ගේය පද රචකයාට අන්තිමට ඉතුරු වන්නේ ආත්ම තෘප්තිය පමණයි | සිළුමිණ

ගේය පද රචකයාට අන්තිමට ඉතුරු වන්නේ ආත්ම තෘප්තිය පමණයි

මම තනුවකට අනුව ගීත දෙකක් රචනා කර තිබෙනවා. එම නිර්මාණ කොතරම් ජනප්‍රිය වුණත් ඒ මගේ නිර්මාණ කියා මට දැනෙන්නෙ නැහැ

 

පුද්ගලයෙක් ඇසුරු කරන එක පොතක් කියවනවා හා සමානයි. පොතක් කියවද්දී යම් සීමාවක් තියෙනවා.

 

වර්තමානයේ බොහෝවිට සිදුවන්නේ ගේය පද රචකයා ගීතයක් ලියා මුදල් ලබාදී ගායකයකු ලවා ගායනා කිරීමයි. නමුත් එහිදී සමාජයේ කතිකාවට ලක් වන්නේ ගායකයා පමණයි. ගේය පද රචකයාට අන්තිමට ඉතුරු වන්නේ ආත්ම තෘප්තිය පමණයි.

 

එදිනෙදා අපගේ ඇසට ගෝචර වන සුලබ සංසිද්ධීන් අපූර්ව ලෙස දකින්නටත්, එකී අපූර්වත්වය සන්නිවේදනය කිරීමටත් ජම්මානුගත පුරුද්දක් තිබිය යුතුමය. ධම්මි අනුරපුර නැමැති සොඳුරු කිවිඳිය ද එකී කුලකයේ එක් පුරුකකි. අද සිළුමිණ රසඳුන හා එක් වී ඇය හා කතාබහ කරන්නේ ඇගේ සොඳුරු ගීතාවලිය ගැනයි.

 

මේ දවස්වල කරන කලා කටයුතුවල විස්තර මුලින්ම අපි කතා කරමු.

මම නිර්මාණ කටයුතු සිදුකරන්නේ 2008 වර්ෂයේ සිටයි. බොහොමයක් දෙනා මට පොතක් කරන්නට ඉල්ලීම් කළත් මම කාලයට ඉඩ දී හොඳ කාලයක් යැයි හිතෙන මොහොතක් එනතෙක් බලා සිටියා. මේ වන විට මම එකී පොත් කිහිපය කිරීමට සූදානම්.

 

ඔබ ගේය පද රචනයට යොමු වෙන්නේ කෙලෙසද?

මම 2008 වර්ෂය පටන් ලිවීම සිදු කළා. 2010 වර්ෂය රජරට සේවයේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වැඩසටහනකට යෑමට මට අවස්ථාවක් ලැබුණා. එහිදී මට හිරාන් ප්‍රනාන්දු මුණ ගැසුණා. ඒ වෙනකොට මගේ අතේ මම කවි ලියපු පොතක් තිබුණා. ඒ පොත කියවූ හිරාන් ප්‍රනාන්දු මාව ඒ මොහොතේ අගය කරලා පසුව මගෙන් ගීතයක් ඉල්ලුවා. ඉන්පසු කෙටි කාලෙකින් තවත් ගීතයක් මා ලවා ලියා ගත්තා. එම ගීත ගැන කතා කරන්න ඔහු දුරකථනයෙන් කතා කළ මොහොතක මම තව ගීතයක් කුරුටු ගාමින් හිටියා. ඔහු ඒ මොහොතේ මා ලියූ වචන විමසුවා. ඒ වචන ඇසූ සැණින් ඒ ගීතයටත් ඔහු බෙහෙවින්ම ප්‍රිය කළා. එසේ ඔහු මගේ ගීත තුනක් ම ගායනා කළා. එයින් ඇරඹූ මගේ ගමනෙ මේ වන විට ගීත පහළොවක් පමණ නිම කර හමාරයි.

 

බොහොමයක් නිර්මාණකරුවන් නිර්මාණකරණය සිදුකරන්නේ සත්‍යයයි කල්පිතයයි අතර අතරමං වෙලා. ඔබගේ නිර්මාණවලටත් ජීවන අත්දැකීම් හේතුභූත වී තිබෙනවාද?

ඔව් එය ඇත්තක්. නමුත් එකී අත්දැකීම් මගේම අත්දැකීම් විය යුතු නැහැ. මෑතකදී අපේ නිවසේ වැඩ කරන්න පැමිණ හිතවත් බාසුන්නැහැ මහතකු සමඟ මම කතාබහ කරන අතරතුර ඔහු හරි අපූරු කතාවක් කිව්වා. ‘මම වන මල්වලට හරිම ආසයි. පාරේ යනකොට වන මල් පිපිලා තියෙනවා දකිනකොට මං ඒවා කඩන් ගිහින් මගේ දියණියට දෙනවා. එතකොට මගේ බිරිය සල්ලිවලට ගත් දෙයක් නෙමෙයිනේ කියා නෝක්කාඩුවෙන් කියනවා. එවැනි අවස්ථාවලදී මගේ හිත හොඳටම රිදෙනවා‘.

ඒ ඔහු කියූ දේ. ඒ කතාවෙන් ඔහුට දැනුණු වේදනාව මගේ හිතත් ප්‍රකම්පනය කළා.

 

"මගෙ දුවෙ වන මලක් මිල නැහැ තමයි

හදවතෙහි උපදින හැඟුම් හරි බරයි

මහ වනය බිඟු දිඟු ගුම් සරයි

කැලවැලත් වන මල් මල් පිපී නටයි"

 

ඔහුට දැනුණු වේදනාව එසේ මම කුරුටු ගෑවා. එය තවත් දිගු කර කවක් ලෙස ලියා මම ඔහුට දුන්නා. ඔහු දියණියට වන මල් කලඹක් ලබාදී ලබන සතුට මම ඒ මොහොතේ ඔහුට කවියක් ලබා දී වින්දා. එසේ සිත සංස්පර්ශ කරන සිදුවීමක් තුළින් නිර්මාණයක් බිහි විය හැකියි. එය මා විඳි අත්දැකීමක් ම විය යුතු නැහැ .

 

ගේය පද රචකයකුට පුද්ගල ඇසුර සමාජ විශ්ලේෂණය කොතෙක් දුරට වැදගත් ද ?

පුද්ගලයෙක් ඇසුරු කරන එක පොතක් කියවනවා හා සමානයි. පොතක් කියවද්දී යම් සීමාවක් තියෙනවා. උපතක් කියවෙන විට අපගේ ශබ්දකෝෂයට වචන එකතු වෙනවා. නමුත් මනුස්සයෙක් කියවන විට සීමාවකින් තොරව ලොකු දැනුමක් එකතු වෙනවා.

 

ගේ පද නිර්මාණය, තනුවට අනුව සිදුකරන අවස්ථා වගේම රූප රචනයට අනුකූලව සිදු කරන අවස්ථා පවතිනවා. එවැනි කොටු කිරීම් තුළ නිර්මාණයට සාධාරණයක් ඉටු කළ හැකි ද?

මට සින්දුවක් ලියන්න යම් ප්‍රස්තුතයක් ලබා දුන්නොත් එය ලිවීමට මට හැකියාවක් තිබෙනවා. මම තනුවකට අනුව ගීත දෙකක් රචනා කර තිබෙනවා. එම නිර්මාණ කොතරම් ජනප්‍රිය වුණත් ඒ මගේ නිර්මාණ කියා මට දැනෙන්නෙ නැහැ. මට මගේ ගීත යැයි හැඟෙන්නේ මම නිදහසේ ලියූ ගීත පමණයි.

 

ඇතැම් ගීත නිර්මාණ සඳහා යොදා ගන්නා රූප රචනාවක් නිසා ගීතයේ වටිනාකමට හානි වනවා යැයි ඇතැමුන් චෝදනා කරනවා ඔබ ඒ පිළිබඳ දක්වන අදහස ...

ඔව් අනිවාර්යෙන්ම ඇතැම් ගීතවල හීනෙකින් වත් නැති දෙයක් රූප රචනාවෙන් ඉස්මතු කරනවා. එවිට සහෘදයන් අතරමං වෙනවා. ඒ වගේම නිර්මාණය රසවින්දනයටත් එය බාධාවක්.

 

ගේය පද රචකයා ගායකයා ට මුවා වී නිහඬ සේවාවක් සපයන්නෙක් බවට පත්වී තිබෙනවා. එවැනි පරිසරයක් ගොඩනැඟී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද ?

එයට කුමන පිළිතුරක් දෙන්න ද කියලා මට හිතා ගන්නත් බැහැ. වර්තමානයේ බොහෝවිට සිදුවන්නේ ගේය පද රචකයා ගීතයක් ලියා මුදල් ලබාදී ගායකයකු ලවා ගායනා කිරීමයි. නමුත් එහිදී සමාජයේ කතිකාවට ලක් වන්නේ ගායකයා පමණයි. ගේය පද රචකයාට අන්තිමට ඉතුරු වන්නේ ආත්ම තෘප්තිය පමණයි.

 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම කෙටිකතා සංග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. නවකතාවකුත් ඉදිරියේදී මගේ නමින් එළිදකීයි. මම සමාජ ක්‍රියාකාරී කාන්තාවක් ලෙස විවිධ සමාජ සේවාවන් ඉටු කරනවා. ඒ වගේම රටට බරක් නැති ගුණ යහපත් දරුවෝ දරු තුන්දෙනෙක් මං බිහි කරල තියෙනවා. මා ළඟ ගීත දහස් ගණනාවක් තිබෙනවා. නමුත් මගේ හොඳම නිර්මාණය තවම බිහිවෙලා නැහැ කියලා මට හිතෙනවා. කෙටි කාලයකින් එකී බලාපොරොත්තුවක් ඉටු වේවි යැයි මම විශ්වාස කරනවා.

 

Comments