මම ක්‍රියා කරන්නේ පොහොසත් දැක්මක් තියෙන මිනිසෙක් වෙනුවෙන් | Page 3 | සිළුමිණ

මම ක්‍රියා කරන්නේ පොහොසත් දැක්මක් තියෙන මිනිසෙක් වෙනුවෙන්

අපි හොඳ දේ හිතනවා නම් හොඳ දේ බලනව නම් හොඳ දේ කියවනව නම් ලෝකය ඉබේම ලස්සන වෙනවා. මගේ ඒ ප්‍රාර්ථනාව තමයි මේ ගීතවල සහ පොත්වල තියෙන්නෙ. ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමෙන් තම සංගීත දිවිය ආරම්භ කර සිහින සාගරේ, කුරුළු කැදැල්ලේ, නිසංසලා වැනි ගීත ගයමින් ගායකයෙක් ලෙස රසික ආදරය දිනාගත් ලකී දේවා 'උල්යානාගේ ආදරය' කෙටිකතා සංග්‍රහයෙන් සාහිත්‍යයට ඇති හැකියා‍ව, ලැදියාව සහ බැඳියාව පෙන්නුම් කළා.

 

ලකී දේවා යන නම භාවිතයට පැමිණි ආකාරය ගැන විමසමින් අපි කතාබහ ආරම්භ කළා.

"මගේ ඇත්තම නම ලක්මාල් දේවා ශ්‍රී. ස්කෝලෙ කාලෙ මගෙ පන්තියේ ලක්මාල් නමින් දෙතුන් දෙනෙක් හිටිය නිසා මට දේවා කියලයි යාළුවො කතා කළේ. පවුලේ අය කිව්වේ ලකී කියලා. පසු කාලෙක ලකී දේවා කියන නම පත්තරේකත් පළ වෙලා තිබුණ නිසා භාවිතයට ආවා."

ලකී දේවා යනු ලංකාවෙ කණ්ඩායම් සංගීතය පිළිබඳව ඉතිහාසයක් ඇති කලාකරුවෙක්. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සහ තම සොයුරිය වන ලාංකිකා පෙරේරාගේ ආභාසය තුළින් සංගීතයෙහි සලකුණක් තැබූ ඔහු ඒ පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසයි.

"ලංකාවෙ කණ්ඩායම් සංගීතය ආරම්භ වුණේ හැටේ දශකයේ. 70 දශකයේ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ආරම්භ කරමින් එවක තිබුණු සංගීත සම්ප්‍රදායට වැඩිය වෙනස් ශෛලයක් තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් හඳුන්වා දුන්නේ. හැබැයි ඒ ගීතවලට ඒ කාලේ ගුවන් විදුලියේ ඉඩක් තිබුණෙ නෑ. මුල්කාලීනව ගොඩක් ගීත තහනමටත් ලක්වුණා. 80 දශකයේ දි මම ගෝල්ඩන් චයිම්ස් හරහා ඒ ශෛලිය ඉදිරියට අරගෙන යන්න නව ගීත තිහක් පමණ හැදුවා. ඒ ආරේ ගීතවලට මාධ්‍යයේ ඉඩක් නොලැබුණ නිසා ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම හෝටල්වල බටහිර ගීත වාදනය කරන්න යොමු වුණා. මම දෙදහ වසරේ ඒ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා ස්පිරිට් කියන සංගීත කණ්ඩායම හදාගෙන බටහිර ශෛලියේ සිංහල ගීත නිර්මාණකරණයේ යෙදුණා."

එලෙස නිර්මාණය කළ ගීත පිළිබඳවත් අපි විමසුවා.

"මාලනී ෆොන්සේකා වෙනුවෙන් කළ උපහාර ගීතය තමයි පෞද්ගලිකව මං නිර්මාණය කළ මුල්ම ගීතය. ඇය රඟපෑ චිත්‍රපටවල නම් ඇතුළත් කරල තමයි එහි පද ලියවුණේ. විජය කුමාරතුංග සහ ක්ලැරන්ස් විජේවර්ධන අනුස්මරණ ගීත ඇතුළු ගීත කිහිපයක් හැදුවා. ඊට අමතරව චාන්දනී හෙට්ටිආරච්චි, ඇනස්ලි මාලවන, මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රානි පෙරේරා, සුරේනි ද මෙල්, අමිලා නදීශානි වැනි වෙනත් ගායක ගායිකාවන් රැසක් සඳහාත් වේදිකා නාට්‍ය සඳහාත් ගීත නිර්මාණය කළා."

සංගීතවේදියෙක් මෙන්ම ගී පද රචකයෙක් ලෙසත් කැපී පෙනුණ ලකී කොරින් අල්මේදාගෙ රනින් මුදු පළදා, මොරිස් විජේසිංහගෙ ඈත තරුවක්, ඇනෙස්ලි මාලේවනගෙ සිහිනයකි ජීවිතේ, ඉන්ද්‍රානි පෙරේරාගෙ සඳ තනිවෙලා වැනි ගීත රැසක් රචනා කළා. ඔහු නිර්මාණය කළ 'මායා' ගීත ඇල්බමය එවක ගුවන් විදුලියේ වාරණයට ලක් වෙනවා.

"කණ්ඩායම් ගීත ශෛලියට ඉඩ ඇහැරුණත් මේ ආකෘතිය තුළ නිමවුණ අතුල අධිකාරිගෙ සැනසෙන් නැළවෙන්න, නිරෝෂා විරාජිනීගේ සීගිරි ගීයක්, අමරදේවගෙ නිම් හිම් සෙව්වා, නන්දා මාලනීගේ රත්තරන් දුවේ වැනි ගීත බොහෝ දෙනා වැළදගත්තා. ගුවන් විදුලියෙ විජය කොරයා ඉදිරිපත් කරපු වැඩසටහන නිසා ඉහළ මධ්‍යම පන්තියට මේ ශෛලිය ගිය බව නොරහසක්. බටහිර ගීත ශෛලි කිහිපයක සම්මිශ්‍රණයක් ලෙස ගීත බිහිවීමත් ඒ සඳහා බලපෑවා."

වර්තමානයේ විද්යුත් මාධ්‍යයේ ඉඩක් ලැබෙන්නේ එකම නිර්මාණවලට පමණක් බවයි ඔහුගේ අදහස.

"සමහර ගායක ගායිකාවන්ගේ ගීත රාශියක් තිබුණත් හැමදාම ඇහෙන්නේ එකම ගීත. අනෙකුත් ගීතවලට මොනවා වුණා ද කියලා දන්නේ නැහැ. සංරක්ෂණය කරන ක්‍රමවේදයක් හෝ ප්‍රමිතිගත කිරීමක් නැහැ. ලංකාවෙ බොහෝ නිර්මාණ ජනගත වුණේ අඩුවෙන්. ප්‍රචාරය කරන්න තැනක් නැත්නම් අලුත් ගීත කරල තේරුමක් නෑ."

ගීත නිර්මාණයෙන් කෙටිකතාකරණයට පිවිසි ලකී දේවාගේ 'උල්යානාගේ ආදරය' යනු කුඩා කල සිට ඔහු දුටු ලෝකය පෑනෙන් දිගහැරීමකි.

"මම පුංචි කාලේ කාලෙ ඉඳන්ම ඩයරියක් පාවිච්චි කරපු කෙනෙක්. වෙනස් විදිහට ඒකෙ ලියන නිසා යාළුවෝ එහෙම කියවන්න ආසයි. වැඩිහිටියෙක් වෙනකොට තේරුණා මම ඩයරිය ලියනව වගේ තමයි මේ පොත් ලියැවෙන්නෙත් කියලා. ඉතින් ඒ වෙනස් ආකෘතිය පාවිච්චි කරල කොවිඩ් කාලෙ තමයි පොත ලියන්න පෙලඹුණේ."

පාඨකයා ලොව වටා සංචාරයක රැගෙන යන්න උල්‍යානාගේ ආදරය කෘතිය ඔස්සේ කතුවරයා සමත්.

"මෙය ලංකාවෙ මේ ආකෘතියෙන් නිර්මාණය වන මුල්ම කෙටි කතා පොත. අන්තර්ගත වෙන්නෙ ඉන්දියානු, රුසියානු ආදී විවිධ රටවල කතා. හැබැයි ලංකාවේ මං මුහුණ දුන් අත්දැකීම් එකතු කරගෙනයි පොත ලියවුණේ. ඇතැම් කතාවලට වස්තු බීජය වුණේ මගේ පාසල් කාලේ සිදුවීම්. 1800 ගණන්වල එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් කුමරියගෙ පාලනය කාලේ ඇයව අනුකරණය කරපු කාන්තාවක් ගැන කතාවක් තියෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් විස්තර ගබඩා කරන්න මට සිදුවුණා. හීබෲ පොත් පවා හෙව්වා. මං හිතන්නෙ පාඨකයාට වෙනස් රසයක් දැනෙන්න මගෙ කැපවීම බලපාන්න ඇති. මෙමඟින් සමාජයේ දකින මිනිස්සු මට දැනෙන විදිහට පරිකල්පනය කළා කිව්වොත් නිවැරදියි. මම ඉපදුණේ මොරටුවෙ. පාසල වේල්ස් කුමාර විදුහල. කුඩා කල බටහිර සංගීතයත් සාහිත්‍යයත් හැදෑරූ නිසා එය සම්මිශ්‍රණය කරමින් ගීත හදන්න මට පුළුවන් වුණා."

ලකී වෘත්තීයෙන් මනෝ සමාජයීය වැඩසටහන් මෙහෙය වන්නෙක්. ඔහුගේ දැක්ම 'රටේ උගත් මිනිහෙක් වෙන්න කලින් පොහොසත් මනසක් තියන මනුස්සයෙක් වෙන්න'යන්නයි. මේ දැක්ම ලකී දේවාගේ නිර්මාණකරණයට ද පිටිවහලක් වුණා.

"උගත් අය ඉන්නවා වැරදි විදියට ඒක පාවිච්චි කරන. වැඩ කරන තැනින් පුංචි දෙයක් හරි හොරකම් කරගෙන ඇවිල්ල හොරකම හෙළා දකින එක තේරුමක් නෑ. සමහරු තමන් වෙනුවෙන් අනිත් අයගෙ අයගේ ජීවිත විනාශ කරනවා. අපි හොඳ දේ හිතනවා නම් හොඳ දේ බලනව නම් හොඳ දේ කියවනව නම් ලෝකය ඉබේම ලස්සන වෙනවා. මගේ ඒ ප්‍රාර්ථනාව තමයි මේ ගීතවල සහ පොත්වල තියෙන්නෙ.

තමන්ගේ ම ශෛලියයකින් නිර්මාණකරණයේ යෙදෙන ලකී දේවා ඉදිරියේ දීත් මේ සොඳුරු ප්‍රාර්ථනාව තම නිර්මාණ ඔස්සේ ජනගත කරාවි.

 

Comments