ජනප්‍රිය කියන එක සම්මානවලින් මනින්න මම කැමති නෑ | සිළුමිණ

ජනප්‍රිය කියන එක සම්මානවලින් මනින්න මම කැමති නෑ

චරිත අධ්‍යයනය කරලා එයට ආවේශ උණාම අමුතුවෙන් රඟපාන්න ඕනෙ නෑ; ඉතින් ඒ හැම චරිතයකම මං ජීවත් වෙනවා

බැඳීමක දී ආදරයටත් වැඩිය තේරුම් ගැනීම තමයි වැදගත්

හොඳම නළුවා කියන සම්මානයට මං හරි පෙරේතයි

 

මවුනයාගය, එකගෙයි මිනිස්සු, වෙස්, හේලි, රාවණා, SNAP වැනි ටෙලිනාට්‍ය රැසකින් ප්‍රේක්ෂකයන් මුණගැසුණ ඔහු සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ. නමුත් බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ යෂ් වීරසිංහ යන නමින්. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන "කියා දෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ 'අනර්ඝ' නොහොත් 'දෙවෙනි' ගේ චරිතය හරහා රසික ආදරය දිනාගත් මේ කඩවසම් නළුවා සමඟ සිළුමිණ රසඳුන අප කළ කතාබහයි මේ.

 

"කියා දෙන්න ආදරේ තරම්" ටෙලි නාට්‍යයේ ලොකූට වඩා දෙවෙනි ගෙ චරිතය මේ දිනවල කැපී පෙනෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

නාට්‍ය පටන් ගත්ත කාලෙට වඩා දැන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. සමහරු හිතනව මම දැන් ප්‍රධාන චරිතය වේගෙන එනවද කියලා. හැමෝම දන්න විදිහට මේ මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක ස්නේහා සහ නිර්වාන්. මෙය මෙගා ටෙලි නාට්‍යයක් නිසා විවිධත්වයක් මතු කරන්න යම් යම් චරිත විවිධ අවස්ථාවල ඉස්මතු කරනවා.

 

මේ දිනවල කරන අනෙකුත් නිර්මාණ කටයුතු මොනවද ?

අලුත් ටෙලි නාට්‍යය හතරකට විතර සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදි විකාශය වේවි. "ඉම්ලි" ටෙලි නාට්‍යයේ හඬකැවීම්වලට දායක වෙනවා.

 

මුලින් ම රඟපාපු දවස මතකද?

ඔව්. පෙර පාසල් කාලෙ තමයි මුලින්ම රඟපෑවේ. මගෙ ගම කඩුවෙල. ඉස්කෝලෙ ගියෙ මුනිදාස කුමාරතුංග විද්‍යාලය සහ බෝමිරිය ජාතික පාසලට. මට මතකයි මම දෙකේ පන්තියෙ ඉගෙන ගන්න කාලේ කණිෂ්ඨ අංශයේ නාට්‍යයක් ඉදිරිපත් කළා. ඒකෙ ඔඩිෂන්වලදී මම සිලෙක්ට් වුණේ නැහැ චරිතයට. පස්සෙ මට වැද්දගෙ චරිතයක් හම්බුණා. පාසලේ හය වසරේ ඉඳන් මම දිගටම රඟපෑවා. තරගවලට ඉදිරිපත් වෙලා හොඳම නළුවා ලෙස ජයග්‍රහණත් ලැබුවා. ඒ හැමදේමත් එක්ක තමයි අද මෙතැන ඉන්නේ.

 

අසමත් වීම ගැන දැන් ඔබේ අදහස මොකක්ද.?

ඇත්තටම එදා ඔඩිෂන් එකෙන් සිලෙක්ට් උණේ නැති උනාම මට දුක හිතුනා. හැබැයි කොහොමහරි චරිතයක් ගන්නවා කියලා හිතල මාත් රිහර්සල් තියන තැනට ගිහින් බලාගෙන හිටියෙ අනිත් අය රඟපාන විදිහ. කොහොම හරි මට එදා සුළු චරිතයක් ලැබුණා. ඉස්කෝලෙ කාලෙ පස්සෙත් ස්ක්‍රීන් ටෙස්ට්වලදි මාව ගොඩක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. හැබැයි ඒ කාලෙ ස්ක්‍රීන් ටෙස්ට්වලින් තේරුණ අයට වැඩිය හොඳ තැනක මම අද ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

යෂ් කැමති ජනප්‍රිය නළුවා වෙන්න ද හොඳම නළුවා වෙන්න ද?

ජනප්‍රිය කියන එක මම සම්මානවලින් මනින්න කැමති නෑ. ප්‍රේක්ෂකයන්ගේ ආදරය දවස ගානෙ වැඩි වෙනව නම් ඒක තමයි ජනප්‍රිය බව කියන්නෙ. හොඳම නළුවා කියන සම්මානයට මං හරි පෙරේතයි. කුසලතා සම්මානයක් හෝ හොඳම අංශයට හෝ ඇතුළත් වෙනව නම් නම් මං කැමැතියි.

 

ඔබේ මේ රංගනය තුළ යම් පුහුණුවක් දකිනවා. ඔබ රංගනය විධිමත්ව හැදෑරීමක් කළාද?

මම රංගනය හදාරල නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳන්ම රඟපාපු නිසා ඒ අත්දැකීම් සහ පුහුණුව මගේ ගමන ආලෝකවත් කළා. විශේෂයෙන් මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩිව මතක් කරන්න ඕනේ. ඇය මට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ ආභාසයත් බලපෑවා.

 

සමහර වෙලාවට අපිට ටෙලි නාට්‍ය නරඹන කොට මේ ඉන්නේ මම නේද කියල හිතෙනවා. ඔබ රඟපෑ අවස්ථා අතර ඔබට සමීපතම චරිතය මොකක්ද ?

අපි රඟපාන කොට පිටපතට අමතරව අපිට ආවේණික දේවලුත් රංගනය සඳහා එකතු කරනවා. ඉතින් ඔය හැම චරිතයක්ම ඇතුළෙ මගේ යම්කිසි කොටසක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ට එතරම් එම චරිත දැනෙන්න හේතුවත් ඒක වෙන්න ඇති. චරිත අධ්‍යයනය කරලා එයට ආවේශ උණාම අමුතුවෙන් රඟපාන්න ඕනෙ නෑ. ඉතින් ඒ හැම චරිතයකම මං ජීවත් වෙනවා.

 

කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසුණේ?

2015 දි රූපවාහිනියේ හඬකැවීම්වලට ලොකු අම්මා තමයි මාව යොමු කළේ. ඉස්සර රූපවාහිනියට ගියාම උදේ ඉදන් රෑ වෙනකම් ඔවුන් හඬකැවීම් කරන විදිය බලාගෙන හිටියා. මාස ගණනාවක් හඬ කැවීම් පුහුණු වුණා. මෑතකදි මිණි පහන ඔබයි, මුතු අහුර, චන්ද්‍රානන්දනී ආදී නිර්මාණ කීපයක හඬකැවීම් සඳහා සම්බන්ධ වුණා. ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාගේ පාරා වළලු නාට්‍යයේ තමයි මං මුලින්ම රඟපෑවේ. ඔය අතර රූපවාහිනියෙදි චන්දන ඉරුගල්බණ්ඩාර අයියව මුණ ගැසුණ වෙලාවක ඔහු මට කිව්ව ධනුෂ්ක රත්නායක ගෙ අලුත් නාට්‍යයක් පටන් ගන්න නිසා ඒකෙ චරිතයකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. කොහොම හරි ඔඩිෂන් තිබ්බ දවසෙ මට යන්න බැරිවුණත් පසුව ධනුෂ්ක අයියගෙ මවුනයාගය ටෙලි නාට්‍යයේ රඟාපාන්න ලැබුණා.ඒ හඳුනාගැනීම එක්ක අද වනතුරු ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරපු නිර්මාණ කිහිපයකම මං රඟපෑවා.

 

විජයබා කොල්ලය චිත්‍රපටයෙන් අනතුරුව සිනමාවට අවස්ථාව ලැබුණෙ නැද්ද?

මම මෑතකදි සරත් වීරසේකරගේ 'ශ්‍රී සිද්ධා' චිත්‍රපටයෙ රඟපෑවා.එය ඉදිරියේදි ප්‍රදර්ශනය වේවි.

 

යෂ් ඉදිරියේ දී අවස්ථාවක් ලැබුණොත්ර ඟපාන්න කැමති චරිතයක් තියෙනවද.?

මං හරි කැමැතියි මේ ඉන්න තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් කරන්න. ඒ වෙනුවෙන්ම කැපවෙලා, පෙනුම සහ හඬ පවා වෙනස් කරගෙන රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණොත් ආසාවෙන් රඟපානවා.

 

පවුලෙ තොරතුරු මතක් කළොත්?

අම්මයි තාත්තයි අයිය සහ නංගි තමයි මගෙ පවුලෙ ඉන්නෙ.අපි හරිම සතුටින් ජීවත් වෙනවා.

 

ආදරය කරන්න කැමති මොන වගේ කෙනෙක්ට ද?

මං මේ කරන දේවල් අවබෝධය කරගත් කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. බැඳීමක ද ආදරයටත් වැඩිය තේරුම් ගැනීම තමයි වැදගත්.

 

කලාවට අමතරව වෙනත් බලාපොරොත්තු මොනවාද?

මට ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වෙන්න විශාල බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි දැන් රටේ තත්ත්වය අනුව අද දවස ගැන මිසක් හෙටක් ගැන හිතන්න අපහසුයි.

Comments