ලංකාවෙන් ගියේ මගේ හොඳම කාලෙදි | සිළුමිණ

ලංකාවෙන් ගියේ මගේ හොඳම කාලෙදි

ඔහු විටෙක ගායකයෙකි. තවත් විටෙක සංගීත අධ්‍යක්ෂකවරයෙකි. ‘හද හඬවන්නෙපා සුදු කෙල්ලේ‘ ගීතය හරහා සුවහසක් ශ්‍රාවකයන් වසඟයට ගත් ඔහු නමින් සනත් උඩුගම නම් වෙයි. තවත් අයුරකින් හැඳින්වුවහොත් ඔහු ජනකාන්ත ගායන ශිල්පී නාමල් උඩුගමගේ සහෝදරයාද වෙයි. දිගු කලක සිට එක්සත් රාජධානියේ වාසය කරන ඔහු, පසුගිය දිනෙක තම මව්රටට පැමිණි මොහොතක කළ කතාබහයි මේ.

 

ලංකාවට ආවේ කොපමණ කාලයකින්ද?

මම ලංකාවට ආවෙ වසර දෙකකට පමණ පසුයි. කොවිඩ් ප්‍රශ්නය නිසා මට පහුගිය කාලෙ උවමනාව තිබුණත් එන්න නොහැකි වුණා. ගමේ පන්සල වන තලාතුඔය ශ්‍රී සුදර්ශනාරාමයේ මගේ වියදමින් සමාධි පිළිමයක් පසුගිය කාලෙ ඉදි කළා. එය ජනතාව සඳහා වැඳුම් පිදුම් කිරීමට විවෘත කිරීමත් මේ ගමනෙදි සිදු වුණා.

 

සංගීතය හෝ ගායනය කරන්නේ වෘත්තියක් වශයෙන් ද?

මම ලංකාවෙ ඉන්න කාලෙ ගායන ශිල්පියෙකු වශයෙනුත්, සංගීත ශිල්පියකු වශයෙනුත් අතිශය කාර්යබහුල වෙලා හිටියා. ඉතින් ඒ කාලෙ මං වෘත්තීය වශයෙන්ම සංගීතය තමයි කළේ. නමුත් පසුව විදෙස් රටක පදිංචියට යන්න සිදු වුණු නිසා එය වෙනස් වුණා. දැන් මම රැකියාවක් කරන අතර තමයි සංගීතය තුළ නියැළෙන්නේ.

 

ඔබ විදෙස් රටක පදිංචිය සඳහා පිටත් වෙන්නේ ජනප්‍රියත්වයේ සිටියදීයි. ඇයි රට දාලා යන්න හිතුණේ?

ඇත්තටම මට ඒ කාලෙ එළිමහන් ප්‍රසංග සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. අද වගේ නෙමෙයි එම අවදියේ ප්‍රසංග මීට වඩා පැවැත්වුණා. රසිකයන් පවා විශාල උනන්දුවකින් ඒවාට සහභාගී වුණා. නමුත් මට වසර ගණනාවකට පෙර එදා ඒ තීරණය ගන්න සිදු වුණේ පවුලක් ලෙස අපේ අනාගතය ගැන හිතලා. අද වෙනකොට මට හිතෙනවා එදා මං ගත්තු තීරණය හරි කියලා.

 

ඔබ ඒ රටේදී සංගීතයේ නියැළෙනවාද?

අපොයි ඔව්. එහෙදි රැකියාව සඳහා තමයි මුල් තැන දෙන්න වෙලා තිබෙන්නේ. ලංකාවෙ සිටියදී වගේ සංගීතය තුළ නියැළුණේ නැති වුණත්, සංගීතයවත් ගායනයවත් කිසිසේත්ම අතහැරලා නැහැ. අප ජීවත්වෙන රටේ ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් පවත්වන විවිධ උත්සව, ප්‍රසංග, සාදවලට මට ඇරයුම් ලැබෙන විදිහට ගායකයෙකු ලෙස සහභාගී වෙනවා. ඒ අතරම මගේ ගෙදර පොඩි ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. ඒ මගේ වැඩකටයුතු සඳහා පමණක්.

Comments