
ප්‍රබන්ධයක චරිතයක් යනු ඒ ප්‍රබන්ධයෙහි ක්‍රියාවන්,වචන සහ සිතිවිලි නිරූපණය කරන්නන් ය. ප්‍රබන්ධයක මූලික චරිතයේ ස්වභාවය වන්නේ, ඒ චරිතය ප්‍රබන්ධයෙහි ආධිපත්‍ය දරන බැවිනි. මෙම මූලික චරිත සුදු සහ කළු චරිත ලෙසද වර්ග දෙකකට බෙදේ. කිසියම් ප්‍රබන්ධයක් නාටකීය ගුණයක් සහිතව ඉදිරියට ගලා යාමට, සුදු චරිත මෙන්ම කළු චරිත එකසේ වැදගත් වේ. සිනමාවට ප්‍රවේශ වන බොහෝ නවකයන් වඩාත් උනන්දු වන්නේ, සුදු චරිත රඟපෑමට ය. ඉන් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් ලැබේ ය යන්න ඔවුන් දරන මතය වේ.
එනමුදු එම දුර්මතය යටපත් කර, කළු චරිත වලට පණ පොවමින් ප්‍රේක්ෂක ආකර්ෂණය පමණක් නොව, ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමින් හිමි කර ගනු ලැබූ රංගන ශිල්පියකු ලෙස විල්සන් කරුණාරත්න රංගන ශිල්පියා හැඳින්වීමට පුළුවනි. එමෙන්ම එදා තම ආදරණීය සිහින කුමරුන්ගේ රංගනය නැරඹීමට සිනමා ශාලාවලට යන ප්‍රේක්ෂකයන් තම සිහින කුමරුන්ගේ ප්‍රතිවාදියා නැතහොත් දුෂ්ටයා ලෙස බලාපොරොත්තු වූයේ, විල්සන් කරුණාරත්න ව ය.
එලෙසින්ම එවක චිත්‍රපටිවල රඟපෑමට පැමිණෙන සිහින කුමරුන් ද වඩාත් කැමැත්තක් දැක්වූයේ, තම ප්‍රතිවාදියා ලෙස විල්සන් කරුණාරත්න සිටීම ය. ඒ අන් කවරක් නිසාවත් නොව, විල්සන් කරුණාරත්න සමඟ සටනක යෙදී තම වීරත්වය තව තවත් තීව්‍ර කර ගැනීමේ උපායක් ලෙසිනි. වරක් විල්සන් කරුණාරත්න රූපවාහිනී වැඩසටහනකට පැමිණ ප්‍රකාශ කර තිබුණේ, තමන් ප්‍රතිවාදියා සමඟ කරන ප්‍රවේගකාරී සටන් නරඹන්නන් තැතිගැන්මකට පත් කළත්, තම සිනමා දිවිය තුළ ප්‍රතිවාදියා වෙත එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් කිසිදු රිදවීමක් සිදු නොවූ බවයි. ඒ තරමටම ඔහු ප්‍රතිවාදියා සමඟ කළ සටන් දර්ශනය මැනවින් කිරීමට ප්‍රගුණ කර තිබී ඇත. එ් අනුව එදා, අද නොව හෙට දිනයේදීත් විල්සන් කරූගේ නම සඳහන් වන තැනක ඔහු සිනමාවේ කළ ජවනිකා ද මතකයට නැගෙනු නොඅනුමාන ය.
විල්සන් කරුණාරත්න සිප්සතර හැදෑරුවේ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙනි. අධ්‍යාපනය ලබන අවදීයේදීත් ඔහු වීර ක්‍රියාකාරකම් වලට වඩාත් ඇළුම් කර තිබේ. විශේෂයෙන් දෙස් විදෙස් ත්‍රාසජනක චිත්‍රපට නැරඹීම පුරුද්දක් ඇති කර ගනු ලැබූ ඔහු, චිත්‍රපටි නැරඹීමේදී වඩාත් උද්යෝගීමත් වී ඇත්තේ, සටන් ජවනිකා නැරඹීමට ය. ඔහු එම ජවනිකාවල ඇති ඇතැම් සටන් තම මිතුරන් සමග ප්‍රායෝගිකව සිදු කිරීමටත් උත්සුක වී තිබේ. එලෙසින්ම ඔහු වර්ෂ 1965 දී තිරගත වූ “චන්ඩියා” චිත්‍රපටයේ තිබූ සටන් ජවනිකා නැරඹීමෙන් අනතුරුව සටන් නළුවකු වීමේ සිතුවිල්ල පහළ වී තිබේ. ඔහු එම සිතිවිල්ලෙන් තව තවත් ඉදිරියට යමින් සටන් කලාවන් ඉගෙනීමට ද උනන්දු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු චීන අඩි ශාස්ත්‍රයද ප්‍රගුණ කර තිබේ. ඒ එම ශාස්ත්‍රය පිළිබඳ විශේෂ ප්‍රායෝගික දැනුමක් තිබූ මොහිදින් මාස්ටර්ගෙනි. එපමණක් නොව, සිනමාවට ප්‍රවේශ වීමෙන් අනතුරුව තම රංගනයේ වෘත්තීය භාවය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ඔහු විසින් බොක්සින්, රෙස්ලින්, කරාතේ මෙන්ම පිහිනුම් සහ පා පන්දු වැනි ක්‍රීඩා වලද නියුතු වී තිබේ. ඒ නිසා ඔහුට ඉතා සූර ලෙස සටන් ජවනිකා නිරූපණය කිරීමට නිපුණතාවක් ලැබී තිබේ. ඇතැම් සටන් ජවනිකාවල නිරත වීමේදී ඔහු තම ජීවිතයටත් වඩා ප්‍රමුඛත්වය දී ඇත්තේ, ආකර්ෂණීය ලෙස අදාළ සටන් ජවනිකාව නිරූපණය කිරීමට ය. එබැවින් විල්සන් කරුණාරත්නගේ සිනමා ජීවිතයේ බොහෝ සටන් ජවනිකා ඉතාම සාර්ථක වී තිබුණි.
සිංහල සිනමාවේ හොඳම සටන් නළුවකු ලෙස ප්‍රකට වූ විල්සන් කරුණාරත්න මහතා සිනමාවට ප්‍රවේශ වී ඇත්තේ, වර්ෂ 1974 දී ය. ඒ “හදවත් නැත්තෝ” චිත්‍රපටියෙනි. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබුණේ, සුඛ්‍යර් මකිම් විසිනි. “හදවත් නැත්තෝ” චිත්‍රපටයෙහි සටන් ජවනිකාවක් නිරූපණය කළ ඔහුගේ ප්‍රථම ප්‍රතිවාදියා බවට පත් වී ඇත්තේ, ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු ය. ඉන් පසුව සිනමා ලෝකයේ ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදීන් ලෙස, සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සඳහන් කිරීමට පුළුවනි. විල්සන් කරුණාරත්න විසින් රඟපෑ චිත්‍රපට අතර යකඩයා, ජීවන ගංගා, සරදියෙල්ගේ පුත්තු, හිතුවොත් හිතුවාමයි, හිත මිතුරා, දෙමෝදර පාලම, සෙලීනාගේ වලව්ව ආදී චිත්‍රපටි ගණනාවක් වේ. මූලාශ්‍රයවලට අනුව වර්ෂ 1974 න් ඇරඹී ඔහුගේ සිනමා ගමන දශක හතරකටත් එහා ගමන් කර තිබේ. ඒ අනුව ඔහු චිත්‍රපටි 250 ට අධික සංඛ්‍යාවකට තම රංගන හැකියාවෙන් දායකත්වය සපයා තිබේ. ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ “සසර චේතනා” චිත්‍රපටයේ නිකුලස්ගේ චරිතයට පණ පෙවීම වෙනුවෙන් විල්සන් කරුණාරත්නට සම්මානයක් හිමි කර ගැනීමටද හැකියාව ලැබී තිබේ. එලෙසින්ම පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ වලිසුන්දර, කිව්ලේ ගෙදර මොහොට්ටාල චිත්‍රපටයේ මොහොට්ටාල, විජය කුවේණී චිත්‍රපටයේ යක්ෂ ප්‍රධානියාගේ භූමිකාව නිරූපණය මෙන්ම සොඳුරු දඩබිම චිත්‍රපටයේ විමලසේන පොලිස් පරීක්ෂකගේ භූමිකාවද බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබේ.
පසුගිය කාලයේ ඔහු ප්‍රේක්ෂකයන් අතර ආන්දෝලනයට ලක් වූයේ මුව ආවරණ රහිත ව පොදු ස්ථානයක සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වීම සම්බන්ධව ය. එහිදී රූපවාහිනී නාළිකාවකින් ඔහුගෙන් ඒ ගැන විමසද්දී සිය ජීවන විලාසය සේම ඔහු හැඟීම්බරව පිළිතුරු දෙද්දී නිවේදකයා සිනාසෙමින් කීවේ ඔහු එලෙස කතා කරන විට නුපුරුදු බවක් හැඟෙන බව ය. එවිට සිනමාවේ දුෂ්ටයා සේ ඔහු රංගනයක යෙදෙමින් එකී දෙබස් ඛාණ්ඩය කීවේය. ප්‍රේක්ෂකයාගේ මුවඟට සිනහවක් නැංවූ ඔහු රංගනයේදී පමණක් දුෂ්ටයකු වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි; රංගන ශිල්පියෙකි.
විල්සන් කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් කෙටි කාලයක් කලා ලෝකයෙන් ඈත් වී සිටියේ ය. පසුව ඔහු කෙටි කාලයක් තම නිවසේ දී ප්‍රතිකාර ලබා ගත් අතර අනතුරුව රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ගමින් සිටිය දී පසුගිය මැයි මස 03 වන දින දිවි ගමනට සමු දී තිබේ. මිය යන විට ඒ මහතා 79 වන වියේ පසු විය.