විවාහය කියන්නෙ කිතුනු ජීවිතයේ සුවිශේෂී සක්‍රමේන්තුවක් | සිළුමිණ

විවාහය කියන්නෙ කිතුනු ජීවිතයේ සුවිශේෂී සක්‍රමේන්තුවක්

පවුල් සංස්ථාව ලෞකිකත්වයට පමණක් සීමා කළ නොහැකිය. පවුලක් ලෙස ශක්තිමත්ව ගොඩ නැඟීමට මෙන් ම, සිය යුතුකම් හා වගකීම් නිවැරැදිව ඉටු කරමින් ශුද්ධ වූ ජීවිතයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් ද කිතුනුවා නිරන්තර අවධානය යොමු කළ යුතු ය

 

කිතුනු දර්ශනය තුළ, කිතුනු දහම තුළ විවාහය යන සංකල්පයට ලබා දී ඇත්තේ ඉතා සුවිශේෂී ස්ථානයකි. කිතු දහමට අනුව සියල්ලෙහි පදනම වන්නේ පවුලයි. එමෙන් ම ලෝකයේ බරපතල ම වගකීම පැවරෙන්නේ අඹුසැමියන්ට, නැතහොත් පවුලක මව හා පියාට බව කිතු දහම පවසයි. මෙලොව බිහිවන ඕනෑ ම පුද්ගලයකුගේ යහපත් බව හෝ අයහපත් බව තීරණය කරන්නේ ඔහුගේ හෝ ඇයගේ පවුලෙන් ලබාදෙන හොඳ හෝ නරක වන බව පැවසුවහොත් නිවැරදි ය. මේ නිසා ම කිතුදහම තුළ විවාහය පිළිබඳව ඉදිරිපත් කරන අදහස් සම්බන්ධව පාඨක ඔබ දැනුවත් කිරීම වෙනුවෙන් අපි ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා සමඟ සාකච්ඡා කළෙමු.

 

" ශුද්ධ වූ බයිබලයේ උප්පත්ති පොතේ මැවීමේ කතාවේ සඳහන් වෙන විදියට දෙවියන් වහන්සේ ලෝකය ඇතුළු සියල්ල මවා, අවසානයේ දී උන්වහන්සේගේ ම ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවීමට කටයුතු කළා. ඒ වගේ ම උන්වහන්සේ 'මිනිසා තනිව නොසිටිය යුතුයි' කියමින් පිරිමියාගේ ඉළ ඇටයෙන් ගැහැනිය මැවූ බවත් සඳහන් වෙනවා. එහි වචනාර්ථය හෝ විද්‍යාත්මක භාවය කුමක් වුණත්, කිතු දහම තුළ දී එයින් අපට ඒත්තු ගන්වන්නට උත්සාහ ගන්නේ මිනිසත් බව සහ ස්ත්‍රී පුරුෂ බැඳීම කොයිතරම් උතුම් ද කියන කරුණයි. අපි එකිනෙකාට කොතරම් ගරු කළ යුතුයි ද කියන අවබෝධය මෙයින් අපට උගන්වන්නට උත්සාහ කරනවා.

කිතු දහම තුළ විවාහය කියන්නේ ඉතා ගැඹුරු මාතෘකාවක්. කිතුනුවකුගේ ජීවිතයේ සක්‍රමේන්තු, නැතිනම් විශේෂ අවස්ථා හතක් තිබෙනවා. ඒ අතරින් ඉතා සුවිශේෂී සක්‍රමේන්තුවක් විදියට විවාහය හඳුන්වා දෙන්න පුළුවන්. එය අප ආශිර්වාදකාර බන්ධනය විදියටත් හඳුන්වනවා. ඒ වගේම විවාහය කියන්නෙ ඉතා බරපතළ වගකීමක්. කතෝලික සභාව තුළ විවාහය ශුද්ධ වූ සංකල්පයක් හැටියට දක්වා තිබෙන බවත් පැවසිය යුතු ම කරුණක්. " යනුවෙන් ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා අදහස් දැක්වීම ආරම්භ කළේය.

කිතුනු සංකල්පය තුළ 'පවුල' යන සංකල්පය ට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. ජුසේතුමා, මරියතුමිය සහ ජේසු සමිඳාණන් සමගින් ගොඩනැඟෙන ශුද්ධ වූ පවුල තුළින් නිරූපණය කෙරෙන්නේ පවුල යන සංකල්පයේ ඇති සුවිශේෂත්වය යි. එම නිසා ම පවුල් සංස්ථාව ලෞකිකත්වයට පමණක් සීමා කළ නොහැකිය. පවුලක් ලෙස ශක්තිමත්ව ගොඩ නැඟීමට මෙන් ම, සිය යුතුකම් හා වගකීම් නිවැරැදිව ඉටු කරමින් ශුද්ධ වූ ජීවිතයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් ද කිතුනුවා නිරන්තර අවධානය යොමු කළ යුතු ය.

"විවාහය කියන සංකල්පය සමඟ තිබෙන ආගමික සම්බන්ධය නිසා ම ආගමානුකූලව වගේ ම නීත්‍යානුකූලවත් විවාහයක් සිදු කිරීමේ පූර්ණ අයිතිය සහ බලතල කිතුනු පියතුමන්ලාට ලබා දී තිබෙනවා. පල්ලියෙන් විවාහ වන විට යම් නීති මාලාවක් අනුගමනය කරන්න ඕනෙ. අද වෙනකොට මෙම ක්‍රියාවලිය දැඩි ආධ්‍යාත්මික සංකල්පයක් කියන කරුණ ගොඩක් දෙනෙකුට අමතක වෙලා. එය නීතිමය කරුණක් විදියට පමණයි බොහෝ දෙනකුගෙ අවධානය යොමු වෙන්නෙ. ඒ වගේ ම අද බොහෝ දෙනා හිතන්නෙ විවාහ මංගලෝත්සවය අනිකාට දෙවැනි නොවන විදියට පැවැත්වීම ගැන සහ විලාසිතා ගැන පමණමයි. විවාහය තුළ පවතින ආගමික සංකල්පය ගැන කිසි කෙනෙකුගේ අවධානය යොමු වෙන්නෙ නැහැ. ඒ නිසා ම අද වෙනකොට විවාහයට අදාලව පල්ලියේ සිදුවෙන ආගමික කටයුත්තත් ඉතාමත් ලෞකික ක්‍රියාවලියක් පමණක්ම වෙලා. ඒ නිසා ම පල්ලියෙන් බඳින එක වියදම් අධික කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. පවතින සමාජ ක්‍රමයට අනුව විවාහය තරඟකාරී බව, මුදල සහ ලාභය කියන තැනට පමණක් ම ලඝු වී තිබෙන බව කණගාටුවෙන් වුණත් පැවසීමට සිදු වෙනවා. " යනුවෙන් ප්‍රනාන්දු පියතුමා නැවතත් අදහස් දැක්වූවේ ය.

" කතෝලික සභාව, විවාහ වීමට අපේක්ෂා කරන දරුවන් වෙනුවෙන් විශේෂ පන්ති මාලාවක් පවත්වනවා. එහි දී අපි විවාහයේ තිබෙන විශේෂත්වය, විවාහයේ තිබෙන වැදගත්කම, වගකීම්, ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියට යෑම වගේ පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් ඔවුන් දැනුම්වත් කරනවා. විවාහය කියන්නෙ දෙදෙනකුගෙ එක් වීමක්.

ඒ ගැන ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙන්නෙ 'ඒ දෙදෙනා දෙදෙනෙකු නොව, එක් අයකු වන්නේය' කියලයි. විවාහයකදි 'මම' කියන සංකල්පය නැතිවෙලා 'අපි' කියන සංකල්පය ඉස්මතු වෙනව. විවාහයෙන් පස්සෙ සැමියා බිරිය කියන දෙදෙනා ම සමාන වගකීම් දරන පුද්ගලයන් බවට පත්වෙනවා. 'සැමියා බිරියට වඩා උසස්', 'බිරිය හැමවිට ම සැමියාට යටත් විය යුතුයි' වගේ සාම්ප්‍රදායික මතවාදයන්ගෙන් අපි ඉවත් විය යුතුයි කියලයි මම නම් හිතන්නෙ. සාමාන්‍යයෙන් පවුලක් තුළ ස්වභාවයෙන් ම මවගේ කාර්යභාරය ටිකක් සංකීර්ණයි. නමුත් පවුලක් දියුණුවීමට නම් සැමියා සහ බිරිය කියන දෙදෙනාගේ ම කැපවීම සහ පවුල තුළ සමානාත්මතාව රැක ගැනීම ඉතා වැදගත්. විවාහයකදි එකතු වෙන්නෙ විවිධ අදහස් දරන දෙදෙනෙක්. ඒ නිසා ම අර්බුද, ගැටලු, ගැටුම් ඇති වීම සාමාන්‍යයයි. ප්‍රඥාවෙන් ඒ ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යෑම තමයි නියම පවුල් ජීවිතයක් ගත කරනවා කියන්නෙ. එවිටයි අපි බලාපොරොත්තු වෙන ප්‍රේමය, ආදරය පිරුණු පවුල් සංස්ථාවක් ගොඩනැඟෙන්නෙ. " පියතුමා තවදුරටත් අදහස් දැක්වූයේය.

" අද විවාහය කියන්නෙ නීතිමය බැඳීමක් පමණක් ම වෙලා. ඒ නිසා ම විවාහ ජීවිතය තුළ බලාපොරොත්තු වෙන ආදරය සහ ප්‍රේමය නැති වෙලා. ඉතා ම සුළු, සිල්ලර හේතු නිසා දික්කසාද වීමේ ප්‍රවණතාවක් ගොඩනැඟීම ඛේදජනක තත්ත්වයක්. මේ කාරණාව ගැන අපගේ වැඩිහිටියන්ගේ වගේම කතෝලික සභාවේත් අවධානය යොමුවිය යුතුයි.

මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මැදිහත් විය යුතුයි කියලයි මම හිතන්නෙ. අපේ තරුණ පරපුරට උපදේශනය කියන දේ ඉතාමත් අවශ්‍යයි.

ඒ වගේ ම පවුලක වටිනාම සම්පත තමයි දරුවන් කියන්නෙ. අපි සියලුම දේ කරන්නෙ දරුවන් වෙනුවෙන්. පවුලේ බිඳවැටීම, පවුල් ප්‍රශ්න වැඩිවීම නිසා අහිමි වෙන්නෙ අපේ දරුවන්ගේ සතුටයි. ඔවුන්ගෙ අනාගතයි. ඒ නිසා පවුල් ඒකකය තුළ තීරණ ගනිද්දි අපි දරුවන් ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි. ගොඩනඟාගත් පවුල් ජීවිතය සියලුම බාධක ජය ගනිමින්, ශක්තිමත්ව, ආදරය සහ ප්‍රේමය වැඩි කරගනිමින් පවත්වා ගෙන යාමට කිතුනුවෙක් විදියට වගේ ම මනුෂ්‍යත්වය අගය කරන කෙනෙක් විදියටත් වගබලා ගත යුතුයි."

Comments