
වෙළදපළේ තියන උපක්‍රම භාවිත කරල තමන්ගෙ ශරීරයේ සමහර අඩුපාඩු වහගෙන තමයි ඇඳුමක් අඳින්න ඕනේ
එක්එක්කෙනාගෙ ශරීරයේ ක්‍රියාකාරිත්වය අනුව කෙට්ටු වෙන්න අපි තෝරා ගන්න ක්‍රම වෙනස් කරන්න වෙනවා
තරබාරු බව කියන්නේ කාන්තා පිරිමි බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.විශේෂයෙන් කාන්තාවන් කැමතියි හැඩැති සිරුරකට උරුමකම් කියන්න.ඒක පහසු දෙයක් කියලා හිතුවත් උත්සහ කරනකොට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. ඔය අතර මොනවා කළත් කෙට්ටු වෙන්නේ නෑනෙ කියලා දුකින් ඉන්න අයත් ඕනේ තරම් ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ.? ශරීරයේ හැඩය පවත්වා ගැනීමට අපි කරන්න ඕන මොනවද.? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න රූ රහස් තුළින් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නෙ සිංගප්පූරුව,මාලදිවයින, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ රූපලාවන්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි අරෝෂි කෞෂල්‍යා හේරත් ය.
අපි එකිනෙකාගේ ශරීරය හැදිලා තියෙන ආකාරය සහ ක්‍රියාකාරිත්වය වෙනස්.ඉතින් එක්එක්කෙනාගෙ ශරීරයේ ක්‍රියාකාරිත්වය අනුව කෙට්ටු වෙන්න අපි තෝරා ගන්න ක්‍රම වෙනස් කරන්න වෙනවා.අපේ ශරීරයේ හැඩය අනුව පරිවෘත්තීය ක්‍රියාව හා හෝමෝන ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ශරීර හැඩය පවත්වාගැනීම සඳහා ලෝකයේ ජනප්‍රියම ක්‍රමයක් තමයි කෑම පාලනය කිරීම. සමහර අය කෑම ගත්තම ඒවයෙ තියෙන දේවල් ශරීරය තැන්පත් වීම වැඩියි සහ මේදය දහනය වන ප්‍රමාණය අඩුයි. හැබැයි ඇතැම් අයගෙ මේදය දහනය වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා තමයි ශරීරයේ හැඩය පිළිබඳව දැනගන්න එක වැදගත් වෙන්නේ.
මිනිස් සිරුරේ හැඩය වර්ග තුනක් යටතේ කතාකරන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි endomorph.මේ අය බැලූ බැල්මට තරබාරුයි. ශරීරයේ ඉහළ කොටස මහතින් වැඩි මොවුන්ගේ තියෙන විශේෂත්වය තමයි ශරීරය පරිවෘතිය ක්‍රියාකාරීත්වය අඩු වීම. මොවුන් දෙයක් ආහාරයට ගත්තම එය ශරීරය තුළ තැන්පත් වන ප්‍රමාණය වැඩි අතර දහනය වෙන ප්‍රමාණය අඩුයි. එවැනි හැඩයේ සිරුරක් තියෙන අය තමයි ටිකත් කෑවත් මහත් වෙනවා කියල කියන්නෙ.ඔවුන්ගේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් මේදය තියෙනවා. කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර කෑමට ගත්තම ඒව මේදය බවට පත් වෙලා සිරුරේ තැන්පත් වෙනවා.සාපේක්ෂව තරබාරු බව වැඩි නිසා මොවුන්ට දියවැඩියාව, රුධිර පීඩනය වගේ රෝග වැළදීමේ ප්‍රවණතාවය වැඩියි.මෙවැනි ශරීර හැඩයක් ඇති අයගේ උදර ප්‍රදේශය ද මේදය තැන්පත් වීම නිසා ඉදිරියට නෙරා එනවා.ආහාර රටාව මෙන් ම මානසික ආතතියත් ඒ සඳහා බලපානවා. ඔවුන් තම ශරීර හැඩය පවත්වා ගැනීම සඳහා මානසික ආතතිය අඩු කර ගැනීමත් පිටි, තෙල් සහ සීනි සහිත ආහාර භාවිතයෙන් වැළකීමත් කළ යුතුයි.
දෙවැනි ශරීර හැඩය තමයි Mesomorph.මධ්‍යස්ථ ශරීරයක් තමයි මේ අයට තියෙන්නේ. උකුල සහ කලවා ප්‍රදේශය තරමක් මහතයි. මෙම ශරීර හැඩය තියෙන අය වාසනාවන්තයි කියල කියන්න එක් හේතුවක් තමයි මේ අයට ටිකක් වැඩිපුර කෑම ගන්න පුළුවන් වීම. ඔවුන්ගේ ශරීරයේ මේදය දහනය වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා මේ වගේ ශරීර හැඩයක් තියෙන අයට ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන් වගේම තමන්ට ඕන නම් ඉක්මනට මහත් වෙන්නත් පුළුවන්. මේ හැඩය සහිත සිරුරක් හිමි නම් ඔබ කෑම පිගාන කොටස් තුනකට බෙදා ගන්න.එක කොටසකට එළවළු සහ පළතුරුත් තවත් කොටසකට කාබෝහයිඩ්‍රේට් සහ සත්ව ආහාරත් අනෙක් කොටස ශරීරයට හිතකර මේද සහිත ආහාරත් එක් කරගන්න. ඒ වගේම සතියට දවස් පහක්වත් ව්‍යායාම් කිරීමත් වැදගත්.මොවුන්ගෙන් දකින්න පුළුවන් තව ලක්ෂණයක් තමයි ව්‍යායාම නැවැත්තුවූ විට කෙට්ටු වීම.
සමහර අයව අපි දැකලා තියෙනව හුඟක් කෙට්ටුයි. එම ශරීර හැඩය තමයි Ectomorph.පළල් නොවූ උරහිස්, සිහින් ඉඟ සහ උකුලකින් සමන්විත මොවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය හුඟාක් වැඩියි. යම් දෙයක් ආහාරයට ගත් විට ඉක්මනට දහනය වන අතර මොවුන් නිතරම කියන දෙයක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියලා. මෙවැනි අයගේ ශරීරයේ තෙල් ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔවුන් වැඩිපුර කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේද සහිත ආහාර ගන්න ඕනේ.
තරබාරුව කියන්නෙ වර්තමානයේ බොහෝ දෙනෙක්ට තියන ගැටලුවක්. මූලිකව ශරීරයේ හැඩය හඳුනා ගැනීමෙන් අනතුරුව ආහාර පාලනයකට යාම අතිශය වැදගත්. ඒ සඳහා පෝෂණවේදියෙක්ගෙ උපදෙස් ලබා ගන්නවා නම් ගොඩක් හොඳයි. මේ හැම ශරීර හැඩයේ කෙනෙකුටම ව්‍යායාම අත්‍යවශ්‍යයි. ශරීරය ලස්සන වුණාම තමයි ඇඳුමක් ඇන්දත් හැඩට පේන්නේ. කාන්තාවන් ලෙස වෙළදපළේ තියන උපක්‍රම භාවිත කරල තමන්ගෙ ශරීරයේ සමහර අඩුපාඩු වහගෙන තමයි ඇඳුමක් අඳින්න ඕනේ. රූපලාවණ සඳහා විතරක් නෙවෙයි ලෙඩ රෝග නැතිව නීරෝගීව ඉන්නත් ශරීරයේ හැඩය නිවැරැදිව පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා.