
දක්ෂ රංගන ශිල්පියකු මෙන්ම පිටපත් රචකයකු ද, අධ්‍යක්ෂවරයකු ද වන ගිරිරාජ් කෞශල්‍ය ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැනේ. ඒ එක්කම පසුගිය දිනවල අසනීපයෙන් පසුවුණු ගිරිරාජ් කෞශල්‍ය මේ වෙද්දී වෛද්‍ය ප්‍රතිකාර මතින් සුව අතට ඇවිත් නැවත රංගනයට එක් වූ පුවත සුවහසක් ප්‍රේක්ෂකයින්ට සතුට ගෙන දෙන කරුණක් ව තිබෙනවා. ඒ නිසාම රසඳුන අපි ගිරිරාජ් කෞශල්‍ය සමඟ කෙටි කතාබහක නිරත වුණා.
කොහොමද මේ දවස් වල දවස ගතවෙන්නේ
තවම මම ප්‍රතිකාර ලබමින් ඉන්නේ. මේ තියෙන අසනීප තත්ත්වය එක්ක ටික දවසක් රෝහලේ ගත කරනවා. ටික දවසක් ගෙදර ගත කරනවා. ඒක ඉතින් මාරුවෙන් මාරුවට ඔහොම යනවා. ඒ නිසා මේ ප්‍රතිකාර ඉවර වෙනකම් අලුත් දෙයක් හිතන්න කරන්න මනසට එච්චරම විවේකයක් නැහැ.
මාධ්‍යයෙන් විවිධ කතා පැතිරුණත් ඔබයි දන්නේ ඔබට ඇතිවුණු අසනීපය
මුලදී ලොකු අසනීපයක් මට දැන ගන්නට තිබුණෙ නෑ. බෙල්ලේ තද වේදනාවක් නැති කුඩා ගැටිති දෙකක් ආවා. ඒවා පෙන්වා ප්‍රතිකාර ගන්න ගියා. ඒ වෙනුවෙන් කරපු වෛද්‍ය පර්යේෂණ මත තමයි මට වෙනත් රෝගී තත්ත්වයක් ඇති බවට දැනගන්න ලැබුණේ. ඇත්තටම මගේ රෝගී තත්ත්වය හඳුනා ගත්තෙ අපේ පවුලේ වෛද්‍යවරයා වූ වාසුදේව මහතා, අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක, වෛද්‍ය සනත්, අපේක්ෂා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්, හෙද හෙදියන්ට, අනිකුත් මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා මාව සුවපත් කිරීමට කටයුතු කිරීම ගැන.
රෝගී තත්ත්වය දැන ගත්තාම හිතට දැනුණ දේ
මම හුඟක් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. තවත් කෙනෙකුගෙ මුහුණෙ සිනාවක් දකින්න මම හරි කැමතියි. නමුත් වෛද්‍ය පර්යේෂණ අනුව මගේ රෝගී තත්ත්වය තහවුරු වුණාම යම්කිසි සසල වීමක් ඇති නොවුණා නම් නොවෙයි. ඒත් ගෙදරට මම ඒ බව පෙන්නුවේ නැහැ. මට තියෙන්නේ බොහොම ශක්තිමත් පවුලක්. අපේ පවුලේ බැඳීම මට හැම මොහොතකම ලොකු සවියක් වුණා. අදටත් මගේ බිරිඳ මගේ දුවලා දෙන්න සහ බෑනලා දෙන්න මගේ ළඟින් ඉන්නවා.
නාඩගම්කාරයෝ එක්කයි නැවත රංගනයට එකතු වුණේ...
ඔව්. පුවත්පත් මඟින් නාඩගම්කාරයෝ සමඟ නැවත එකතුවීමේ පුවත ගියත්, තවම ඒ කොටස් විකාශය වුණේ නැති නිසා බොහෝ දෙනා අහන්නේ කවද්ද එන්නේ, මොන එපිසෝඩ් එකෙන් ද එන්නේ කියලා අහනවා. තව කොටසක් තියෙනවා එකෙත් රූගත කිරීම් කරන්න. ඒ ටිකත් රූපගත කරාට පස්සේ තමයි විකාශය වෙන්නේ. ඒ නිසා තව ටික දවසක් යයි නැවත නාඩගම්කාරයෝ තිරයෙන් දකින්න.
නැවත කුකුළා මුදලාලි වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ
මුලින්ම මම ඒ සඳහා ස්තුතිවන්ත වෙන්න ඕනෑ මාව බලපු විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක මහතාට. එතුමා තමයි මම නිර්දේශ කරන්නේ බොහොම ආරක්ෂා සහිතව විෂබිජ වලින් ආරක්ෂා වෙලා රූපගත කිරීම් කරලා එන්න කියලා. ඒ වගේම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂවරයාත්” චාමර සමරවික්‍රම නිෂ්පාදකවරයාත්” සද්ධාමංගල සුරියබණ්ඩාර පිටපත් රචකයාත් යන තිදෙනාටම අවශ්‍ය වෙනවා නාට්‍ය අවසාන කාලය වෙන්න කලින් කොහොම හරි මාව හිරෙන් නිදහස් කරලා ප්‍රේක්ෂකයන්ට නාට්‍ය හරහා මුණ ගස්වන්න. ඒ ගැන මගේ හිතෙත් ලොකු සතුටක් තිබුණා. විශේෂයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා මට පෞද්ගලිකව දුරකථනයට පවා කතා කරලා අහනවා කවද්ද නාඩගම්කාරයෝ දර්ශන තලයට එන්නේ කියලා. ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරයත් එක්කම කොහොම හරි මට වාසනාව ලැබුණ සම්පූර්ණ සුවය වෙන්නත් කලින් මේ ලැබුණ මඳ සුවයෙන් මට ඒ වගේ දෙයකට සහභාගි වෙන්න. මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා.
නාඩගම්කාරයෝට අමතරව අලුත් නිර්මාණ බාර ගත්තද?
අලුත් නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. පුබුදු චතුරංගගේ පළමු අධ්‍යක්ෂණය වන මායා ජාල චිත්‍රපටයටත් කතා කළා. ඒවා සාකච්ඡා මට්ටමේ පසුවෙන්නේ. මොකද මම තාම සර්ව සම්පුර්ණම නිරෝගීමත් පුද්ගලයෙක් නෙවෙයි. වෛද්‍ය උපදෙස් අනුව තමයි ඉදිරි කටයුතු තීරණය වෙන්නේ. වෛද්‍ය නිර්දේශය ලැබුණාම මටත් ශක්තිය තිබුණොත් ඒ වැඩ බාර අරගෙන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ප්‍රතිකාර කටයුතු අවසන් වෙනකම් දැනට මුකුත් බාර ගත්තේ නැහැ.
කතුරු මිතුරු" ඔබේ සිනමා නිර්මාණය, ලංකාවේ තිරගත වෙන්න කලින් විදෙස් තිරගත වීමක් වුණා, ආදායම් වාර්තා අලුත් කරපු නිර්මාණයක් වුණා. ලැබුණු ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම හරිම සතුටියි "කතුරු මිතුරු" ලබපු ඒ ප්‍රතිචාර ගැන. විදෙස් රටවල ඉන්න අපේම ශ්‍රීලාංකිකයන් තමයි මෙලෙස ආදායම් වාර්තා අලුත් කරමින් "කතුරු මිතුරු" බැලුවේ සහ ඒ අයගේ අවංක ප්‍රතිචාර දැක්වීම කළේ. මමවත් හිතුවේ නැහැ එහෙම ප්‍රතිචාර ලැබෙයි කියලා. ඒක සංවිධාන කරපු මාලක යාපා ඇතුළු කණ්ඩායම ඉතා හොඳින් ඒක සංවිධාන කරලා තිබුණා. ඒ නිසාම තමයි එවැනි ප්‍රතිචාර ලැබුවේ. චිත්‍රපටය බලපු අයත් ඒ සංවිධායක කණ්ඩායමට ස්තුතිවන්ත වෙලා තිබුණා "කතුරු මිතුරු" වගේ චිත්‍රපටයක් පෙන්වීමට සැලැස්වීම ගැන.
අවසානයේ කියන්න යමක් ඇති
මගේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක ඇතුළු අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබුණු වෙද හෙදකම් වගේම මට ආදරය කරන සාමාන්‍ය ප්‍රේක්ෂකයා මට ලබා දුන්නු ආශිර්වාද සහ සුව පතා සෙත් පැතීම් සහ විශේෂයෙන්ම මගේ ආදරණීය බිරිය සහ දරු දෙදෙනා සහ බෑනාවරුන් දෙදෙනා මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. මේ සියල්ලන්ගේම ආශිර්වාදය මට නොඅඩුව ලැබුණා සහ අදටත් ලැබෙනවා. මට ඉතින් කියන්න තියෙන්නේ ඒ හැමෝටම මමත් පෙරළා ආදරය කරනවා. ඒ ආදරය තමයි අපිව ජිවත් කරවන්නේ.