සිනමාවේ අහිංසක පෙම්වතා තිස්ස විජේසුරේන්ද්‍ර | සිළුමිණ

සිනමාවේ අහිංසක පෙම්වතා තිස්ස විජේසුරේන්ද්‍ර

 

මා ප්‍රාර්ථනා ආශාවෝ ගීතය අද දවසේත් බොහෝ ගීත ලෝලීන් රසවිඳින ගීතයක්. ඔවුන් මේ ගීතය රස විඳින්නේ, ගීතය ගායනා කරන එච්. ආර් ජෝතිපාලයන්ගේ සහ ඇන්ජලීන් ගුණතිලකයන්ගේ ගායන විලාසයටත් ආකර්ෂණය වෙමින්. මේ ගීතය මුලින්ම අසන්නට ලැබුණේ, වර්ෂ 1974 දී. ගීතය ඇතුළත් වී තිබුණේ ප්‍රවීණ සිනමාවේදී කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ “ළසඳා” චිත්‍රපටයේ. එදා මේ ගීතයට රංගයෙන් දායකවූයේ තිස්ස විජේසුරේන්ද්‍රයන්. ඒ ජානකී කුරුකුලසූරිය රංගන ශිල්පිණිය සමඟින්.

 

ඔවුන් දෙදෙනාගේම රංගන විලාසයත් එදා මේ ගීතය ජනප්‍රිය වීමටත් බොහෝ සේ හේතුවක් වුණා. තිස්ස විජේසුරේන්ද්‍ර, හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු බොහෝ විට රඟපෑවේ අහිංසක පෙම්වතාගේ චරිතයයි. එසේ අහිංසක ලීලාවෙන් පෙම් චරිත තාත්ත්‍රිකව නිරූපණය කළ ඔහු වටා එවක විශේෂ රසිකාවන් පිරිසකුත් එක්රොක් වී සිටියේය. ඒ වගේම ඔවුහු ඔහුගේ රංගන ශෛලියට බොහෝ සේ අැළුම් කළහ. සිනමා පටයක වුවත්, එහි කතාවේ ප්‍රේමවන්තයා විසින් ජය තහවුරු වන තුරු රසික රසිකාවියන් නැරඹූයේ කුතුහලයෙනි.

වර්ෂ 1964 දී ඉන්දියාවේ තිරගත වූ “දෝස්ති” අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. එම චිත්‍රපටයට මෙරට සිනමාලෝලීන්ගෙන් ද ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. ඒ නිසා එම චිත්‍රපටය මෙරට සිනමාලෝලීන් වෙනුවෙන් ද තිරගත විය. පසුව “දෝස්ති” මෙරටදීත් ජනප්‍රිය වූ පසුබිමක එහි කතා තේමාවට අනුව සිංහල චිත්‍රපටයක් තැනීමටත් සැලසුම් විය. එය නම් කර තිබුණේ “කළණ මිතුරෝ” නමින්. මේ අතර ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ “දෝස්ති” චිත්‍රපටයේ මොහාන්ගේ චරිතය නිරූපණය කළ සුධීර් කුමාර්ට සමාන රුවක් සෙවීම ආරම්භ කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි තිස්ස විජේසුරේන්ද්‍රයන්ට “කළණ මිතුරෝ” හි රඟපෑමට අවස්ථාව උදා වන්නේ. “කළණ මිතුරෝ” විජේසුරේන්ද්‍රයන් රඟපෑ මුල්ම චිත්‍රපටයයි. ඒත් විජේසුරේන්ද්‍රයන් රඟපෑ දෙවන චිත්‍රපටය තමයි මුලින්ම තිරගත වූයේ, ඒ වර්ෂ 1970 දී නිර්මාණය වූ “නිම්වලල්ල” චිත්‍රපටයයි. අනතුරුව විජේසුරේන්ද්‍රයන් චිත්‍රපටි 65 ක පමණ රඟපා තිබේ. ඊට තවත් විශේෂත්වයක් එකතු වන්නේ, එවක ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටි බොක්ස් ඕෆිස් වාර්තා පිහිටු වීමයි. සමනළ කුමරියෝ, සුහද පැතුම, සිතක සුවඳ, පූජිතයෝ, ලස්සන කෙල්ල, ‌බෝනික්කෝ, සුදු පරවියෝ, ඇය ඔබට භාරයි, නීලා, සුරේකා, දීපාංජලී, අනූෂා, සධානා අදී චිත්‍රපටි ගණනාවකටම විජේසුරේන්ද්‍රයන් තම රංගයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. ඒවාගේම ඔහුගේ රංගන දිවිය තව තවත් වර්ණවත් කළේ ඔහු සමඟ රඟ පෑ රංගන ශිල්පිණියන්. මාලනී ‌ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ගීත කූමාරසිංහ වැනි එවක රසික රසිකාවියන්ගෙන් ආදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනියන් සමඟයි ඔහු රංගනයේ යෙදුණේ. එවක සිංහල සිනමාවේ ගාමිණි - මාලනි, විජය - මාලනී මෙන්ම තිස්ස - මාලනී යුගය නිර්මාණය කිරීමට දායක වූයේත් තිස්ස විජේසුරේන්ද්‍ර ය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ජීව විද්‍යා විෂයයන් යටතේ උසස් පෙළ හදාරමින් සිටි තිස්ස විජේසුරේන්ද්‍රන් වෛද්‍යවරයකු වීමේ සිහිනය අතහැර, සිංහල සිනමාවේ සිනමාලෝලීන්ගේ සිහින කුමරකු බවට පත් විණි. තිස්ස විජේසුරේන්ද්‍රයන් වරක් රූපවාහිනී වැඩ සටහනකට පැමිණ වැඩිහිටියකු සේ නවක නළුනිළියන්ට දැනමුතුකමක් ලබා දුන්නේ ය. ඒ “තාක්ෂණයේ දියුණුවෙන් ප්‍රයෝජන ගන්න. නමුත් තමන්ගේ මනසයි, හදවතයි දියුණු කරගන්න. සංවේදී වෙන්න.” ලෙසින්.

Comments