කාන්තාවනි, ඔබේ දෙපා රැකගන්නේ මෙහෙමයි | සිළුමිණ

කාන්තාවනි, ඔබේ දෙපා රැකගන්නේ මෙහෙමයි

සමහර කාන්තාවන්ගේ මුහුණ සුන්දර වුවත් දෙපා අවලස්සනයි. ඔබ මුහුණට කෙතරම් සත්කාර කළත් අපිරිසුදු නියපොතු සහිත පැළුණු දෙකකුල්වල හිමිකාරිනියක් නම් එය ඔබේ පෞර්ෂයටත් හානියක්

Foot Cream එකක් භාවිත කර දෙපා හොඳින් සම්බාහනය කරගන්න. මේ සඳහා නිවසේදී පාද කැක්කුම සඳහා යොදා ගන්නා ආලේපන වර්ගයක් වුවද මිශ්‍ර කරගත හැකි අතර එයින් වඩාත් සුවදායක බවක් ලබාගන්න පුළුවන්

 

කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහා මුහුණට විවිධ ‍රූපලාවණ්‍ය සත්කාරයන් සිදු කරනවා. නමුත් තම දෙපාවල සුන්දරත්වය ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක්. ඒ නිසා මුහුණ සුන්දර වුවත් දෙපා අවලස්සනයි.

ඔබ මුහුණට කෙතරම් සත්කාර කළත් අපිරිසුදු නියපොතු සහිත පැළුණු දෙකකුල්වල හිමිකාරිනියක් නම් එය ඔබේ පෞර්ෂයටත් හානියක්. ඇතැම් කාන්තාවන්ට කාර්යබහුල බව සහ ආර්ථික තත්ත්වය මත රූපලාවණ්‍යාගාර වලට ගොස් දෙපා සඳහා සත්කාර කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි අද හිතුවා දෙපාවලට කළ හැකි සත්කාරයක් පිළිබඳව ඔබව දැනුම්වත් කරන්න. අද රූ රහස් සමඟින් සිය දැනුම බෙදා ගන්නේ NVQ4 ඇගයීම් නිලධාරිනියක වන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිමාලි දිනූෂායි.

 

කාන්තාවන්ගේ පාද ලස්සන කර ගැනීම රූපලාවණ්‍යයේදී "පෙඩිකිව් (pedicure)" ලෙස හඳුන්වනු ලබනවා. නිවසේදී පාද සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ගැන අපි දැන් පියවර වශයෙන් කතා කරමු.

මුලින්ම මඳ රස්නය සහිත උණුසුම් වතුර බේසමකට විසබීජ නාශක දියර බිංදු කීයක් සහ ෂැම්පු ස්වල්පයක් දමා ගන්න.

පෙඩිකිව් සඳහාම ගන්නා ලුණු වර්ගයකින් මේස හැඳි එකක් හෝ සාමාන්‍ය ලුණු මේස හැඳි දෙකක් ඒ බේසමට එක් කරන්න.

හොඳින් සබන් යොදා පිරිසුදු කර ගත් දෙපා ඒ බේසම තුළට දමා විනාඩි දහයක් හෝ විනාඩි 15ක කාලයක් මේ තුළ දෙපා තබා ගන්න.

දෙපාවල වේදනා ඇති අයටත් මේ ආකාරයට ලුණු යෙදූ ජලයෙහි තමන්ගේ දෙපා තබාගෙන දමාගෙන සිටීමෙන් සුවයක් ලබාගන්න පුළුවන්.

පසුව දෙපා ඉවතට ගෙන පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ තුවායකින් හොඳින් පිසගන්න. ඉන්පසු නියපොතුවල පෙර ගල්වන ලද ආලේපන නැතිනම් කියුටෙක්ස් ඇත්නම් ඒවා ඉවත් කර ගන්න.

නැවත බේසමට පාද දමා හොඳින් දෙපා සහ නියපොතු බ්‍රෂ් එකක් ආධාරයෙන් හොඳින් පිරිසුදු කර ගන්න. මෙහි දී ඇඟිලිකරු හා යටි පතුල් ද හොඳින් බ්‍රෂ් එකකින් පිරිසිදු කරගැනීම වැදගත්. මේ සඳහා රූපලාවණ්‍යාගාරවල Footbath එකක් භාවිත කරනු ලබනවා.

ඉන් පසුව බේසමේ ඇති වතුර ඉවත් කර ඒ බේසමට සාමාන්‍ය වතුර එක් කර දෙපා සෝදා එක් පාදය බැගින් එළියට ගෙන තුවායකින් හොඳින් පිස දමන්න.

නියපොතු වැවී ඇත්නම් Nail cutter එකක් භාවිත කර නියපොතු කපා ගන්න. Nail file එකක් ආධාරයෙන් කපන ලද නියපොතු පිළිවෙලට පිරිමැද ගැනීමෙන් නියපොතුවල පැහැදිලි නිමාවක් දැකගන්න පුළුවන්.

ඉන්පසුව Nail Buffer එකේ රළු පැත්තෙන් පටන්ගෙන එහි ඇති පැති හතරෙන්ම මෘදු පැත්ත දක්වා නියපොතු හොඳින් මැද ගැනීම කළ යුතුයි.

Orange stick එකක් ආධාරයෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන ඇඟිලි කොන්වල සහ නියපොත්තේ ඇති මැරුණු සම සහ කුණු ඉවත් කරගන්න. ඉන් පසුව Cuticle Cream එකක් ගෙන නියපොතුවල හොඳින් තවරා ගන්න.

නියපොත්තේ ඇති සම කොටස පිටුපසට තල්ලු කර Cuticle Cutter එකක් ආධාරයෙන් කපා අයින් කරගන්න.

ඉන්පසු Foot Scrub එකක් ගෙන පාදවල දණහිස දක්වා ම හොඳින් ආලේප කරගන්න. නිවසේදී නම් හොඳින් ස්ක්‍රබ් කර විනාඩි දහයක් පමණ තබා නැවත දෙඅත් හොඳින් තෙමාගෙන ‍යළි ස්ක්‍රබ් කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

අවශ්‍ය නම් ස්ක්‍රබ් එකට පසුව පැක් එකක් භාවිත කරන්නත් පුළුවන්. පැක් එකක් ආලේප කිරීමෙන් පසුව ටෝනර් භාවිත කරන්න මතක තබා ගන්න.

Foot Cream එකක් භාවිත කර දෙපා හොඳින් සම්බාහනය කරගන්න.

මේ සඳහා නිවසේදී පාද කැක්කුම සඳහා යොදා ගන්නා ආලේපන වර්ගයක් වුවද මිශ්‍ර කරගත හැකි අතර එයින් වඩාත් සුවදායක බවක් ලබාගන්න පුළුවන්.

පෙඩිකිව් එකක් කිරීමේදී පාදවල පැහැපත් බව වැඩි වනවා සේම ඔබටද සුවදායක බවක් ද දැනෙනවා. එමෙන්ම ඔබගේ මනස නිරවුල් කර ගැනීමටද මෙය උදවු වෙනවා.

Comments