කුසල් අකුසල් නොහඳුනන මිනිසුන් මෙබඳු ගී අසත්වා! | Page 3 | සිළුමිණ

කුසල් අකුසල් නොහඳුනන මිනිසුන් මෙබඳු ගී අසත්වා!

සිය ජීවිත විවිධ ලෙසින් ආලෝකවත් හා සහෘදයවත් කළ ගී ගැන සමාජයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් කෙරෙන විවරණයකින් මේ ලිපි පෙළ සැකසේ. ආරම්භක ලිපියෙන් සිය හදවතේ රැඳුණු ගී තුනක් ගැන සිය මතක අවදි කරන්නේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් ය.

 

ගීතය සාමූහික කලාවකි. රසබර හරබර රසානන්දයකි. ගීතයේ ආත්මය මනෝරම්‍ය තනුවයි. අර්ථ සම්පන්න ගී පද මාලාව, ගායනය, වාදනය සමෝසම ව එකතු වූ කල සුගීතය බිහි වෙයි. එදා මෙදා තුර අපි මොනතරම් ගීත කන්දරාවක් රසවි ඇතිද? විවිධ භාෂා සාහිත්‍යය ඉන් විශද වී ද? විමල් අභයසුන්දර මපියා විසින් නිෂාදි සහ සංගීත සංහිතා, රාධා මාධව රාවණායණය ආදි ගීත නිර්මාණ ශාස්ත්‍රීය විමර්ශන, ගීත නාටක ඇතුළත් පොත් රචනා කරන ලදී. බොහෝ විචාරකයන් සංගීතඥයන් මෙන් ම සුළවතුන් අගය කළ ගී ඒ කෘතීන්හි ඇතුළති. 1952 දී තාත්තා ග්‍රැමෆෝන් තැටිවලට ගීත ලියුවේ ජිනදාස ගුණසේකර ගායකයාගේ ඉල්ලීම පරිදිය.

ඔහු කල්‍යාණි අභයසුන්දර නම් මගේ අම්මාට ද ගීත ලියා ඇත. තාත්තා ලියූ ජාත්‍යනුරාගය, දේශවාත්සල්‍යය, බුදු සැදැහැව නංවන ගීත රාශියකි. පෙම් ගී ලියා ඇත්තේ අඩුවෙනි. ශම්ෂාඩ් බේගම් විසින් ගයන ලද ප්‍රකට හින්දි ගීතයක තනුවට අනුව මපියා දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී ගීත රචනා කළේ වසන්තා සන්දනායක ගායිකාවටය. නව සංගීත වින්‍යාසය බී.ඇස්. පෙරේරා සංගීතඥයාගෙනි. මේ ගීතය ජනකාන්ත විණි. පසුකලෙක විශාරද නන්දා මාලනිය තාත්තා හමුවී අවසර ගෙන මේ ගීතය නැවත ගැයුවාය. තවත් සමහරු අවසර නොගෙන ගීතය ගයති. මේ පින්බර වෙසක් සමයයි. වෙසඟේ තුන් බුදු මඟුල අපට සිහි කරන්නේ වීතරාගී බවයි. කරුණාවයි ප්‍රඥාවයි. ශ්‍රද්ධාව එහි පදනමයි.

මේ ගීතයෙන් සූචනය වන්නේ ලෞකික ජීවිතයේ සෞන්දර්යයයි. ආලයයි - ජීවන මිහිරයි. ලාමක කාම රාගය ඕලාරිකව මතු වන්නට ඉඩ හසර සීමා කොට හින්දි ගී තනුවකට අනුව ලියූ මේ ගීතය ඉමහත් ආස්වාදයක් මසිත කුළු ගන්වයි.

දොළළඟ ගුරු පාර දිගේ ඒවී

සිනහ පපා ටිකිර නඟා

දිය නාගෙන කුඹුකෙ ළිඳෙන් නංගෝ

සුදට සුදේ වනමල් ගසා ලා හිසේ

නැළවී නැළවී සිතේ ගී තාලෙන්

මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ

සැන්දෑවේ සිරියාවේ පීනා නගෝ

නීලවලා පාවී සිනා

රූ බෝවී එන්නේ සුදු මැණිකෝ දැන්

ඇයිදෝ තාම වෙලේ ගෙදර නොයා

ඒවී සිනහ පපා ටිකිරි නඟා

ඇයි නෑවේ සීත සැඳෑයාමේ

තෙත කොණ්ඩේ බේරේ දිය බින්දු පුරා ඉතිරේ කිරි වීදේ සිරියාවෙන්

සිරියාවි ගමේ ඒවී සිනහ පපා ටිකිරි නඟා

සිංහල සංස්කෘතියේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ඇවතුම් පැවතුම් සුබ දසුනක් වූ තරුණියකගේ හාවතාව ලීලා ගීයෙන් විශද කැරෙයි. එහි යටිපෙළින් ගලා යන ශෘංගාරය චමත්කාරයකි. අත්තහිත පරහිත චරිත ලක්ෂණ ඇති උදවිය ශ්‍රේෂ්ඨ යැයි ප්‍රණීකාර යැයි බුදු රජාණෝ දේශනා කළහ. ආත්මාර්ථකාමී රුදුරු ලොවක පරෝපකාරයේ අගය අපමණය. මහාචාර්ය සුනිල් ආරියරත්න අතින් ලියැවුණු විශාරද නන්දා මාලනී ගැයූ මේ ගීය තනුව යොදා සංගීතවත් කළේ සුනිල් දයානන්ද කෝනාර සංගීතඥයා විසිනි.

වහින්නට හැකි නම් ගිගුම් දී

වියළි ගම් බිම්වලට ඉහළින්

ඉදෙන්නට හැකි නම් බතක් වී

බතක් නොඉදෙන පැලක රහසින්

රැඳෙන්නට හැකි නම් ළමා කැළ

හඬන දෙතොළඟ සිනාවක් වී

පිපෙන්නට හැකි නම් තුරින් තුර

නෙළා ගත හැකි වන මලක් වී

නිදන්නට හැකි නම් දෙනෙත් තුළ

සැබෑවන සුබ සිහනයක් වී

ගැයෙන්නට හැකි නම් දොරින් දොර

ලොව ම පුබුදන ගීතයක් වී

බෝධි චර්යාවතාරය පොතේ එන ග්ලානනාමස්ස ශ්ලෝකයේ ආභාසය මේ ගීයට ලැබී ඇතැයි මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති.

මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ වන විට බෝධි චර්යාවතාරය කියවා නොතිබුණු බව එතුමා විසින් මට පවසන ලදී. පසු කාලයක කීර්ති නාරම්පනාව පඬිවරයා මේ පොත සංස්කෘත බසින් සිංහලයට නැඟීය.

බුදු දහමේ ආභාසය ලැබූ පොතක් ලෙස පිළිගැනෙන තිරුක්කුරල් තිරුවල්ලුවර් කවියාගේ දෙමළ බසින් කළ අනගි නිර්මාණයකි. වජිර ප්‍රභාත් විජයසිංහ මේ පොත සිංහලයට නැගීය. මෙබඳු පොත් ධම්ම පද ඇසුරු කරන විට අපගේ පෘතග්ජන රාග ද්වේශ මෝහ තුනී වී විලෝපනවාදයෙන් ඉවත් වී සත්පුරුෂයකු සුදනකු වීමේ ආකල්ප ජනිත වේ. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් දුගීකමයි. එය මුලිනුපුටා දැමීමට මෙබඳු වටිනා ගීත නිතර ගැයිය යුතුයි.

අන්ත අතහැර මැදුම් පිළිවෙතේ ගමන් කිරීම බෞද්ධයා අනුදැන මාවතයි. ජී.ඩී.ඇල්. පෙරේරාගේ සාමා චිත්‍රපටයට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ලියූ මේ ගීතය ජීවිතාවබෝධයට තුඩුදෙන ආලෝචන නංවයි. ප්‍රභාස්වර දිවියකට මංපෙත් හෙළි පෙහෙළි කරයි. සංගීතවත් කරමින් ගීය ගැයුවේ දේවානන්ද වෛද්‍යසේකරයි.

ආශා දෑසින් දකිනා සිහිනේ

මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී

හද තුළ තෙරපෙනවා

ආ මඟ දෑලේ පිපි මල් කරවී

නැත පල හට ගන්නේ

සිතුවිලි මී මැසි නැත අතු මී බැඳ

උන්මය රිදවන්නේ

තණ්හා දෑතින් පැතුමේ වරපට

ගිලිහී බිම වැටිලා

දෛවයෙ ගොනු අද ජීවන ගැලගෙන

ආ මග දිවයනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි

ජීවනයට යනවා

මඩවල ඇස්. රත්නායකට ලැබුණු ආරාධනය ස්වර්ණ ශ්‍රී වෙත ලබාදී ලියැවුණ මේ මනහර ගීය අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂන විද්‍යමාන කරයි. ජීවිතය පවතින්නේ දුක මතයි. පව පින කුසල අකුසල නොහඳුනන මිනිසුන් මෙබඳු ගී අසත්වා! තමන් තමන්ට මෙන්ම අනුන්ටත් පහනක් වී නැගී සිටිත්වා!

Comments