ගැමි භාෂාවෙන් නවකතාවක් ලිවීම මගේ ඊළඟ බලාපොරොත්තුවයි | Page 2 | සිළුමිණ

ගැමි භාෂාවෙන් නවකතාවක් ලිවීම මගේ ඊළඟ බලාපොරොත්තුවයි

බහරේන් රටේ උපත ලැබූ සචෙන්‍යා ප්‍රනාන්දු ඇයට වයස අවුරුදු 3දී එරටට සමු දී පවුලේ අයත් සමඟ මෙරටට පැමිණියාය. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ බාලිකා මහා විදුහලේ අධ්‍යාපනය ආරම්භ කරන සචෙන්‍යා උසස්පෙළ හදාරන්නේ වාණිජ අංශයෙනි. කවි, සදැස්, නිසදැස් හා රචනා ලියන්නට පාසල් කාලයේ සිටම දස්කම් දක්වන ඇය කලාප හා පළාත් මට්ටමින් කවි නිසදැස් නිර්මාණ තරග ජයග්‍රහණය කර ඇත.

 

මාධ්‍යවේදිනියක් ලෙස තම දිවියේ දෙවැන පියවර අරඹන ඇය මැක්ස් ගුවන් විදුලියේ හා රූපවාහිනීයේ පුවත් ඉදිරිපත් කරන්නියක් ලෙසින් ( casting and broadcasting)කටයුතු කර ඇති අතර, හඬ කැවීම් ශිල්පිණියක් ලෙස සිරස නාලිකාවේ ද කටයුතු කළාය. ඇය හිරු නොබසින අධිරාජ්‍යය බලා නික්මෙන්නේ එහි ඇන්ග්ලියා රස්කින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා අලෙවි කළමණාකරණ උපාධියක් හැදෑරීමටයි. එංගලන්තයේ CMRRKAD systems limited හි මූල්‍ය කළමණාකරණ උපදේශිකාවක් ලෙසින් රැකියාවේ නියුතු ව සිටි ඇය මේ වන විට තම සොහොයුරියගේ ව්‍යාපාරික ස්ථානයේ ඇයට සහාය වෙමින් කටයුතු කරන්නීය. තම සැමියා, දරු තිදෙනා සමඟ වසර දොළහක් එංගලන්තයේ වාසය කරන සචෙන්‍යා ශ්‍රී ලංකාවේ ආදරණීය පාඨකයන්ට මේ නවකතා අකුරු කරන්නේද හිරු නොබසින අධිරාජ්‍යයේ සිටයි.

 

01.මගේ පළමු නවකතාව

මගේ අතින් ලියවුණු පළවෙනිම නවකතාව වෙන්නේ අමායා. එය 2017 දෙසැම්බර් 16 වෙනි දින 'කතා අරණ' නම් ඔන්ලයින් නවකතා පිටුවේ පළ කළා. දිනය හොඳින්ම මතකයේ තියෙන්නේ නව හැවිරිදි මගේ ලොකු දුව මෙහාරා “ අම්මේ ඔයා ආයෙත් ලියන්න පටන් ගන්නකෝ ” කියල ඊට පෙර දින සවස මගෙන් ඉල්ලීමක් කළ නිසා. 2018 දෙසැම්බර් 16 වෙනි දින මගේ පළමු මූද්‍රිත නවකතාව “ හීනයක් දෝ ආදරේ ” නමින් මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී ජනගත වෙනවා. හීනයක් දෝ ආදරේ නවකතාව මාලියු හතරවෙනි නවකතාව වුණත් මුද්‍රණය වූ පළමු වැන්නයි. අමායා ,සයුරු දහරා හා සොඳුරු තාරුකාවිය යන නවකතා ත්‍රිත්වයත් වසරක කාලයක් තුළදී මුහුණු පොතට මා අකුරු කර අවසන් කළා. අමායා නවකතාව “ ආදරණීය අනුහස් ” ලෙසින් 2020 වසරේදී මුද්‍රණය වුණා.

 

02. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

'මා නුඹේ බිරිඳයි 'නමින් පළවුණු 'හීනයක් දෝ ආදරේ' නවකතාව මා නොසිතුව ලෙසින් පාඨක ආදරය දිනාගන්නට සමත් වූණා. එම පොත අදටත් දහවෙනි පාර ට වඩා කියවූ හා කියවන ආදරණීය රසිකයන් පිරිසක් හිමිකර ගන්නට ලැබීම මගේ ලොකුම භාග්‍යය කියලා මං විශ්වාස කරනවා. කොන්දේසියකට යටත්ව විවාහ බන්ධනයකට යන තරුණ යුවළකගේ ජීවිතයේ සිදුවෙන ගැටලු හා අරගලයන් අළලා ලියවුණු එම කතාව අද වෙද්දී නැවත මූද්‍රණයට සූදානම් වෙන්නේ නවමු අත්දැකීම් රාශියක් සමඟින්.

මෙහිදී මේ කතාව පළවීමෙන් පසු මා වඩාත්ම සංවේදී කළ කාරණාව නම් නුවර ප්‍රදේශයේ ජීවත් වූ රෝගී යුවතියක් අසීමාන්තිකව එම කතාව සමඟ බැඳී එම කතාව අතරමැද සිදු වෙන වේදනා සහගත සිදුවීම් නිසා තමා සිය දිවි හානි කරගන්නා ලෙස ලියූ කෙටි පණිවිඩ මට එවීමයි.. මා කොතෙක් ඇයට තේරුම් කරදීමට උත්සාහ ගත්තත් ඇය පුන පුනා කියා සිටියේ කතා නායකයා හා නායිකාවට එලෙසින් වේදනාවක් දීම ඇයට දැරිය නොහැකි වේදනාවක් බවයි. අවසන ඇය කතාව කියවීම නවතා මා ඇගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණේ අඬා වැළපෙමින් දිගු ලිපියක් මා වෙත එවමින්. අදටත් ඇයට සිදු වූ කිසිවක් මා දන්නේ නැහැ. ඇයව සොයන්නට කිසිම ඉඩක් මට ඇය ඉතුරු කර තිබුණේ නැහැ.

 

03. මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර

හීනයක් දෝ ආදරේ, පතිනියකගේ හෝරාව, සොඳුරු තාරුකාවිය, ආදරණීය අනුහස්, සයුරු දහරා, අග්නි ධූප, දඩබ්බර වළව්කාරයා., දෑඟිලි හා නුඹ වැස්සක් යන නවකතා 09ක් මූද්‍රණය කර තිබෙනවා. මෙම පොත් සියල්ලටම එක ලෙස පාඨක ආදරය නොමඳව ලැබුණා, පතිනියකගේ හෝරාව, අග්නි ධූප, දඩබ්බර වලව්කාරයා, නුඹ වැස්සක් හා දෑඟිලි යන කෘතීන් වැඩි පාඨක ආදරයකට බඳුන් වුණා කියලා මට හිතෙනවා.. එකිනෙකට වෙනස් මාතෘකා යටතේ ලියන්නට උත්සාහ කරන නිසාම හැම කතාවක් තුළින්ම සමාජයේ අඳුරු පැතිකඩ හා සොඳුරු පැතිකඩ පෙන්වන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. අග්නිධූප කියවා ඇඬූ මව්වරුන් මෙන්ම පතිනියකගේ හෝරාව කියවා ජීවිතයම වෙනස් කරගත් බිරින්දෑවරුන් මට මුණගැහුණා. දෑඟිලි හා නුඹ වැස්සක් යන නවකතා ද්විත්වය මගේ නිර්මාණකරණයේ හැරවුම් ලක්ෂ්‍යය බව මගේ නවකතා පොත් නවයම ආදරයෙන් එකතු කරන ආදරණීය පාඨක පිරිසගේ ප්‍රතිචාරවලින් මම තේරුම්ගත් දෙයක්. ප්‍රථමවරට විදෙස් රටක සුන්දරත්වය පාඨකයාට ලබා දෙන්නට හැකි වූයේ දෑඟිලි හරහා වූ අතර එය අතිශයින්ම ජනාදරයට පාත්‍ර වෙන්න ඒකත් කාරණයක් වූ බව මට විශ්වාසයි. පිටු හාරසියය හා පන්සියය අතර ලියවෙන පොතක් ලියන එක මොන තරම් අසීරු කාර්යයක් වුවත් මට පෞද්ගලික ලැබෙන ඉල්ලීමක් , ප්‍රතිචාරයක් වන්නේ අනේ තව චුට්ටක් තව පිටු විස්සක් තිහක් විතර කතාව තිබුණා නම් කියායි.

 

04. මා නොලියූ, මා කැමති වෙනත් පොත්

කුමරි, අරලිය, සඳරේණු වගේම රැජිණ, සිරිකත, නවලිය ඇතුළු සඟරා හා පත්තර සියල්ලම මම පළමුවැනි වෙළුමේ සිටම කියවපු කෙනෙක්. මම මගේ රසාස්වාදය වෙනුවෙන් ඇස් දැවිල්ල වනතුරු පොත් කියවන කෙනෙක්. 'උඩු සුළඟ' නවකතාව කියවද්දී මම හයවසරේ. ඒ දවස්වල ඉඳලම ලෙටීෂියා බොතේජු, ජයසේන ජයකොඩි, එඩ්වඩ් මල්ලවාරච්චි, චන්දි කොඩිකාර, මනෝරි සිලිකා වික්‍රමාරච්චි වගේම සුජීව ප්‍රසන්න ආරච්චි ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට දැක්වූයේ අතිශය ළෙන්ගතු කමක්. මට ලොකු ආශාවක් හා වුවමනාවක් තියෙනවා ගැමි භාෂාවෙන් ලියවුණු කතාවක් ලියන්නට. පොතපත ආශ්‍රයෙන් භාෂාව හා උච්චාරණය දැනගත යුතු බව මගේ විශ්වාසයයි. විදෙස් රටක ඉපිද ලංකාවේ වසර විසි හතක් වෙනතුරු ජීවත්වෙලා ඊටත් පස්සේ එංගලන්තය ස්ථීර පදිංචිය වෙලා ඊටත් වසර දොළහකට පසුව සිංහල භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාරය ඉගෙන ගන්නවා කියන දේ ලේසි නැහැ.

 

05.මගේ ඉදිරි සැලසුම්

ඉදිරියේදී නිකුත් වීමට නියමිත “ පිරිමියෙකුට පණ දෙන්න ” හා “ රූ සළ රූ ” යන නවකතා ද්විත්වය මේ දවස්වල ලියමින් පවතිනවා. ඊට අමතරව බටහිර අහස හරහා එළිදැකීමට නියමිත වෙනත් ලේඛිකාවන් කිහිපදෙනෙකුගේ නිර්මාණයන්වලට සූදානම් වෙනවා. මේ මොහොතේදී විශේෂයෙන් මතක් කළ යුතු කිහිපදෙනෙක් ඉන්නවා. වැටෙන හැම මොහොතකම නැඟිටින්න අවවාද හා ශක්තිය ලබා දෙන ගරු ඩැරල් කූඤඤ පියතුමාත්, හැමදාමත් ලියන්නට සිතන්නට මානසික නිදහස උපරිමයෙන් ලබා දෙන මගේ ආදරණීය සැමියා නිරෝෂන් ප්‍රනාන්දුත් බටහිර අහස පරිපාලන කටයුතුවල නිරත වෙන මගේ ආදරණීය පියා බැසිල් ශ්‍රී ලාල් පෙරේරාත්.,' අම්මා ලියන්න අපි මල්ලිව බලාගන්නම්' කියමින් ශක්තිය දෙන මගේ දූලා දෙන්නත් බටහිර අහසින් එළියට එන සෑම පොතකම කවර නිර්මාණය අපූරුවට නිමාකර දෙන ලේඛිකා චමී තියඹරාහේනේ ගෙදර නැගණියත් මේ අතර සුවිශේෂයි, ඒ වගේම වචනයකින් පවා මට ශක්තියක් වෙන මගේ ආදරණීය පාඨක පිරිසට ස්තූතිය පුද කරන්නේ ඉමහත් ගෞරවයෙන්.

 බුද්ධිකා ඉඹුලාන

Comments