයානි ගුණසේකර. ඇයගේ නමින් සයිබරයේ නව කතා පළ වෙද්දී පාඨකයන් ඒ් කතා ආදරයෙන් වැළඳ ගනිද්දි 'නො හඳුනන්නී' ප්‍ර කාශන ආයතනය මඟින් දිලිනිගේ පළමු මුද්‍රිත නවකතාව එළිදැක්වෙනවා.ගනේමුල්ලේ හේමමාලී මහා විදුහල සහ ගලහිටියාව ජාතික පාසලේ අකුරු කරවූ ඇය නවකතා නිර්මාණවලට පෙම්බඳින්නට කලින් දැල්පන්දු, වොලිබෝල්, ජවන හා පිටිය ක්‍රීඩාවල නිරත දක්ෂ ක්‍රීඩිකාවක්.

 

1.මගේ පළමු නවකතාව

මුද්‍රිත මාධ්‍යයක් හරහා එළි දැක්වුණු මගේ පළමු නවකතාව 'මේඝ වර්ෂා'. පාසල් කාලයේදි හිතට දැනෙන පුංචි පුංචි දේවල් ලියලා හංගගෙන තියාගෙන හිටියට නවකතාවක් ලිවීමට තරම් මට බලවත් වුවමනාවක් තිබුණෙ නෑ. 2019 වර්ෂයේ එක්තරා දිනයක මම මුහුණු පොත හරහා දකිනවා කතා වෙනුවෙන් ම වෙන්වුණු සමූහයක්. ඒ සමූහය තුළ ලියවිලා තියන කතා කියවන අතරේ මමත් ලියන්න ඕනෑ කියන අදහස හිතට එන්නේ මගේ ඒකාකාරී දිනය ගෙවීමේ වෙනසක් කිරීමට අශ්‍යතාවක් තිබුණු කාල වකවානුවකයි. එයත් මම ආරම්භ කළේ දීර්ඝ නවකතාවක් ලිවීමේ අරමුණින් නම් නෙමේ. කෙසේ හෝ ඒ අනුව ලිවීම ආරම්භ කළා. ඒ ලියූ පළමු කතාවේ ඉඳන් පාඨක පිරිසක් මා වටා රැඳී සිටිමින් නිතර මා දිරිගැන්වුණා. ඒ ලියූ කතා අතර මුද්‍රිත මාධ්‍යයක් මාර්ගයෙන් පාඨකයන් අතරට පැමිණි මම නොහඳුනන්නී ප්‍රකාශන ආයතනය තුළින් එළිදැක්වුණු මගේ පළමු නවකතාව මේඝ වර්ෂා කෘතියයි. පිළිවෙළට ගත්තම මගේ අතින් ලියැවුණු හතර වන නවකතාව 'මේඝ වර්ෂා' යි. මම මගේ පළමු කෘතිය වගේම මේඝ වර්ෂා මම ලියපු නවකතා අතර මට විශේෂ පොතක්.

මේඝ වර්ෂා හරහා මට කිසිම ආයාසයකින් තොරව ලේඛිකාවක් වීමට මඟ පෙන්වූයේ නොහඳුනන්නී ප්‍රකාශන ආයතනයේ අධිපතිනි අනූෂා ප්‍රනාන්දු මහත්මිය යි. නවකයෙක් වුණු මාව හා හා පුරා කියල මුද්‍රිත මාධ්‍යයක් වෙත ගෙන එන අවදානම අරගෙන එතැනින් නොනැවතී මෙතරම් දුරක් එන්න අත හිත දුන් එතුමියට මගේ ගෞරවනීය ස්තුතිය හිමි වෙනවා.

 

2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

මම බොහොමත් ම කැමති සිද්ධියක් තියෙනවා කතා නායිකාවගේ සැබෑ තාත්තා මියගියාට පසුව ඇයට හීනෙන් පෙනිලා මීදුම් අතරින් නො පෙනී යන දර්ශනයක්. ඒක මගේ ජීවිතයේ මට පුද්ගලික අත්දැකීමක් නිසාම එය මම කතාවේ කැමතිම සිදුවීමක් වෙනවා. තවත් එක තැනක ඇය කුඩා කාලයේ පටන් ඇයව රැකබලාගත් මියගිය ආච්චිට ලියුමක් ලියනවා. ජීවත් ව ඉදිද්දී කරන්න නොහැකි වුණ දේවල් ආච්චි මියගියාට පසුව කළ හැකි කාලයක් උදා වෙලා තියෙනවා වුණාට ආච්චි ඇගේ ළඟ නොමැති බව සඳහන් කරලා ලියන දුක්ගැනවිල්ලක්. පෞද්ගලිකව මම ඒ සිදුවීමටත් හරි කැමතියි. ඒ ඒ කාලවල දී අපිට අවශ්‍ය දේවල් ඒ වෙලාවට අපිට නොලැබෙන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍ය කාලයේ දී අපිට නො ලැබුණු දේවල් පසුකාලයේ දී අපිට ලැබුණොත් වැඩක් නැති වෙන්න පුළුවන්. ඒක තමා මේ ස්වභාවධර්මයා අපිට උගන්වන පාඩම. ඊට අමතරව අහිංසක වර්ෂා ස්ව්‍යංවරී මාන්නප්පෙරුම කියන මෙම නවකතාවේ කතා නායිකාව දකින හැම වෙලාවකදිම එහි කතා නායකයා මේඝ සඳකැන් සේනානායකගේ සිතේ උපදින හිතුවක්කාර සිතුවිලිවලට මම පෞද්ගලිකව කැමතියි. ප්‍රධාන ගෑනු චරිතය වන වර්ෂා නම් යුවතිය ගණන් නොගෙන ඉන්න හදන ඒ දඩබ්බර මේඝගේ කටින් පිටවෙන හැම වචනයකට ම මම කැමතියි.

 

3.මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර

මම වෘත්තිමය ලේඛිකාවක් නෙවෙයි. ලැබෙන කෙටි විවේකයෙන් කාන්සිය මකා ගැනීමට තමා මුලින් ම ලිවීම ආරම්භ කළේ. නමුත් දැන් දැන් ඊට ඇති ආශාව සහ ඇබ්බැහිය නිසා වැඩි වේලාවක් යොදවන්න කාල වෙලාව හොයා ගන්න මට පුළුවන් වෙලා තියනවා. ඒ ලැබෙන කාලය අතරතුරේ මම ලියපු නවකතා කෘති පහක් දැනට මුද්‍රිත මාධ්‍ය හරහා ඉදිරිපත් කරල තියනවා. ඒ අතරට හිතුමතේ පෑයු සඳ, නුඹ ඇවිදින් හෙමින් සැරේ, ඔබ අහසක් සහ ප්‍රේමය නම් නවකතා ඇතුළත් වෙනවා.

ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී සිදුවිය හැකි සංසිද්ධීන් ආශ්‍රයෙන් තමයි මම කතාවක් ගොඩ නගන්නේ. මේ මහ පොළොවේ සිදුවිය හැකි දේවල් අකුරු කරන්න මං හරි කැමතියි. ඒ නිසා මගේ අතින් ඒ හා සමාන දේවල් ලියැවෙනවා වැඩියි. ඒ බොහෝ කතා මගේ පාඨකයන් විසින් මට කියූ කතා සහ මගේ මිතුරු මිතුරියන් මාර්ගයෙන් දැනගත් සිදුවීම්, බසයකදී දුම්රියක දී අපි දකින දේ, මගේ සමීපතමයකුගේ අත්දැකීම් වෙන්න පුළුවන්. ඒ ලිවීම අතරට ජීවිතයට ලබාගත හැකි ආදර්ශයක් දෙන්නත් මම බොහෝදුරට උත්සාහ කරනවා. ඒ අතර පාඨකයන්ගෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාර නිසා මම ගන්න උත්සාහය බොහෝ දුරට සාර්ථකයි කියලා හිතෙනවා. ඒ ආදරණීයයන්ගෙන් ලැබෙන ඇමතුම්, කෙටි පණිවිඩ සහ ඇගයීම් නොසිතූ තරම් ලැබෙන නිසා මම හරිම වාසනාවන්තයි කියලත් මට හිතෙනවා. මම ලියූ කතා අතරින් වැඩිම ප්‍රතිචාරයක් ලැබුණේ ඔබ අහසක් නවකතාවට. ඒ නිසා තමයි මම වැඩියෙන් ම බැණුම් ඇහුවේ.

 

4. මා නො ලියූ, මා කැමති වෙනත් පොත්

රහස් පරීක්ෂණ වගේම, ගුප්ත කතා සහ කුතූහලය සපිරි කතා කියවන්න මං හරි කැමතියි. පාසල් කාලයේ දී නම් ෂර්ලොක් හෝම්ස්ගේ පරිවර්තන කතා පොත් නැවත නැවත කියෙවුවා. එවැනි රහස් ගුප්ත කලාව පිළිබඳ ව තොරතුරු එක්රැස් කරගෙන මම නොලියූ ආරක කතාවක් ලියන්නත් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. කාලයෙන් කාලෙට ඔය කියැවීමේ රසය වෙනස් වෙන්න පුළුවන්. ඒ අතර මම පුද්ගලිකව ම කැමතියි මළගිය ඇත්තෝ, මහල්ලා සහ මුහුද සහ ගුරු ගීතය පොත් නැවත නැවත කියවන්න.

 

5. මගේ ඉදිරි සැලසුම්

විශාල බලාපොරොත්තු නෑ. නිවසේ වැඩකටයුතු අතරතුරේ ලැබෙන නිදහසින් ප්‍රයෝජන අරගෙන නව නිර්මාණකරණයේ යෙදීම තමයි මගේ බලාපොරොත්තුව. මගේ තාත්තා කියපු කතාවක් තමයි "නිකරුණේ කාලය ගත කරන්නේ නැතිව මොනවා හරි කරන්න" කියලා. ඉතින් ඒ කියමන තුළ ලොකු කතාවක් තියෙනවා කියලා මං අදටත් විශ්වාස කරනවා. ලොකු කනස්සල්ලක් තියෙනවා මගේ අතින් ලියැවුණු පොතක් තාත්තගේ අත්දෙක උඩින් තියන්න බැරිවීම ගැන.

ඉදිරි කාලය ඇතුළත මගේ නවකතා කෘති කිහිපයක් ප්‍රකාශන ආයතන හරහා එළිදක්වන්න නියමිතයි. ඒවා නම් වශයෙන් කියනවා නම් දියානා, පිනි කඳුළක්, අතු ඉති මතින්, පාට සරුංගල් සහ හිතුමතේ පෑයු සඳ -2.

ඒ අතර සහෝදර ලේඛිකාවන් සමඟ සහයෝගයෙන් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නිතරමට දිරි දෙමින් ඉදිරි ගමන සුබ කරගන්නට ආශිර්වාද ලබාදෙන මට ආදරේ කරන පාඨකයන් සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා වගේම තවත් හරවත් නිර්මාණ ලබාදෙමින් හෙමින් ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

Comments