සිග්නීස් සම්මාන රාත්‍රිය වර්ණවත් කළ සම්මානලාභියෝ | Page 2 | සිළුමිණ

සිග්නීස් සම්මාන රාත්‍රිය වර්ණවත් කළ සම්මානලාභියෝ

2022 සිග්නීස් (OCIC) ටෙලි සිනමා සම්මාන රාත්‍රිය පසුගිය ඉරිදා (මැයි 08) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. එහිදී සම්මාන ලැබුවේ ගෙවීගිය 2019 / 2020 දෙවර්ෂයේ මෙරට ටෙලි සහ සිනමා නිර්මාණයි. ඒ සිග්නීස් අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කළ 43 වෙනි සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලේ දී බොහෝ කලාකරුවන් සම්මාන ලැබීය. එලෙස 2022 සිග්නීස් (OCIC) ටෙලි සිනමා සම්මාන රාත්‍රියේ සම්මානලාභින් අතුරින් කිහිපදෙනෙක් සමඟ කළ සාකච්ඡාවයි....

 

ලොකුම සතුට නෙතලි නානායක්කාර ඇගයීමට ලක් වීමයි 2020 හොඳම රචනය සම්මානයසමන්ත කුමාර ගමගේ (ගිරිදේවි රචනය)

2020 හොඳම රචනය සම්මානය මා හට හිමි වුණාට වඩා සතුටක් දැනුණා නෙතලි නානායක්කාර (අපේ සිතාම්මා) ව ඇගයීම් ලැබීම. ඒ වගේම මගේ නිර්මාණ සහෝදරයා ගිරිදේවි අධ්‍යක්ෂක ඉන්දික ධර්මතිලක ජූරියේ විශේෂ ඇගයීම, ශලනි තාරකා (ආශා) හොඳම නිළිය ලැබිය යුතුමයි දුටු නොදුටු සැවොම කළ ප්‍රාර්ථනය යථාර්ථයක් වීම ගැන සතුටක්. ඒ වගේම තවත් නිර්දේශ රැසක් ගිරිදේවී කණ්ඩායම ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

ඒ නිසා මෙය අවස්ථාවක් කරගන්නවා තුති පුදන්නට. පළමු කොට මට පිටපත් අකුරු කරන්නට මුලකුරු කියාදුන් ප්‍රසන්නජිත් අබේසූරිය නම් ගුරු පියාණන්ට. මාගේ පළමු ලියවිල්ල (තුම්මන්තැන්න) රූප කළ ප්‍රවීණ අධ්‍යක්ෂක ෂර්ලි පි. දෙලංකාවල මහතාට. ගිරිදේවි පිළිබඳ මුල් සිතුවිල්ලේ සිට මත ගැටුම්, ආදරය, සහයෝගය මැද මා අකුරු කළ වචන රූප කළ ඉන්දික ධර්මතිලක සහෝදරයාට. ගිරිදේවි නිෂ්පාදකතුමා, ශලනි (ආශා), දස්සා (සඳුන්), නෙතලි නානායක්කාර (සීතම්මා ), මගේ ජිවිතයේ ආදරණීයම මිත්‍රයා නිරෝෂන්, මාදනී (චාන්දනී ), චමීර ( කුමාර ) ඇතුළු ආදරණීය රංගන ශිල්පිනියන්, ශිල්පීන්, හැමෝටම සහ ලකා, වන්නි අයියා, චින්තා, වසන්ත, වාසල විරංගා, සතිශ්, මංගලි සහ මෙකි නොකි ගිරිදේවි කණ්ඩායමේ හැමොටම හෘදයාංගම ස්තුතිය මා අකුරු කළ වචන රූප කරන්නට වෙහෙසුණා ට. ගිරිදේවි වස්තු බීජයේ නිර්මාණවේදනීය ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියට මගේ ආදරණීය ස්තුතිය.

නිරතුරු මා දිරිමත් කරන බිරිය දිලානි වත්සලා සහ ආදරණීය පුතා නාධිත්‍ය ගමගේ ට.

ගිරිදේවි අකුරු කරන්නට පටන් ගත් මොහොතේ පටන් අවසන් වන තෙක් මා හට ආදරණීය ශක්තියක් වුණු ආදරණීයයන් සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තුතිය.

 

 

වසරේ විශිෂ්ටතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීම මා ලැබූ භාග්‍යයක් 2020 වර්ෂය සඳහා වසරේ හොඳම නිළිය - ශලනි තාරකා (ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශා)

සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලේ 2020 වර්ෂය සඳහා ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශාගේ චරිතය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට මට හැකි වුණා. ඒවගේම 2019 වසර සඳහා හොඳම සහය නිළිය වශයෙන් අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතයෙන් නිර්දේශ වීමත් මා ලැබූ භාග්‍යයක්.

තම කුලුඳුල් අධ්‍යයක්ෂණයේදි මා පිළිබඳ අසිමිතව විශ්වාස කළ ඉන්දික ධර්මතිලක අයියාටත් ගිරිදේවි බිහිකළ ශාන්ති දිසානායක මහත්මියටත් ඇයව ගෙතු සමන්තකුමාර ලියනගේ අයියාටත් කැමරා අධ්‍යක්ෂක ඉන්දික ලක්මාල්ටත් කණ්ඩායමේ සැමටත් සහෝදර රංගන ශිල්පීන්ටත් මට ලබාදුන් සහයෝගයට හදපිරි ගෞරවය පුද කරනවා.

 

හීන වලට පණ තියෙනවා; කවදාවත් අතාරින්න එපා 2019 වර්ෂයේ හොඳම ගායිකාව - මහේෂා සඳමාලි (වහින්න වැස්සක් වහින්න- විෂමභාග)

ජීවිතේ හරි පුදුමාකාරයි. මම අද මේ තැනට එන්න පොඩි කාලෙ ඉඳන්ම පුදුමාකාර කට්ටක් කෑවා. මම තවම ක්ෂේත්‍රයට අලුත්. නවකයෙක් විදිහට මේ ලැබුණු ජයග්‍රහණය මට මහ මෙරක් තරම්.

කවදාමහරි හොඳම චිත්‍රපට ගායිකාවට හිමි සම්මානයක් ගන්නවා කියලා හීනයක් තිබ්බා. ඒත් මෙච්චර ඉක්මනට ඒ හීනේ හැබෑ වෙයි කියලා හිතුවෙ නෑ.

සිග්නීස් ටෙලි සහ චිත්‍රපට සම්මාන උළෙල 2022. ඊයේ පැවැත්වුණා. “Best Film Singer Female 2019” ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් දෙදෙනෙක්ගේ නම් එක්ක මගෙ නමත් අර පුළුල් තිරයේ නිර්දේශිත නාම එක්ක දකිද්දි, හිතට දැනුණේ පුදුමාකාර නිහතමානි ආඩම්බරයක්. අවසානයේ 2019 හොඳම චිත්‍රපට ගායිකාවට හිමි සම්මානය මට ලැබුණා. ඒ “විශම භාග” චිත්‍රපටයේ “වහින්න වැස්සක්” ගීතය වෙනුවෙන්.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක චාමර රුවන්තිලක සර්, චිත්‍රපට අධ්‍යක්ෂක ලලිත් රත්නායක අයියාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා “විශම භාග” වැනි ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියු චිත්‍රපටයකට මාව ගායනයෙන් සම්බන්ධ කර ගත්තාට සහ මම ගැනත් මගේ හඬ ගැනත් තැබූ විශ්වාසයට. මේ ජයග්‍රහණය ඔබටත් හිමියි!

මම ගන්න හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම මහා පර්වතයක් වගේ හිටගෙන මගෙ ළඟින්ම ඉන්න මගෙ රත්තරන් අම්මා, තාත්තා, මගෙ මල්ලි සහ මගෙ හැමදේකදිම මට උදව් කරන දුක සැප බෙදාගන්න මගෙ ආදරණීය සැමියා මේ වෙලාවෙ ගොඩක් ආදරෙන් මතක් කරනවා.

 

මගෙන් ඉගෙනගන්න, මාව ආදර්ශයට ගන්න හැම කෙනෙක්ටම මම කියන්නේ, “හීන වලට පණ තියෙනවා; කවදාවත් අතාරින්න එපා” කියලයි. සම්මානයක් ලැබෙනවා කියන්නේ ජීවිතේට මාර ගැම්මක් 2019 වර්ෂයේ හොඳම අංගරචනය නාරද තොටගමුව (ගින්නෙන් උපන් සීතල)

ඇත්තටම සම්මානයක් ලැබෙනවා කියන්නේ අපේ වෘත්තීය ජීවිතේට මාර ගැම්මක්. මට සම්මානය ලැබුණේ අවංකව සතුටු වෙන්න බැරි වෙලාවක. අපිට සම්මානයක් ලැබුණාම හදවතට දැනෙන්නේ සතුටක්නේ. ඒ සතුටවත් හරියට භුක්ති විඳින්න බැරි තත්වයක් තමයි රට තුළ ඇතිවෙලා තියෙන්නේ. සම්මානය ලැබෙන්නේ ගින්නෙන් උපන් සීතලට. මේ පවතින සිස්ටම් වෙනස් කරන්න ඕනේ කියපු මිනිහෙක්ව ප්‍රතිනිර්මාණය කිරීමට මහන්සි වීමට ලැබුණු ඇගයීමක් මේක. ඒ ඇඟයීම සම්බන්ධයෙන් කෘතඥ වෙනවා සිග්නීස් සම්මාන උළෙලට.

ඒ වගේම මෙවර සම්මාන උළෙලේ දී අංග රචනය වෙනුවෙන් සම්මාන ලැබූ මමත් ප්‍රේමලාල් ලියනගේ සහ බුවනෙක රණවක යන තිදෙනාම AMATT අංග රචනා පාසලේ ජයන්තා රණවක ගුරු පියාණන්ගේ සිසුන් තිදෙනෙක් වීමත් විශේෂයි. ඒ නිසා ජයන්තා රණවක ගුරු පියාණන්වත් මේ මොහොතේ ආදර ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

 

කලාකරුවන්ට අවසානයේ ඉතිරි වෙන්නේ මේ ලැබෙන ඇගයිම් පමණයි 2019 වර්ෂයේ හොඳම නිළිය - සමාධි ලක්සිරි (දැකලා පුරුදු කෙනෙක්)

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කරන ලද "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටයේ දිනිති වෙනුවෙන් තමයි මට මෙවර 2019 වර්ෂයේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුණේ. මේ මගේ පළවෙනි සිනමා සම්මානය. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු අවස්ථාව. ඉතින් ඒ නිසා මේ ලැබුණු ඇඟයීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

ඒ වගේම "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටයට සම්මාන 7ක් ලැබුණා. ඒ හොඳම චිත්‍රපටය: දැකලා පුරුදු කෙනෙක්, හොඳම අධ්‍යක්ෂක: මලිත් හෑගොඩ, හොඳම තිර රචනය: භූපති නලින්, හොඳම ශබ්ද සංකලනය: සසික රුවන් මාරසිංහ,හොඳම කලා අධ්‍යක්ෂණය -සම සම්මානය: මංජුල අයගම සහ හොඳම කැමරාකරණය උදෙසා වූ ජූරියේ විශේෂ සම්මානය: එම්.ඩී මහින්දපාල මහතාට හිමිවීමත් සමඟ.

රට මේ මොහොතේ පවතින තත්වය එක්ක කලාකරුවන් ට තියෙන ළෙන්ගතු කමක් වෙනුවෙන් මේ කරපු ඇගයිම ගැන සිග්නීස් (OCIC) ටෙලි සිනමා සම්මාන උළෙලේ තිරයේ ඉදිරිපස සහ පිටුපස හිටපු සංවිධාන ශක්තියට මගේ ගෞරවය පුද කරන්න කැමතියි. කලාකරුවන්ට අවසානයේ ඉතිරි වෙන්නේ මේ ලැබෙන ඇගයිම් පමණයි. ඒ නිසා මේ සම්මාන ලැබීම කලාකරුවන් විදියට අපිට හරි වටිනවා.

 

ජූරියේ විශේෂ සම්මානය ලැබීම ගෞරවයක් 2020 වර්ෂය සදහා ජූරියේ විශේෂ සම්මානය තරින්දි ප්‍රනාන්දු ("සුළඟ මහමෙරක" නාට්‍යයේ "සුභා")

සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලේ 2020 වර්ෂය සඳහා "සුළඟ මහමෙරක" නාට්‍යයේ "සුභා" චරිතය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබා දී කළ ඇගයීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මෙම චරිතයට මාව තෝරා ගැනීම වෙනුවෙන් සුළඟ මහමෙරක ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සුදත් දේවප්‍රිය මහත්මයාටත්, නිෂ්පාදිකා ලක්ෂ්මි දමයන්ති මහත්මිය ඇතුළු සුළඟ මහමෙරක කණ්ඩායමටම මගේ හදපිරි ස්තූතිය සහ ගෞරවය පුද කරන්නට මෙය අවසථාවක් කර ගන්නවා.

එමෙන්ම සම්මානලාභී සියලුම රංගන ශිල්පීන්ටත් අනෙකුත් සම්මාන ලාභී සියලු දෙනාටත්, පැමිණ සිටි සියලුම දෙනාටත් සුබ පැතුම් එකතු කරනවා.

 

වර්ණ සංයෝජනය උදෙසා සම්මානයක් පිරිනමන්නේ සිග්නීස් පමණයි 2020 වර්ෂයේ හොඳම වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර (පාංශු)

පළවෙනි දේ තමයි වර්ණ සංයෝජනය උදෙසා සම්මානයක් පිරිනැමෙන එකම සම්මාන උලෙළ සිග්නීස් සම්මාන උලෙළ වීම. ඒ නිසා මේ සම්මානය කාට ගියත් සිග්නීස් සම්මාන උලෙළ සංවිධාන කරන ෆාදර්ස්ලට සහ විනිශ්චය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා වර්ණ සංයෝජනයට සම්මාන ලබාදීම සම්බන්ධව. ඒකත් හැම වසරකම තිබ්බෙ නැහැ. ඒකට හේතුවක් වෙන්න පුළුවන් සෙලෝලයිඩ් යුගයේ දි වර්ණ සංයෝජනය ස්වාධීන ව තිබුණ දෙයක් නොවීම. එය සිනමා කැමරාකරණය හා සම්බන්ධව පැවති දෙයක්. නමුත් දැන් ඩිජිටල් වීමත් සමඟ වර්ණ සංයෝජනය සිනමා නිර්මාණයක ප්‍රබල අංශයක් වෙලා තියෙනවා.

මට මෙවර සම්මානය ලැබුණේ විසාකේස චන්ද්‍රසේකරන්ගේ පාංශු චිත්‍රපටය වෙනුවෙන්. වර්ණ සංයෝජනය වෙනුවෙන් සිග්නීස් සම්මානය ලද දෙවැනි අවස්ථාව. මීට පෙර සරිගම චිත්‍රපටය වෙනුවෙන් සිග්නීස් සම්මාන උලෙළේ දීම සම්මාන ලබලා තියෙනවා.

නැවතත් ස්තූතිවන්ත වෙනවා සිග්නීස් සම්මාන උලෙළට වර්ණ සංයෝජකයන් මෙලෙස සම්මානිත කරවීම.

ඡායාරූප - හසිත නිලුපුල්

Comments