ගී ලොවේ රස භාව කැලතූ සෞන්දර්යවේදියා _ නාරද දිසාසේකර | Page 3 | සිළුමිණ

ගී ලොවේ රස භාව කැලතූ සෞන්දර්යවේදියා _ නාරද දිසාසේකර

මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ මුල් තැනක් ශාස්ත්‍රීය ගීතවලට හිමි වී තිබුණේ ය. ඒ එවක යොවුන්වියේ රසික රසිකාවන් ශාස්ත්‍රීය ගීත අසන්නට වඩාත් ඇළුම් කළ පසුබිමක ය. එසේ ශාස්ත්‍රීය ගීත අසන්නට ඇළුම් කළ යොවුන්වියේ රසික රසිකාවන් පසුව සරල ගීත ඇසීමටත් නැඹුරු වී තිබේ. ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණේ, ඒ වන විට විචිත්‍රවත් සරල ගීත එකතුවක් ගුවන් විදුලියෙහි විකාශනය වීමත් සමග ය.

 

එවක ගුවන් විදුලියෙහි විචිත්‍රවත් සරල ගීත අතුරින් එඩ්මන් ජයසූරියගේ පබැඳුමකට, අග්‍රගණ්‍ය සිතාර් වාදකයකු වූ කුලරත්න තෙන්නකෝනුන්ගේ තනු නිර්මාණයකින් සංගීතවත් වූ නාරද දිසාසේකරයන් විසින් ගායනා කළ “මුළු හදින් මම ඇයට පෙම් කොට ... අනාගත පෙම් සිහින මැව්වෙමි ... මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට ... අයිති වුණු හැටි බලා දුක් වෙමි.” සරළ ගීතයට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි.

විටෙක මේ ගීතයෙහි අර්ථ නිරූපණය තමන්ට ආරෝපණය කර ගනු ලැබූ, එවක යොවුන් වියේ පසුවූ ඇතැම් රසික රසිකාවියන් එම ගීතය තම ජීවිතයේ කොටසක් කර ගැනීමට තරම් ආසක්ත වී තිබේ. මෙලෙසින් යොවුන් රසික රසිකාවන් මේ ගීතය විවිධ ස්වරූපයෙන් තම ජීවිතයට ගළපා ගැනීමට තරම් හැඟුම්බර වීමට ගීතය ගායනා කළ නාරද දිසාසේකරයන්ගේ කටහඬත් බෙහෙවින් ඉවහල් වී තිබිණි. ගුවන් විදුලි ඉතිහාසයේ මේ ගීතයට තවත් සුවිශේෂ සිදුවීමක් පැවති බවද වාර්තා වේ. එවක ගුවන් විදුලියෙහි නිතර ප්‍රචාරය වී ඇත්තේත් මේ ගීතයයි. එබැවින් බො‌හෝ රසික රසිකාවන් ලිපි මඟින් ඉල්ලීම් කර තිබුණේ, මේ ගීතය ප්‍රචාරය නොකරන ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගීතය ප්‍රචාරය වීම නරත වී තිබේ. එපමණක් නොව, මේ ගීතය තහනම් ගීත ලැයිස්තුවට එක් වී තිබේ. ඒ ගීතයේ වරදක් නිසා නොව, ගීතය නිතර ඇසීම තුළින් රසික රසිකාවියන්ට යම් කම්පනයක් සිදු විය හැකිවේ යැයි නිගමනය වූ පසුබිමක ය. එය එසේ පැවතුණත් වියෝදුක පැවතුණු මිහිරෙන් පිරුණු මේ ගීතය ගායනා කිරීම තුළින් නාරද දිසාසේකරයන්ට එවක ගායන ලොවෙහි තරුවක් වීමට තරම් පසුබිමන් ද නිර්මාණය වී තිබුණි.

වර්ෂ 1954 ශබ්ද පරිපාලකයකු ලෙස ගුවන් විදුලියේ සේවයට බැඳුණු නාරද දිසාසේකරයන් ගායන ලොවට ඉහළටම පැමිණියේ ස්වෝත්සහයෙනි. ඔහු ගුවන් විදුලියෙහි සරල ගී පරීක්ෂණයෙන් සමත් වන්නේ වර්ෂ 1955 දී ය. ඉන් අනතුරුව ඔහු මුල්ම සරල ගීතය ලෙස ගායනා කරන්නේ, ඒ “තිලෝ තිලක සුගත පියා” ගීතයයි. අනතුරුව ඔහු ගුවන් විදුලියෙහි ජනප්‍රිය ගායන ශීල්පියකු බවට පත් වී තිබුණේ එවක සන්නිවේදනඥයකු මෙන්ම ප්‍රවීණ ගීත නිබන්ධකයකු වූ කරුණාරත්න අබේසේකරයන්ගේ වදන් සමූහයකින්, කුලරත්න තෙන්නකෝන්ගේ තනු නිර්මාණයකට අනුව සංගීතවත් වූ “චන්දන ඇඟ ගාලා ... කොණ්ඩෙ කඩා දාලා ...” ගීතය ගායනා කරමිනි. මෙම ගීතය යුග ගීතයක්. නාරද දිසාසේකරයන් මෙම ගීතය එදා ගායනා කළේ, ප්‍රවීණ ගායන ශීල්පීණී මල්ලිකා කහවිට සමඟයි. එමෙන්ම ඔහු ගායනා කළ “මේ භවයෙදි මුලු දිය දායේ ... එකතු නොවනු ඇත අප ආයේ” මෙන්ම “ආදර නිල් දෑසේ ... මැණික් රුවක් ඇඳී තිබුණි ආදර නිල් දෑසේ” ගීත අදටත් ඉතාම ජනප්‍රිය වී තිබේ.

ඒ වාගේම නාරද දිසාසේකරයන් මෙරට සිනමාවේ ද පසුබිම් ගායකයකු ලෙසත් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකළ කලාකරුවෙකි. මෙරට පසුබිම් ගායන ශිල්පියකුට හිමි වූ ප්‍රථම සරසවි සම්මානය හිමි කර ගැනීමට තරම් භාග්‍යවන්තයකු වූයේත් ඔහුයි. ඒ වර්ෂ 1962 දී තිරගත වූ “රන්මුදු දූව” චිත්‍රපටයට “ගලන ගඟකි ජීවිතේ ... දයාලූ ලෝකයේ” සිනමා ගීතය ගායනා කරමිනි. ශ්‍රී චන්ද්‍රරන්න මානවසිංහ සූරීන්ගේ පබැඳුමකට, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් සංගීතවත් කළ එම ගීතය ඔහු විසින් ගායනා කළේ, ප්‍රවීණ ගායන ශිල්පී විශාරද නන්දා මාලනියන් සමඟ ය. එලෙසින්ම එම චිත්‍රපටයටම ඔහු විසින් ගායනා කළ “පිපී රේණු නටන වනේ මලක හැප්පිලා” ගීතයත්, ඉතාම ජනප්‍රියත්වයට පත් විය. ඒවාගේම ඔහු “ගැටවරයෝ” චිත්‍රපටයේ ද අග්‍රගණ්‍ය කලාකරුවකු වූ මහගම සේකර සූරීන් ගේ පබැඳුමකට, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් සංගීතවත් කළ “ඈත ගව් ගණන් දුරින් … ලෝකයේ නොයෙක් රටින්”. ගීතය ගායනා කර, සිනමාලෝලීන් පමණක් නොව, මෙරට ගීතලෝලීන්ද අමන්දානන්දයට පත් කරනු ලැබී ය.

හැත්තෑව දශකය වූ කලී මෙරට කලාකාමී කලාකරුවන් බොහෝමයක් බිහිවූ යුගයකි. මේ යුගයේ සිටි බොහෝ කලාකරුවන් ගේ නිර්මාණත් සුවිශේෂී බවින් යුක්ත විය. හැත්තෑව දශකය නියෝජනය කළ කලාකරුවකු වූ නාරද දිසාසේකරයන් තම නිර්මාණ තුළින් එදවසෙහි සිටි රසික රසිකාවියන් පමණක් නොව, මෙදවසෙහි රසික රසිකාවියන් ද අානන්දයට පත් කළ අමරණීය ගායන ශිල්පියකු බව අවිවාදිතය.

 

Comments