ඉස්ලාම් දහමට අනුවසැමියා සහ බිරිය අතර සහකම්පනය තිබිය යුතුමයි | Page 2 | සිළුමිණ

ඉස්ලාම් දහමට අනුවසැමියා සහ බිරිය අතර සහකම්පනය තිබිය යුතුමයි

ඉස්ලාම් දහමට අනුව පවුල් ජීවිතය ආදරණීය බැඳීමකි;සිතට ගතට සැනසුමකි;එය නීතිමය බැඳීමකට එහා ගිය ආධ්‍යාත්මික බැඳීමකි.

‘අරුත් බර විවාහයකට පෙර මඟ ලකුණු' ලිපි මාලාවෙන් මෙවර අප අවධානය යොමු කළේ ඉස්ලාම් ධර්මය තුළ විවාහය පිළිබඳව ඉදිරිපත් කර ඇති සංකල්ප පිළිබඳව වන අතර, එහි දී අප හා සාකච්ඡාවට එක් වූයේ තිහාරිය, ඉබ්‍රහිම් මස්ජීඩ් හි ප්‍රධාන උපදේශක, මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමායි.

ඉස්ලාම් දහමට අනුව විවාහ ජීවිතය නොහොත් පවුල් ජීවිතය යනු මිනිසාට පැවරී ඇති ඉතා භාරදුර වගකීමකි. මේ නිසාම මරණයෙන් පසු එළැඹෙන විනිශ්චය දිනයේදී ඒ ගැන ප්‍රශ්න කෙරෙන බව නබිතුමා පවසා ඇත. මේ අනුව දරුවන්ට නිසි මඟ පෙන්වීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමකි. පවුල් ජිවිතයේ ප්‍රධාන අරමුණ වන්නේ යහපත් දරුවන් සමාජයට දායක කරදීම වන අතර, පවුල් ජීවිතය හරහා පුද්ගලයකුගේ පරිණත භාවය වර්ධනය වන බවත්, පරම්පරාවේ වර්ධනය මෙන් ම ලිංගික අවශ්‍යතා ඉතා ශීලාචාර රාමුවක් තුළ ඉටු කරගත හැකි බවත්, ලිංගික රෝගවලින් ආරක්ෂා විය හැකි බවත් ඉස්ලාම් දහමේ ඉගැන්වීමයි. ඉස්ලාමයට අනුව පවුල් ජීවිතය ආදරණීය බැඳීමකි. සිතට ගතට සැනසුමකි. එය නීතිමය බැඳීමකට එහා ගිය ආධ්‍යාත්මික බැඳීමකි. එකිනෙකා අවබෝධ කර ගැනීම තුළින් සැබෑ පවුල් ජීවිතය ගොඩනැඟෙන බව අල්කුරාණයේ සඳහන් වී ඇත.

"ඉස්ලාම් ධර්මය තුළ පවසන්නේ සියලු දෙනා ම විවාහ විය යුතු බවයි. "තරුණයිනි, ආර්ථික සහ ශාරීරික ශක්තිය තිබෙන ඔබ සියලු දෙනා ම විවාහ විය යුතුයි" කියල නබිතුමා තරුණයන් අමතා ප්‍රකාශ කරලා තිබෙන රුවන් වැකියක් තිබෙනවා. ඉස්ලාම් දහම තුළ හැම වෙලාවක ම උනන්දු කරවන්නෙ විවාහ වීමටයි." මවුලවිතුමා අදහස් දැක්වීම ආරම්භ කළේ ඒ අයුරිනි.

"විවාහයක දි සැමියා බිරියගේ කන්‍යාභාවය අයිති කරගන්නවා. ඒ නිසා විවාහ වන අවස්ථාවේ දී ඇයට සැමියාගෙන් සාධාරණ, ඒ වගේ ම ඔහුට දැරිය හැකි මුදලක් ඉල්ලිය හැකියි. ඒ වගේ ම විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා පවුලේ සියලු ම වියදම් දැරිය යුතුයි. තම බිරියගෙ සියලුම ඕනෑ එපාකම් සලසාදීමට ස්වාමි පුරුෂයා බැඳී සිටින බව අල්කුරාණයේ සඳහන් වෙනවා. විවාහ වුණු පසුව බිරිය කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය රැකියාවක් කළත් ඇයගෙන් මුදල් ඉල්ලන්න සැමියාට අයිතියක් නැහැ. ස්වාමිපුරුෂයාගේ ආර්ථික තත්ත්වය අවබෝධ කරගෙන තමන්ගේ කැමැත්ත මත ඔහුට යම් පරිත්‍යාගයක්, උපකාරයක් කිරීමට බිරියට හැකියාව තිබෙනවා. නමුත් බිරියගේ සෑම අවශ්‍යතාවක් ම සම්පූර්ණ කිරීම ස්වාමිපුරුෂයාගේ වගකීමක් විදියට තමයි ඉස්ලාම් ධර්මය අර්ථ දක්වල තිබෙන්නෙ. ඒ වගේ ම බිරියටත් ලොකු වගකීමක් පැවරිලා තිබෙනවා. ඒ වගකීම තමයි ස්වාමිපුරුෂයාගේ විශ්වාසය රැකගෙන, දරුවන් රැකබලා ගනිමින්, ආරක්ෂිත පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීම." මවුලවිතුමා සැමියාගේ හා බිරියගේ වගකීම් හා කාර්යභාරය පිළිබඳව විස්තර කළේ ඒ අයුරිනි.

පුරුෂාධිපත්‍යය මුස්ලිම් සමාජය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් බව ඇතැම්හු අර්ථ දක්වති. මේ පිළිබඳව විමසූ විට මවුලවිතුමා ප්‍රකාශ කළේ, එය ඉස්ලාම් ධර්මය තුළ මතු කරන ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකතනය කිරීමක් බවයි. ඕනෑ ම ආයතනයක යහපැවැත්මට එම ආයතනය තුළ යම් නායකත්වයක් ක්‍රියාත්මක විය යුතු බවත්, පවුල නම් ආයතනයේ යහපැවැත්ම සඳහා එම නායකත්වය පැවරී ඇත්තේ ස්වාමිපුරුෂයාට බවත් මවුලවිතුමා ප්‍රකාශ කළේය. නමුත් පවුල තුළ තම ආධිපත්‍යය පතුරා බිරිය හා දරුවන් තලා පෙළීමට ස්වාමිපුරුෂයාට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කළ මවුලවිතුමා, යම් කාන්තාවකට තම සැමියා පිළිබඳව තෘප්තිමත් නොමැතිනම් ඔහුගෙන් වෙන් වීමේ අවස්ථාව මුස්ලිම් සමාජය තුළ පවතින බව ද ප්‍රකාශ කළේය.

"එදා ඉඳල ම මතයක් තිබෙනව මුස්ලිම් සමාජය සංවෘත නිසා කාන්තාවන්ට නිදහස නැහැ කියල. අපේ පෙර පරම්පරා ගත්තොත් කාන්තාවන් වැඩිදුරට ඉගෙන ගෙන නැහැ. ඒ වගේ ම ඒ අය විවාහයෙන් පස්සේ දරුවන් බලාගෙන ගෙදරට ම වෙලා හිටියා. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා. අද මුස්ලිම් ගැහැනු දරුවො ඉතා හොඳින් ඉගෙන ගන්නවා. හොඳ රැකියාවල නිරත වෙනවා. ඒ වගේ ම අද අරගල භූමියෙ ඉඳල සමාජයේ සෑම ස්ථරයක් ම මුස්ලිම් තරුණිය නියෝජනය කරනවා. මේ නිසා අද වෙනකොට මුස්ලිම් තරුණිය ඉතා හොඳින් නිදහස භුක්ති විඳිමින් තමන්ගෙ ස්ථානය තහවුරු කරගැනීමට සමත් වෙලා තිබෙනවා කියල කියන්න පුළුවන්."

ඒ වගේ ම ස්වාමි පුරුෂයා හෝ බිරිය තුළ එකිනෙකා පිළිබඳව සහකම්පනය නොමැති වීමත් පවුල් ජීවිත අවුල් වීමට ප්‍රධානම හේතුවක් වෙලා තිබෙනවා. මීට අමතරව අද වෙනකොට තරුණයන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. මේ තත්ත්වයත් පවුල් ප්‍රශ්න, ගැටුම් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාල තිබෙනවා කිව්වොත් මම නිවැරදියි. ඒ වගේ ම අද විවාහයක දී බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන්නෙ භෞතිකමය දේවල්වලට පමණයි. විවාහ උත්සවය පවත්වන්නෙ කොහෙද, එදාට අඳින ඇඳුම් මොනවා ද, සහභාගි වෙන අමුත්තන්ට කන්න බොන්න දෙන්නෙ මොනව ද කියන කාරණා ගැන පමණයි ගොඩක් අය අවධානය යොමු කරන්නෙ.

පවුලක වටිනාම සම්පත වන්නේ දරුවන්ය. පවුල් තුළ පවතින ගැටුම් මෙන් ම දෙමාපියන්ගේ සිහින හා බලාපොරොත්තු දරුවන් ලවා ඉටුකරවා ගැනීමට යාම නිසා ඔවුන්ගේ ජීවිත අවුල් සහගත තත්ත්වයන්ට පත් වේ. " ඉස්ලාම් දහම තුළ ගුණධර්ම ඇති දෙදෙනෙකු එක් විය යුතුයි කියලා කියන්නේ ම යහපත් පරපුරක් ගොඩනගා ගැනීම සඳහායි. මට තරුණ තරුණියන්ට පැවසීමට තිබෙන්නෙ විවාහය කියන්නෙ ක්ෂණික තීරණයකට වඩා අවබෝධයෙන් සිදු කළ යුතු දෙයක් බවයි. විවාහය අවබෝධයෙන් කළේ නැත්නම් ඉතිරි වෙන්නෙ පසුතැවීමක් පමණයි. ඒ වගේ ම විවාහ වෙන දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි සහකම්පනයක් තිබිය යුතුමයි. පවුල කියන්නෙ සමාජයේ කුඩා ම ඒකකය වුණත් රටක් සාමකාමී වීමට වගේ ම දියුණු වීමටත් පවුල් සංස්ථාවේ දියුණුව ඉතා වැදගත් වෙනවා."

තිහාරිය, ඉබ්‍රහිම් මස්ජීඩ් හි ප්‍රධාන උපදේශක,

මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමා

Comments