මම රඟපාන්න කෑදර නළුවෙක් | සිළුමිණ

මම රඟපාන්න කෑදර නළුවෙක්

මම නොමිලේ රඟපාන්න යන්නේ නැහැ; මට මිලක් මම නියම කරනවා

"මම නෙවෙයි" චිත්‍රපටයේ රූපගත කිරීම් ක්‍රියාවලිය ලෙහෙසි පහසු වුණේ නැහැ. රට වටේම ට්‍රැවල් කරන්න වුණු චිත්‍රපටයක්.

සංජිව උපේන්ද්‍ර කියන්නේ වේදිකාවෙන් බිහිවුණු තවත් අති දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. දශක තුනක කාලයක් වේදිකාවේ සැරිසරමින් අධ්‍යක්ෂවරයකු ලෙස, නළුවකු ලෙසත් වේදිකාවේ සේම පුංචි තිරයේ සහ රිදී තිරයේත් ඔහුගේ රූපණ කාර්යන් අපිට සමීප වුණු අවස්ථා බොහොමයි. ඒ සියල්ල

සැකෙවින් කතාබහ කරමින් සංජිව සමඟ කළ කෙටි කතාබහක් මේ....

චරිත බාර ගන්නේ මොන වගේ නිර්ණායක එක්ක ද?

කවුරු හෝ අධ්‍යක්ෂවරයෙක් ගෞරවනීය විදියට මාව තෝරා ගන්නවා. නමුත් මම එයත් එක්ක කතා කරලා ඒ චරිතය මට කොයිතරම් දුරට සුදුසුද කියලා බලනවා. ඒ වගේම ඒ චරිතය නිර්මාණයට කොයි තරම් ලොකු බලපෑමක් කරනවද කියන එක. ඒකට චරිතය ලොකු ද පොඩිද කියන එක අදාළ නැහැ. ඒ වගේම මට කරන්න අපහසු දේවල් තියෙන චරිත මම බාරගන්නේ නැහැ. ඒකට උදාහරණයක් තමයි මට ගස් නඟින්න බැහැ, ඒ නිසා එවැනි චරිත මම බාරගන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි හොඳ ගුණාත්මක චරිතයක් ලැබුණොත් ඒක අතහරින්න උත්සාහ කරන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ මට අවශ්‍ය මිලක් තිබුණත් ඒ නාට්‍යය ගුණාත්මක හොඳ චරිතයක් නම් කොයි වෙලාවකවත් ඒක මගහැර ගන්නේ නැහැ. ඒ වගේ දේවල් එක්ක චරිත තෝරාගෙන බේරා ගෙන කරනවා. එහෙම නැතුව මම නැතුව ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් චරිත නම් බාර ගන්නේ නැහැ. මම කොයිම වෙලාවකවත් මගේ ගැන අධි තක්සේරුවක ඉන්නේ නැහැ. නමුත් මම උත්සාහ කරනවා ගුණාත්මක අතින් උසස් නිර්මාණ කරන්න.

 

ඔබත් වේදිකාවෙන් උපන් විශිෂ්ට රංගන ශිල්පියෙක්, ඒ නිසා වේදිකාව ගැන කතා නොකරම බැහැ

මට අවුරුදු 15දී මම නාට්‍යය කලාවට එන්නේ. මම කලාව ආරම්භ කරන්නේ 1990 වසරේ දී. ඒ වෙද්දී නොකඩවා දශක තුනක් තිස්සේ වේදිකා නාට්‍යය කලාව එක්ක බැඳිලා ඉන්න කෙනෙක්. වේදිකාව කියන්නේ දැන් මට මගේ ජිවිතේ වගේ. වේදිකාව නැත්නම් හුස්ම ගන්න පවා අපහසුයි වගේ මට දැනෙන්නේ. ඒ නිසා මගේ අවසන් හුස්ම පොද යනතුරුම මම වේදිකාව එක්ක ගනුදෙනු කරාවි. මේ දශක තුනක කාලය තුළ විවිධ මිනිස්සු එක්ක විවිධ සාහිත්‍ය කෘති ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. පරිවර්තන නාට්‍යය ගොඩක් ඇසුරු කරන්න ලැබුණා. ඒ තුළින් අත්දැකීම් ලැබුවා වගේම සම්මානයන්ට පාත්‍ර වෙන්න ලැබුණා. මේ දශක තුන ඇතුළත රාජ්‍ය නාට්‍යය උළෙලේ හොඳම නළුවා සම්මානය තුන් වතාවක් දිනා ගන්න හැකි වුණා. ඒ 2004 වසරේදී ‘කළු සමනල්ලු’ හා 2008 වසරේදී ‘ලී හාවි ඔස්වල්ඩ්’ කියන වේදිකා නාට්‍යට සහ 2019 දී ෆී‍ඩම්’ වේදිකා නාට්‍යය වෙනුවෙන්. ඊට අමතරව යෞවන සම්මාන උලෙළවලදි සම්මාන ලබනවා. වේදිකාව මම දකින්නේ නළුවෙක්ට නිළියෙක්ට හොඳ අධ්‍යාපනික පසුබිමක් ලබන්න පුළුවන් තැනක් විදියට.

 

අපි සිනමාව ගැනත් කතා කරොත්

මට සිනමාවේ අත්දැකීම් තියෙන්නේ ඉතා අඩුවෙන්. මොකද මම සිනමා කෘති රැසකට දායක වෙලා නැහැ. ප්‍රසන්න ජයකොඩිගේ "සංසාරයේ දඩයක්කාරයා". අනුරුද්ධ ජයසිංහගේ "ගින්නෙන් උපන් සීතල", විජිත ගුණරත්නගේ "වලා පටල", හේමන්ත ප්‍රසාද්ගේ "උළලේනි" සුජීව ප්‍රියාල්ගේ " සුපර්ණා" ඔය චිත්‍රපට තමයි මේ වෙද්දී තිරගත වෙලා තියෙන්නේ. තව එන්න තියෙන චිත්‍රපට කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි මොහොමඩ් සෆිර්ගේ "මම නෙවෙයි" කියන්නේ. ඒක තමයි මම අවසාන වශයෙන් දායක වුණු චිත්‍රපටය.

 

"මම නෙවෙයි" හි අත්දැකීම කොහොමද?

මෙහි සෆිර්ගේ සිතුවිල්ලේ ඉඳලම වෙනස් වුණු චිත්‍රපටයක්. ඔහුට අවශ්‍ය වුණේ මුලිකව චරිතවල දැනුම දුන්නට පස්සේ ඒ මොහොතේ එන ඇක්ට් එක විතරක් කැමරාවට හසුකර ගන්න. සෆීර් කියන්නේ මගේ දශක තුනේම හිටිය මිතුරෙක්. හැබැයි ඒ මිතුරුකම නෙවෙයි චරිතය දෙන්න හේතු වුණේ. ඔහු කිව්වෙම මට මේ චිත්‍රපටයට යකෙක් ඕනේ කියලා. ඒ නිසා තමයි රැවුල් වවලා කොණ්ඩේ වවලා මාව වෙනස් කරලා ගත්තේ. ඒ චිත්‍රපටයේ රූපගත කිරීම් ක්‍රියාවලිය ලෙහෙසි පහසු වුණේ නැහැ. රට වටේම ට්‍රැවල් කරන්න වුණු චිත්‍රපටයක්. ඒ නිසා මට ලැබුණු වෙනස් අත්දැකීමක් මගේ චිත්‍රපට කලාව තුළ.

 

ඔබ වෘත්තීය කලාකරුවෙක් ද කියලා ඇහුවොත්

වෘත්තීය කියන එක මම දෙකකට බෙදනවා. එකක් තමයි මම ජිවත් වීම සඳහා මගේ රස්සාව විදියට කරන එක එකක්. එහෙම ඇහුවොත් මගේ උත්තරේ ඔව්, මම නොමිලේ රඟපාන්න යන්නේ නැහැ. මට මිලක් මම නියම කරනවා. ඊළඟට මම වෘත්තීය විදියට අදහස් කරන්නේ මම චරිතයක් බාරගත්තට පස්සේ ඒ චරිතය කොයි තරම් වෘත්තීය මට්ටමින් කරනවා ද කියන එක. මෙතැනදී මම මුදල් ගැන නෙවෙයි කතා කරන්නේ. මට චරිතයක් ලැබුණාම කොයි තරම් මම කැපවෙනවා ද අධ්‍යයනය කරනවාද කියන එක පමණයි. එහෙම බැලුවත් ඔව්. මේක මගේ වෘත්තීය.

 

කලාකරුවෙක් වීම ගැන තෘප්තිමත් ද?

පැහැදිලිවම. ඔය ප්‍රශ්නය මම මගෙන්ම අහන ප්‍රශ්නයක්. ඇත්තටම මම කලාකරුවෙක් නොවුණානම් මොන වෘත්තියක් කරයිද කියන එක මම දන්නේ නැහැ. නමුත් මට හොඳටම විශ්වාසයක් තියෙනවා මම තෘප්තිමත් වෙන එකක් නැහැ මගේ ජිවිතේ ගැන. එතකොට මම මේ කලාව කරන්න ගැනීම ගැන මම තෘප්තිමත්. මට ඒ නිසා වඩා පහසුවෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. පහසුවෙන් මිනිස්සු හඳුනාගන්න පුළුවන්. ඒක මේ කලාව එක්ක ආව දෙයක්, ඒ නිසා කලාව තෝරා ගැනීම සහ කලාව තුළ මම කරපු දේවල් ගැන මම තෘප්තිමත්.

 

වේදිකා නාට්‍ය ඔබ අධ්‍යක්ෂණය කරලා තියෙනවා, ටෙලි නිර්මාණයක් හෝ සිනමා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

කෙටි ම උත්තරේ තමයි නැහැ කියන එක. ඒක විග්‍රහ කරනවා නම් මම රඟපාන්න කෑදර නළුවෙක්. ඒ නිසා මගේ විෂය වෙන්නේ රංගනය. වේදිකා නාට්‍යය ඇතුළේ නිර්මාණයක් කරන්නේ මගේ යාවත්කාලීන වීම සඳහා පමණයි කරන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් ටෙලි නිර්මාණයක් හෝ සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරනවා කියන එක මගේ ඇඟ ඇතුළේ නැහැ. ඉස්සරහට කොහොම වෙයිද කියන්න නම් දන්නේ නැහැ මේ වෙනකම් අධ්‍යක්ෂණය කරන්න මට අවශ්‍ය නැහැ.

ඡායාරූප- තිලක් පෙරේරා

Comments