බැඳීමක් කියන්නේ වගකීමක් | Page 3 | සිළුමිණ

බැඳීමක් කියන්නේ වගකීමක්

මේ මාසේ මගේ අලුත් ඩාන්සින් කවර් එකක් එනවා

අද වෙනකම් ගොඩක් හැලහැප්පීම් මැද්දේ මම මාව ගොඩ නගා ගත්තා

නිරූපිකාවක් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළ නිලුෂි පවන්යා වර්තමානයේ බොහෝ පිරිසක් අතර නමක් දිනාගෙන ඇත්තේ මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා හි වින්ඩි ලෙසින්. ඒ නිසාම වින්ඩි එහෙමත් නැත්නම් නිලුෂි පවන්යා සමඟ සිළුමිණ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ....

 

මේ දවස්වල මොකද වෙන්නේ

දිවිතුරා නාට්‍යයේ රූපගත කිරීම් තියෙනවා. අලුතින්ම පටන් ගත්තා චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කරන සිතාන්ගි කියන නිර්මාණය. එහි රූපගත කිරීම්වලට යනවා. ඊට අමතරව එන්න තියෙන නිර්මාණ විදියට සමන් කුමාර ලියනගේ සර්ගේ "ඇවිත් මාව හම්බෙන්න" සහ "වත්සුණු" නිර්මාණය. තව ත්‍රිශූල දීප තඹවිට මහතාගේ "කලුදලරළ" ටෙලි නාට්‍යයත් එන්න තියෙනවා.

 

මේ දිනවල නම් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ වින්ඩි ට නේද?

ඔව්. දිවිතුරා එකේ වින්ඩිට. මම මුලින්ම හිතුවේ නම් නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. ටික දුරක් යද්දී තමයි ඒ චරිතය අප් වෙන්න ගත්තේ. මම මෑතක දී ආශාවරී චිත්‍රපටයේ විශේෂ දැක්මකට සහභාගී වුණා. එතැනදී පුංචි දරුවෙක් මාව දැකලා වින්ඩි කියලා එක පාරටම කියලා එයාට උඩට ගත්ත හුස්ම පහළට දාන්නත් අමතක වෙලා මගේ දිහා බලන් හිටියා. ඇත්තටම ඒකට මම සර්ප්‍රයිස් වුණා. වයස් භේදයකින් තොරව පොඩි අයගේ ඉඳන් ඒ චරිතයට ආදරය කරන පිරිසක් අද වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. අනික මම ඒ කරන වින්ඩි කියන චරිතය ටිකක් නපුරු චරිතයක්. මට හිතාගන්නත් බැරි විදියට ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහින්.

 

සිනමාවට කොහොමද මේ වෙද්දී තියෙන ඇරයුම්

මම ටෙලි නිර්මාණවලට එන්න කලින් එන්නේ සිනමාවට. මගේ මුල්ම නිර්මාණය එරංග සේනාරත්නගේ ‘නිලූ මං ආදරෙයි’ චිත්‍රපටය. නමුත් ඒක තවම තිරගත වෙලා නැහැ. මට සුනිල් ආරියරත්න සර්ගේ චිත්‍රපටයකට ඇරයුම් ලැබුණා; නමුත් ඒක මට මඟ හැරෙනවා. සිනමාවටත් මම ගොඩක් ආසයි. ඇත්තටම ටෙලි නාට්‍යවලට වඩා වෙනස් පැත්තක්නේ සිනමාව කියන්නේ. මම ගොඩක්ම කැමති සිනමා නිර්මාණවලට දායක වෙන්න. බලමු ඉතින් ඉස්සරහට.

 

එතකොට නර්තනය සම්පුර්ණයෙන්ම මඟහැරිලද?

මම මුලින්ම පටන් ගත්තේ නර්තනය. මේ වෙද්දී ටෙලි නිර්මාණ එක්ක කාර්යබහුල වීමත් එක්ක ගොඩක් දුරට මගෙන් නර්තනය කියන දේ මඟහැරිලා තියෙනවා. මේ ළඟදී මට කවදාවත් අමතක නොවන අවස්ථාවක් ලැබුණා. මම පොඩි කාලේ ඉඳන් ආසයි චන්න විජේවර්ධන සර්ගේ නැටුම් පන්ති යන්න. මම එතකොට හලාවත හිටියේ, යන්න එන්න පහසුකම් නැහැ. නර්තනය මුසුවුණු වෙළඳ දැන්වීමකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒකේ නර්තනය කළේ චන්න සර්. ඒ වගේම චන්න සර්ත් හිටියා ඒ වෙළඳ දැන්වීමට. එදාත් මම චන්න සර්ට කිව්වේ මම ගොඩක් ආසාවෙන් හිටියේ සර්ගෙන් නර්තනය ඉගෙන ගන්න කියලා. ඒ නිසා ඒක මට දැනුණේ මගේ හිතේ තිබ්බ හීනයක් හැබෑ වුණා වගේ හැඟීමක්.

 

නිලුෂිට තියෙන්නෙත් නර්තන උපාධියක් නේද?

ඔව්. නර්තන අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී උපාධිය.

 

නර්තනය පැත්තෙන් ඉදිරියට දෙයක් කරන්න අදහසක් නැද්ද?

මගේම කියලා ඇකඩමි එකක් කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම ලැබෙන විවේකය එක්ක ඩාන්සින් කවර්ස් ටිකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ මාසේ අලුත් ඩාන්සින් කවර් එකක් දැක ගන්නත් පුළුවන් වෙයි.

 

නිලුෂිගේ පවුලේ විස්තර කොහොමද?

මගේ ගම හලාවත. අම්මා තාත්තා අයියලා දෙන්නයි, අක්කයි, මමයි පවුලේ ඉන්නේ. ගමක හැදුණු මම කොළඹ ඇවිල්ලා මේ තත්ත්වයට එන්න මගේ පස්සෙන්ම හිටියේ මගේ අම්මා.

 

ආදරය විවාහය ගැන මොන වගේ අදහස් ද තියෙන්නේ

ආදරේ කියන්නේ හැමෝටම ඕනේ දෙයක්. මම දකින විදිය වෙන්නේ තමන් තනියම තමන්ට පුළුවන් විදියට ජිවත් වෙන එක තව කෙනෙක්ට නිදහස් කියලා. ඇත්තටම බැඳීමක් කියන්නේ තව වගකීමක්. විවාහ වෙන්න ඕනේ, මම කියන්නේ නැහැ විවාහයක් ඕනේ නැහැ කියලා. නමුත් මම හිතන්නේ මට විවාහ වෙන්න සුදුසු කාලය මේක නෙවෙයි කියලා. මොකද මම හැමතිස්සෙම හිතන්නේ මම මාව ගොඩ නඟා ගන්න ඕනේ. මම තව කෙනෙක්ගෙන් යැපෙන්න ඕනේ කියන මතයේ මම නැහැ. සමහර අය හිතන්නේ විවාහ වෙන සහකරුට ඒ හැමදේම තියෙන්න ඕනේ කියලනේ. මම ඉන්නේ මට අවශ්‍ය දේවල් ගන්න මම උපයා ගන්න ඕනේ කියන මතය. නිලුෂි කියන්නේ අද වෙනකම් ගොඩක් හැලහැප්පීම් මැද්දේ මම මාව ගොඩ නගා ගත්ත කෙනෙක්.

 

කලාවට සම්බන්ධවීමට ලැබීම ගැන අද මොකද හිතෙන්නේ

ගොඩක් සතුටුයි. කලාවට සම්බන්ධ වීම නිසා තමා මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් මම ලබන්නේ. කොහේ ගියත් මා එක්ක මිනිස්සු ආදරෙන් කතා කරනවා. හැමෝටම එහෙම ආදරය ලබන්න බැහැ. ඒ නිසා මම සතුටු වෙනවා. මම නර්තනය පැත්තෙන්, නිරූපණයෙන් ඉදිරියට යන්න ආස වුණත් රංගනයට එන්න සිහින දැකපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ දෛවය අද මාව මෙතනට ගෙනත් තියෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.

 

නිලුෂි කියන්නේ මොනවගේ කෙනෙක් ද?

ඇත්තටම මම ඉතාම සරලව සාමාන්‍ය විදියට ජිවිතේ ගෙවන කෙනෙක්. මම වැඩකට ගියාම මට තේ එක ගෙනත් දෙන කෙනාගේ සිට දැනෙන්නේ හැමෝම එක විදියට. මම හැමෝම දකින්නේ එකම විදියට මනුස්සකම තුළින්.

Comments