රේල් පීල්ලක පිපුණු සුන්දර මල අනූෂා සොනාලි | සිළුමිණ

රේල් පීල්ලක පිපුණු සුන්දර මල අනූෂා සොනාලි

නැඟී ආ නිළියක්දුක්බරව බැස ගියාය

 

අනුෂා සොනාලීට අවසානයේ තම ජීවිතය අතාරින්නට සිදුවිය. ඇය අප අතර නැති නිසා දැන් ඈ ගැන ගුණ ගායනා කිරීමෙන් පලක් නැත. ඈ ජීවත්ව සිටියදී ඈ ගැන නොබැලූ අප දැන් කුමක් කීවත් ඇයට ඒවා ඇසෙන්නේ පෙනෙන්නේ නැත. ඇගේ ඇසුර ලැබීමට හා ඈ සමඟ මිතුරු වීමට, කතා බහ කිරීමට බොහෝ අය උනන්දු වූ කාලයක් ඇයට තිබිණි. අවසානයේ ඒ බොහෝ අය ඇයව මඟහැර අහක බලාගත් කාලයක් ද උදා විය. මනුෂ්‍යයකුගේ ඉරණම එබඳු ය. ඇති වන සියල්ල නැති වී යා හැකි සත්‍යය එලෙස යැයි නිළියකගේ සැබෑ තත්ත්වය. අනූෂා සොනාලිගේ අකල් මරණය විසින් තවමත් ජීවත්ව සිටින අප තුළ උපදවන හැඟුම් අපමණ ය.

 

එම සිතිවිලි ද ‘සිනමාව‘ ගැන ය. ‘සිනමා සංස්කෘතිය‘ සහ එහි ‘නිළියන්ගේ ඉරණම‘ ගැන ය. නැඟී එන නිළියන්ගේ අවාසනාවන්ත බැසී යෑම් ගැන ය. සුමිත්‍රා පීරිස් වැනි, එච්. ඩී. ප්‍රේමරත්න වැනි ප්‍රවීණ සිනමා දැනවතුන්ගේ චිත්‍රපට ඔස්සේ තම රංගන ශක්‍යතා පෙන්වන්නට තරම් භාග්‍යවන්ත වූ ඇයට එම වටිනා වරම කළමනාකරණය කර ගන්නට බැරි වූයේ මන්ද? ඉතාම ඉහළ ප්‍රමිතියක වූ නිර්මාණ ඔස්සේ රංගනයට පිවිසෙන්නට හැකියාව සහ වාසනාව තිබුණු ඇයට එම උසස් ප්‍රමිතිය එතැනින් ඔබ්බට හසුරුවන්නට හැකි නොවන්නේ ඇයි?

සුමිත්‍රා පීරිස්ගේ “ගැහැනු ළමයි“ ටෙලි නාට්‍යය තුළින් පුංචි තිරයට පිවිසෙන ඇය මරියෝ ජයතුංගගේ “නිදි යහන කැලඹිණි“ තුළින් මහ තිරයට පිවිසුණාය. “ගැහැනු ළමයි“ සහ “නිදියහන කැලඹිණි“ යනු 18 හැවිරිදි යෞවනියකට මුහුණ දෙන්නට සිදුවන වෙනස් විදියේ රංගන අභියෝග දෙකකි.

රඟපෑම සහ ජීවත්වීම යනු කුමක්ද? කලාව සහ සැබෑව එකක්මද? තමා රඟපෑ යුතු චරිතය සහ තමාට උරුම සත්‍ය චරිතය යන දෙකොණ විලක්කුව මැද අනුෂා සොනාලි එලෙස උභතෝකෝටික වන්නට ඇත. “හඬන කිංකිණි“, “ලොකු දුව“, “වීසි දැල“ වැනි උසස් සිනමා අත්දැකීම් තුළින් රංගනයට ඇතුළු වන මේ ළාබාල නිළියට පසුව රඟපාන්නට ලැබෙන්නේ එබඳුම චිත්‍රපටවල නොවේ.

සළුපට අහසට, දරු උපත, මමත් ගැහැනියක් වැනි චිත්‍රපටවලට ඇය දායක වූවාය. ඒ චිත්‍රපටවල ප්‍රේක්ෂකාගාරයෙන් සහ විචාරකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මැද එහි රඟපෑ අනූෂා සොනාලි වැනි නවක නිළියන්ගේ ප්‍රතිරූපය ද ලියැවුණාය. සුන්දර වරද, වසන්තයේ කුණාටුවක්, ගිනිගත් හෝරාව, බව සසර වැනි චිත්‍රපටවල ද ඇයට රඟපාන්නට සිදු විය. නවක නිළියක තම රංගන විෂය තුළ ඉදිරියට ගමන් කරන විට වඩාත්ම බලපාන හේතු සාධකය වනුයේ ඇයට ලැබෙන රංගන අවස්ථාව බව ඇය දැන සිටියා දැයි නොදනිමු. නිළියක ලෙස ඇය ප්‍රතිරූපගත වනයේ ඇයව මෙහෙයවන අධ්‍යක්ෂවරුන්ගේ දක්ෂතාව සහ ඔවුන්ගේ සැබෑ පරමාර්ථ තුළ බව අනූෂා සොනාලි දැන සිටියා ද?

අනූෂා සොනාලිගේ ජීවිතය එක්තරා අයුරකින් ඛේදවාචකයකි. නැඟී එන නිළියට හිමි සම්මානය සිය දෝතින්ම තුරුලු කොට ගෙන තමා දෙසට එල්ල වන කැමරා රැසට අභිමානවත් සිනහවක් දී සිටින සේයාරුව ඇයගේ නිසල දේහය අසල තබා තිබිණි. මේ 18 හැවිරිදි ළාබාල ඇය නැඟී එන නිළිය ලෙස සම්මානනීය වූ මොහොත සමඟ රෝගී අසරණ හුදෙකලා කාන්තාවක ලෙස රෝද පුටුවක හිඳ පරාජිත බැල්මක් හෙළන මොහොත එකිනෙක ගැළපිය යුතු සේයාරූ දෙකකි.

ඇය නැඟි එන නිළිය වනුයේ එච්. ඩී. ප්‍රේමරත්න ගේ “වීසිදැල“ චිත්‍රපටයෙනි. එහි ඇය රඟපානුයේ ඩබ්ලිව්. ජයසිරි, රොබින් ප්‍රනාන්දු, ජැක්සන් ඇන්තනි, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල්, දයා අල්විස් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟිනි. එකල් හි ඇය 18 හැවිරිදිව සිටි ළාබාල යෞවනියක බව නැවත අප අවධාරණය කරනුයේ යමක් ගැඹුරින් සිතීම උදෙසාය. “කලාව සුරංගනා ලෝකයක් නොව අමු සොහොනක්“ බව ඇය තම සමීපතමයන්ට කියා ඇත. මායා ලෝකයක් සොහොනක් වන්නේත් ජීවිතය කියා දෙන උයනක් වන්නේත් අප එකිනෙකාගේ දැනුම් තේරුම්කම් අනුවය. සුමිත්‍රා පීරිස් වැනි දැනුවත් ගැහැනියකගේ අතේ එල්ලී රංගනයට ගොඩවන, එච්. ඩී. ප්‍රේමරත්නගේ දැනමුතුකම් අනුව රඟපා සම්මානනිය වන අනූෂා සොනාලිට කලාව අමු සොහොනක් වීම අහම්බයක් නොවේ. එය ඇය විසින් තෝරා බේරාගෙන සිය ජීවිතයට ළං කොටගත් මිනිසුන් පිරිමින් සහ ඔවුන් කළ කී දෑ මත තීන්දු වූවක් ලෙස සිතිය යුතුය.

අද ප්‍රබල තැනක පසුවන ඇයගේ අතීත ප්‍රේමවන්තයකු සිරබත් කෑ යුගයක ඇය සිරගෙදරට දිනපතාම බත් රැගෙන ගියාය. පසු කලක රෝද පුටුවේ සිටම ඈ ඔහුව අමතන විට දෛවයේ යම් හාස්කමක්දෝ එතුමා කාර්ය බහුලව සිටියේය. තම සුන්දර අතීත පෙම්වතිය රෝගීව තනි වී අසරණ වී සිටියදී ඇයට කතා කරන්නට තරම් ඔහු කාරුණික නොවූ බව ඇය කීවාය. එබඳු අතීත පෙම්වතුන්ගේ වර්තමාන හැසිරීම් ගැන ඇය නිතර තම සමීපතමයන් සමඟ කියා දුක් වූවාය. එම දුක්බර කතා සියල්ල අවසානයේ ඇය එම පෙම්වතුන් ද සමඟ සියල්ලන්ම අතැර ගියාය.

අනුෂා සොනාලිගේ අකල් මරණය අප සසඳන්නේ මහා දුක් කන්දරාවක් දරාගෙන තම රසිකාගාරය සනසනු පිණිස කැමරාවලට පමණක් සිනාසෙන නිළියන් බොහෝ දෙනෙකුගේ ජීවිතය සමඟය. එම ඇතැම් නිළියක ඉතා ඉහළ ප්‍රමිතියෙන් රංගන අවස්ථා ලබා රංගනයට පිවිස එකී නිළි වරම මැනවින් පවත්වා ගනු බැරිව පීඩා විඳිනු පෙනෙයි.

තම නිළිකම පවත්වා ගනු පිණිස චරිත හා නිර්මාණ තෝරා බේරාගෙන රඟපානු නොහැකිව අකමැත්තෙන් වුවද බාල වර්ගයේ නිර්මාණවලට තම සිරුර අලෙවි කරනු දැකිය හැකිය. අතිදක්ෂ නිළියක අතිශය පහත් ගණයේ නිර්මාණයකට තම සිරුර පාවා දෙනු පෙනේ. අනූෂා සොනාලිට ද එසේ සිදු විය.

චිත්‍රපටයෙන් පිටත සැබෑ ලෝකයේදී ද ළාබාල නිළියකට එම තෝරා බේරා ගැනීම් තම සිතට එකඟව ස්වාධීනව සිදු කළ නොහැකි අවස්ථා බහුලය.

ජීවිතය එක් වරක් වැරදී ගිය පසු එම වරද නිවැරදි කර ගැනීමට අපට ආපසු හැරී උඩුගං බලා පිහිනිය නොහැකි වනු ඇත. කලාව සුරංගනා ලෝකයක් නොව අමු සොහොනකැයි ඇය පැසුවේ එබැවිනි.

වීසිදැල චිත්‍රපටයේ රඟපාන විට මේ ළාබාල නිළිය ඈ සමඟ රඟපෑ ජ්‍යෙෂ්ඨ නළු ඩබ්ලිව්. ජයසිරිගෙන් ඔහු ඇය ගැන සිතන්නේ කුමක්දැයි ඇසුවාය. එකල ඇයගේ ඇවතුම් පැවතුම් අනුව ඔහු ඇයව දුටුවේ රේල් පීල්ලක පිපුණු මලක් සේය. ඔහු ඒ බව ඇයට කී නමුත් ඇයට එය වැටහුණේ නැතැයි ඩබ්ලිව්. ජයසිරි රංගවේදියා කියයි.

Comments