මගේ තරගය තියෙන්නේ මගේ ම ඊයේ දවස එක්ක | Page 2 | සිළුමිණ

මගේ තරගය තියෙන්නේ මගේ ම ඊයේ දවස එක්ක

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරියට හිමි සම්මානය සහ ගෝලීය ඩිජිටල් ගුරු විශිෂ්ටතා යන සම්මානද්විත්වයට හිමිකම් කියූ නිලූ ආනන්දප්පා

 

ආසියානු පර්යේෂණ කේන්ද්‍රය විසින් පිරිනැමූ 2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරුවරියට හිමි සම්මානය සහ ගෝලීය ඩිජිටල් විශිෂ්ටතා ආයතනය මඟින් බලගැන්වෙන ගෝලීය ඩිජිටල් ගුරු විශිෂ්ටතා යන සම්මානද්විත්වයට හිමිකම් කියූයේ නිලූ ආනන්දප්පා ය. ගුරු වෘත්තියට අභිමානයක් එක්කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයටද ගෙන ගිය නිලූ ආනන්දප්පා සමඟ කළ කෙටි කතාබහකි මේ.

 

නිලූ ආනන්දප්පාගේ පියා බැංකු නිලධාරියෙකි; අම්මා ගෘහණියකි. ඇය පවුලේ එකම දරුවාය. ඇයට වයස අවුරුදු 11 සහ 12 දරුවන් දෙදෙනෙක් සිටියි.ඇය ඉගෙන ගත්තේ මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ය. ඇය කුඩා කල ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් නොවුණත් අභියෝගවලට මුහුණදීමේ ලොකු අභිලාෂයක් තිබිණි.

 

 

ගුරු වෘත්තිය තෝරා ගන්න හිතුණේ ඇයි

මට ගුරුවරයකු වීමට අවශ්‍ය වූයේ ප්‍රධාන වශයෙන්ම ගුරු වෘත්තිය වෙනත් ඕනෑම වෘත්තීන් සඳහා ප්‍රධාන මූලාරම්භය වන බැවින්. එයට වෙනත් ක්ෂේත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඇති අතර එය ඉහළ ආශිර්වාදයක් ඇති කාර්යයක් වන නිසා.

 

දැන් උගන්වන පාසල

මීගමුව ‘නයිස්’ ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික අංශයේ පන්තිභාර ගුරුවරියක සහ විෂයය ගුරුවරියක ලෙස කටයුතු කරනවා.

 

ගුරුවරියක් වීම දක්වා ආ ගමන් මඟ කෙටියෙන් මතක් කළොත්

පාසල් අධ්‍යාපනයෙන් පසු ගුරුවරියක් වීමට මගේ සියලු සුදුසුකම් සම්පූර්ණ කළා. මට ඒ වෙනුවෙන් ගුරුහරුකම් දුන් සියලුම කථිකාචාර්යවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. මම දැන් NICE ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික පන්ති ගුරුවරයෙකු සහ විෂය භාර ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. මීට පෙර තවත් ජාත්‍යන්තර පාසල් දෙකක ඉගැන්වීම් කටයුතු කළා. NICE ජාත්‍යන්තර පාසල මම දකින්නේ මගේ දෙවන නිවෙස විදියට. NICE ජාත්‍යන්තර පාසලේ හි වෙනසට මම කැමතියි. අපේ අධ්‍යාපන ක්‍රමයේ බොහෝ පාසල්වල දැන් අපේ දරුවන් විශාල පොත් මිටියකට හෝ ආතති සහගත විෂය මාලාවකට පමණක් කොටු වී නැති නිසා වාර විභාග සඳහා කාලය පැමිණි විට බොහෝ දෙමාපියන් මානසික අවපීඩනයට පත් වන බව අපි දකිනවා. අපේ දරුවෝ අපේ අනාගත පරපුර රටේ අභිමානය පොතපතෙන් පමණක් නොව ආකල්ප, මනුෂ්‍යත්වය සහ තවත් බොහෝ දේවලින් අධ්‍යාපනය ලැබිය යුතුයි කියන දේ මම තරයේ විශ්වාස කරනවා.

 

අංශයේ පන්තිභාර ගුරුවරියක් වීම කෙනෙක් කියන්න පුළුවන් පහසුයි කියලා, ඇත්තටම පහසුද?

ප්‍රාථමික පන්ති ගුරුවරයෙක් වීම ගැන අද සමාජය ඔවුන් සිතන පරිදි එය ඉතා පහසු කාර්යයක් විදියට දකින්න පුළුවන්. නමුත් එය කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. මොකද ප්‍රාථමික පන්තියක කුඩා දරුවකු හැඩගැන්වීම දුෂ්කරම කාර්යය වන්නේ දෙමව්පියන්ට වඩා දරුවා ගුරුවරයා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගන්නා නිසාත් ගුරුවරයා වැරැද්දක් කළහොත් දරුවා එය නැවත නැවතත් කරන නිසාත්. ප්‍රාථමික පන්තිවල ගුරුවරයකු වීම සමාජය සිතන තරම් පහසු නැහැ.

 

ඔබ 2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරුවරියට හිමි සම්මානය සහ ගෝලීය ඩිජිටල් විශිෂ්ටතා ආයතනය මඟින් බලගැන්වෙන ගෝලීය ඩිජිටල් ගුරු විශිෂ්ටතා සම්මාන වලට ඔබ උරුමකම් කියනවා, ඒ ගැන කතා කළොත්

මගේ සම්මාන ගැන කතා කළොත් මම ලෝක පර්යේෂණ සම්මේලනයෙන් පිළිගත් ජාත්‍යන්තර සම්මානලාභියෙක් සහ එයට සහභාගී වී රාජකීය ගෞරවයෙන් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා. නමුත් මෙම සම්මාන මගේ පමණක් නොවේ, එය අප කවුරුත් දන්නා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් වන අප සැම ලැබූ ජයග්‍රහණයක්. ඒ නිසා මට ලැබුණු සියලුම සම්මාන අපි හැමෝටම අයිතියි. සියලුම සම්මාන සහ පිළිගැනීම්වලට වඩා මට වැදගත් වන්නේ ව්‍යාපෘති පාදක ඉගෙනීමේදී මම බොහෝ අංශ පිළිබඳව බොහෝ දේ ඉගෙන ගෙන තිබීම. සෑම දෙයක්ම සංකීර්ණ වන අතර අධ්‍යාපනය ද සංකීර්ණයි. සෑම දරුවකුම තමන්ගේම ආකාරයෙන් අද්විතීයයි, එකම දෙය ගුරුවරයා දරුවා කපා ඔප දැමීම සහ නිවැරදි මාර්ගය සොයා ගැනීමට උපකාර කිරීම.

සමහර ගුරුවරුන්ට දරුවා හරි හැටි හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි ගුරුවරුන් සෑම විටම ඒ දරුවන්ට දුර්වලයි කියන වචනය ගෙන එනවා. නමුත් කොතරම් සුදුසුකම් තිබුණත් දරුවා හඳුනා ගැනීමට හැකියාවක් නොමැති නම්, ඒ ප්‍රශ්නය ළමයින්ගේ නෙවෙයි. සෑම කෙනෙකුටම ගුරුවරයකු වීමේ විභාග සමත් විය හැකියි; නමුත් සෑම කෙනෙකුටම නිර්මාණශීලී ගුරුවරයකු විය නොහැකියි.

 

ඔබ හිතන විදියට තාක්ෂණය කොයි විදියටද අපේ අධ්‍ය­ාපනයට තවත් එකතු විය යුත්තේ

තාක්ෂණය අද දරුවන්ට විශාල අත්වැලක් වී, එක් පැත්තකින් එය හොඳ වන අතර අනෙක් පැත්තෙන් එය අනතුරක්. ආදරණීය දෙමවුපියන්ට මම කියන්න කැමතියි ඔබේ දරුවාට හැමවිටම ඔබ හොඳම මිතුරකු වන්න. ඔවුන් ගොඩනඟා ගත් යහපත් ආකල්ප ඔවුන් ජීවිතයේ කිසිදා අසාර්ථක නොවන පරිදි හරි දේ වැරදි දේ තෝරා ගැනීමට ඔවුන්ට උගන්වන්න. මනුෂ්‍යත්වයේ යහපත් ආකල්පවලින් ඒවා ගොඩනඟන්න. ඔවුන්ට ජීවිතයක වටිනාකම කියා දෙන්න. ඒ වගේම මගේ හිතවත් ගුරුවරුන්ට මම හැමවෙලාවෙම කියන්නේ අපගේ යුතුකම වන්නේ විශාල විෂයමාලා සම්පූර්ණ කිරීම පමණක් නොව, යහපත් ආකල්පවලින් පරිපූර්ණ ආත්මයක් නිර්මාණය කරවීම බවයි.

 

අවසාන වශයෙන් කියන්න යමක් ඇති

මම කියන්න කැමතියි මගේ තරගය තියෙන්නේ කාත් එක්කවත් නෙවෙයි. ඒ තරගය තියෙන්නේ මගේ ඊයේ දවස එක්ක. වෙනත් කිසිවකු මා දිරිමත් කරනු ඇතැයි මම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් මම මාවම දිරිමත් කරන බව විශ්වාසයි. ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර මිනිසුන් වෙසෙන සුන්දර රටක්. ඒ නිසා අපගේ මාතෘභුමිය ප්‍රගතිය කරා ගෙන යාමට අප එක්ව සිටිය යුතුම කාලයක්. මම හැමදාම විශ්වාස කරන දේ තමා රටක දිගුකාලීන සංවර්ධනයක් විය යුත්තේ අධ්‍යාපනයටයි. අප සැවොම ඒ සඳහා ක්‍රියා කළ යුතුමයි.

 

Comments