
උසස් පෙළට විද්‍යා විෂයයන් මාස කිහිපයක් කරලා පසුව සිංහල භාෂාවට තියෙන කැමැත්තට නැවත කලා විෂයයන් තෝරා ගත්තා...
ලොකු වුණා ම කවුද වෙන්න කැමති කියලා රචනාවක් ලියන්න කිව්වා ම මම ලිව්වේ ලේඛකයෙක් වෙනවා කියලා යි. හැමෝම වගේ දොස්තරලා, ගුරුවරු වෙනවා කියලා ලියලා තිබුණා. මම විතරයි එහෙම ලියලා තිබුණේ. මට මතකයි ගුරුවරියත් ඒ ගැන පුදුම වුණා...
තල්පාවිල විදාන කංකානම්ගේ ඔසන්ත නයනප්‍රිය නැතහොත් මහාචාර්ය ඔසන්ත නයනප්‍රිය තල්පාවිල කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ජීවිතයෙන් වැඩි කාලයක් කොළඹ ජීවත් වුණත් ගැමි ජීවන අත්දැකීම් ඔහුගේ සොඳුරු මතකයන් අතර සුවිශේෂ බව මේ කතාබහේදී අපට හෙළිදරව් විය.
“අපි ගමේ යනවා කියලා තවමත් යන්නේ තංගල්ලට යි. තාත්තා තල්පාවිල විදාන කංකානම්ගේ චන්ද්‍රප්‍රේම යි. අම්මා දයා සමරතුංග යි. ඇය ගෘහණියක් ලෙස අපි හැමෝ ම හොඳින් රැක බලා ගත්තා. අම්මා කොළඹ ඉපදී හැදී වැඩුණු කෙනෙක්. තාත්තාත් වැඩි කාලයක් රැකියාව නිසා ජීවත් වෙලා තියෙන්නේ කොළඹ යි.
මට ඉන්නේ එක අය්යා කෙනෙක් විතරයි. එයා තුෂන්ත කල්‍යාණප්‍රිය යි. අය්යා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හැටියට සේවය කරනවා. අපේ තාත්තාගේ දෙමව්පියන් මිය ගියාට පසු ව තාත්තාගේ අක්කායි, අය්යායි සිටින නිසා අපි තංගල්ලේ මහා ගෙදර ඉඳහිට ගිහින් එන්න යනවා. අපේ පරපුරේ සහෝදර සහෝදරියෝ තවමත් තංගල්ලේ ඉන්නවා. විශේෂයෙන් ම තාත්තාගේ අක්කාගේ පුතා දැනට විශ්‍රාමික ගුරුවරයෙක් ලෙස වලස්මුල්ලේ ජීවත් වෙනවා. ඔහු අපේ පරපුරේ තංගල්ලේ ඥාතීන් අතර වැඩිමල් සහෝදරයා යි.
අපි හැමෝම එක්ක ඔහු ඉතා සමීප යි. තාත්තාගේ අය්යාට දරුවෝ දහදෙනෙක් හිටියා. ඒ නෑදෑයෝ එක්ක ගත කරන ජීවිතය හරි ම විනෝද යි. ඒ විතරක් නෙවෙයි ඒ මහා ගෙදරට ගියා ම මම හරි ම ආස්වාදනීය වූ අමුතු සුවඳක් දැනෙනවා. ගැමි සුවඳ කියන්නේ ඒක වෙන්න ඇති. කෑම බෙදලා දුන්නත්, ගෙදර ඇතුළෙ වගේ ම එළිමහනෙත් ඒ සුවඳ මට දැනෙනවා. ආත්තම්මා, මුත්තා, නැන්දා, ලොකු තාත්තා අපට සංග්‍රහ කරනවා.
පරණ පළඟාන්වලට බත් බෙදලා, දකුණේ විදිහට මාළු ඇඹුල්තියල් එක්ක ගෙනත් දෙද්දී ඒ බත් පිඟානෙන් එන රසය, සුවඳ කොළඹදි වගේ ම වෙන කොහේදිවත් අපට කවදාවත් දැනිලා නැහැ. තංගල්ලේ යන්න කිට්ටු වෙද්දි තාත්තා වොරන්ට් බලපත්‍ර ලියාගෙන එනවා. ඒ නිසා ම අඩුගානේ සති දෙකකට කලින්වත් අපි දුම්රිය ගමන ගැන දැන ගන්නවා. සති දෙකක් තිස්සේ අපි දෙන්නා ගමේ යෑම දැන ගැනීමේ සතුට භුක්ති විඳිනවා. දුම්රියෙන් අපි කොළඹ ඉඳලා මාතරටත්, මාතර ඉඳලා කොළඹටත් නෑගම් ගියේ ඒ විදිහට යි. වෙරළ තීරය දිගේ මුහුද දකිමින් දුම්රියේ ගමන අය්යාටත්, මටත් සතුට ගෙන දෙන්නක් වුණා.
තංගල්ලේ තාත්තාගේ මහා ඉඩම පිටුපස මහා කැලයක් තිබුණා. අපි සහෝදර සහෝදරියෝ ඔක්කොම එකතු වෙලා ඒ කැලේට යනවා. හිඹුටු, මාදං වගේ පලතුරු ඇති තරම් ඒ කැලේ තිබුණා. අපට මුළු දවසක් වුණත් ඒ කැලේ ගත කරන්න පුළුවන් වුණා.
අපි හැමෝම නාන්න වැවට ගියා. වලස්මුල්ලේ නැන්දලාගේ ගෙදර ළිඳේ සීතල වතුර නාන්න මම හරි ම කැමතියි. කොළඹ ටැප් වතුර නාන අපට ඒ ළිඳේ නාන්න ලැබෙන සතුට කියා නිම කරන්න බැහැ. අද අපට මුත්තාගේ ගමට ගියා ම පේන්න තියෙන්නේ අක්කර කිහිපයක් පැවති මුත්තාගේ මහා ඉඩම අවට ප්‍රදේශ කොටස්වලට වෙන් වෙලා, ඒ ඒ තැන්වල ගෙවල් හැදිලා. කැලේ එළි කරලා. විදුලිය, ජලය ඇවිල්ලා. ඒ ගමේ හිටපු අක්කලා අය්යලා ගමෙන් ඉවත් වෙලා. සමහරු කොළඹ රැකියාවලට ඇවිල්ලා. සමහරු විවාහ වෙලා වෙන වෙන පළාත්වලට ගිහිල්ලා. ගමේ ගැමි ගතිය තුරන් වෙලා. එදා පොත් තිබුණු මේසය මතට අද ජංගම දුරකතන, පරිගණක ඇවිල්ලා. අතීතයේ කතා කළ මක්කැයි, කෑවැයි, ඔහේ වගේ වචන පවා අද දකුණු පළාතෙන් ඈත් වෙලා. අනන්‍යතාවක් නැති තරමට වෙනස් වෙලා. නගරයේ බස අද ගමට ගිහිල්ලා.”
සිය පියා රාජ්‍ය සේවයේ වැඩ කළ නිසා ස්ථාන මාරු ලැබෙද්දි දරුපවුලටත් ස්ථාන මාරු වන්නට සිදුවිය. වසර හයක කාලයක් මොණරාගල කච්චේරියට අයත් නිල නිවාසයක ජීවත් වූ ඔවුන්ට තවත් අලුත් දැකීම් රැසක් එහිදී එකතු විය.
“දුෂ්කර පළාතක සේවය කිරීම අනිවාර්ය වෙලා තිබුණු නිසා තාත්තාට මොණරාගලට යන්න සිදු වුණා. වසර හයක් එහේ හිටියා. අපි කච්චේරියේ නැවතිලා හිටිය නිවසේ තවත් දුර පළාත්වල කිහිපදෙනෙක් නැවතිලා හිටියා. හැමෝගෙම ආදරය මට ලැබුණා. මම කවදාවත් පෙර පාසලකට ගියේ නැහැ. අය්යා ලියන කියන දේ බලාගෙන මමත් ඒවා කළා කියලා තාත්තා කියනවා. තාත්තා ඉස්සර මිහිර පත්තරය අපට ගෙනත් දුන්නා. ‘හුන්නස්ගිරි කඳු පාමුල’ කියලා ඒකේ කතාවක් ගියා. අම්මා ඒ කතාව මට ඇහෙන්න කියවනවා. අම්මා උදේ පාන්දර හැමෝට ම කෑම උයන නිසා දවල්ට මාත් එක්ක වැඩි කාලයක් ගත කරන්න වෙලාව ඇයට ඉතුරු වුණා.
අපි හිටිය ඒ ගෙදර ඉස්සරහ ලොකු කෝන් ගහක් තිබුණා. අපි සෙල්ලම් කළේ ඒ කෝන් ගහ යට ඉඳලා යි. මෑතකදි මම මොණරාගල ගිය වෙලාවක ඒ ගෙදර බලන්න ගිහින් ආවා.
ඒ කෝන් ගහ තවම තියෙනවා. තාත්තා මොණරාගල දුෂ්කර සේවා කාලය අවසන් වෙනවාත් එක්ක ම අය්යා එහෙදී ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වුණා. අය්යාට කොළඹ එන්නත්, තාත්තාට නව සේවා ස්ථානයකට මාරු වීමටත් කාලය එළඹුණා. මගේ පාසල් ගමන ආරම්භ වීමටත් නියමිත වුණා. තාත්තා අපි හැමෝම එක්ක මොණරාගලින් පානදුරයට ආවා. අම්මාගේ ඥාතින් පානදුරේ හිටියා. ගල්කිස්ස හේනපාර විද්‍යාලයට මාව ඇතුළත් කළා. ලලිත් ඇතුළත්මුදලි පාසල ලෙස එය දැන් හඳුන්වනවා. පසුව ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ගියා. පාසල් ජීවිතය නිම කරන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනුයි. උසස් පෙළට විද්‍යා විෂයයන් මාස කිහිපයක් කරලා පසුව සිංහල භාෂාවට තියෙන කැමැත්තට නැවත කලා විෂයයන් තෝරා ගත්තා.”
පාසල් කාලයේ ඔහු අකැමති ම වූයේ මොනවාටදැයි ඇසුවොත් ඔහු එකවර ම පිළිතුරු දෙන්නේ ක්‍රීඩා කිරීමට අකැමති බව ය. ඔහු පාසල් කාලයේදී ඉතා ම සිහින් ශරීරයක් තිබූ අයෙකි. මලල ක්‍රීඩා කිහිපයකට සහභාගි වීමෙන් අතපය වැලමිට දණහිස් තුවාල වීම නිසා ක්‍රීඩාවට ඔහු තුළ වූයේ බියකි.
“ක්‍රීඩා නොකළාට මම සාහිත්‍ය වැඩ නම් පාසලේදි නොසෑහෙන්න කළා. ලොකු වුණා ම කවුද වෙන්න කැමති කියලා රචනාවක් ලියන්න කිව්වා ම මම ලිව්වේ ලේඛකයෙක් වෙනවා කියලා යි. හැමෝම වගේ දොස්තරලා, ගුරුවරු වෙනවා කියලා ලියලා තිබුණා. මම විතරයි එහෙම ලියලා තිබුණේ. මට මතකයි ගුරුවරියත් ඒ ගැන පුදුම වුණා. ඒ වගේ ම මගේ අම්මාගේ මල්ලි ඇස්. ඇම්. ඩී. සිරිසේන මගේ මාමා පුවත්පත් කලාවේදියෙක් නිසා මටත් ලිවීමේ කැමැත්ත වැඩි වුණා. රිවිරැස පුවත්පතේ සිරිල් ඒ. සීලවිමල මහතාව මට මාමා හඳුන්වා දුන්නා. නිදහස් ලේඛකයෙක් හැටියට මට ක්‍රීඩා තොරතුරු පුවත්පතට ලියන්න එයින් අවස්ථාව ලැබුණා. මම වසරක විතර කාලයක් රිවිරැස ක්‍රීඩා පිටුවට ලිව්වා. ඡායාරූප කලාවත් මම ඉගෙන ගත්තා.
තව පෞද්ගලික සඟරාවල ඡායාරූප ශිල්පියෙක් ලෙසත් කටයුතු කළා. සිනමා හා රූපවාහිනී පාඨමාලාවකුත් මම හැදෑරුවා. ඒ දේවල්වලට මම බොහෝ සේ ඇලුම් කළා. බාල දක්ෂයෙක් විදිහටත් මම කටයුතු කළා. එක අවස්ථාවක මම තවත් යාළුවෙක් එක්ක බාල දක්ෂයෙක් විදිහට වැඩ හොයාගෙන යද්දි අපට ගෙයක් හදන තැනක ගඩොල් ගොඩක් අදින්න දුන්නා. ඒ කාර්ය වෙනුවෙන් රුපියලක් වගේ ගාණක් අපි දෙන්නාට ලැබුණා.”
ඔහුගේ ජීවිතයේ රසවත් ම කාල පරිච්ඡේදය වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගෙවූ කාලය යි. එහිදී විවිධ කලා වැඩසටහන්වලට සම්බන්ධ වීමට ඔහුට අවකාශ උදා විය. කලා පීඨයේ අධ්‍යයන කටයුතු කළත් අනෙකුත් පීඨවල මිතුරු මිතුරියන් බොහෝමයක් ඇසුරු කරන්නටත් ඔහු අතපසු නොකළේ ය. විවිධ වැඩසටහන්, දේශන ආදියට ද ඔහු සහභාගි වූයේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැටියට ද කටයුතු කළේ ඔහු ය. ඒ නිසා ම විවිධ දේශපාලන වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කිරීමට ඔහුට හැකි විය. සරසවි ජීවිතයේ නිදහස භුක්ති විඳිමින් සැන්දෑ කළුවර ගලා හැලෙන තුරු ඇතැම් දිනවල එයින් පසුවත් සරසවි සගයින් සමග ආපන ශාලාවට වැදී විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා පැවැත්වූ ඔහු ජීවිතයට විශාල අත්දැකීමක් එමගින් එකතු කර ගත්තේ ය. විශ්වවිද්‍යාලයේ පළමු වසර අවසානයේදී ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව යන විෂයයන් තුන ම විශේෂවේදී උපාධියට සුදුසු මට්ටමට තිබූ නමුත් නාලන්දා විද්‍යාලයේ ඉගැන්වූ ගුරුවරියක් නිසා ඔහුගේ ගමන දේශපාලන විද්‍යාව දෙසට ඉලක්ක ගත වුණි.
“උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආව වෙලාවේ නාලන්දා විද්‍යාලයේදී මට දේශපාලන විද්‍යාව ඉගැන්වූ අජන්තා ඇලෙක්සැන්ඩ්‍රියා ගුරුතුමියට මම ප්‍රතිඵල කියන්න ගියා. ඒ වෙලාවේ එතුමිය මට කිව්වේ ‘අනේ පුතා ඔයා දේශපාලන විද්‍යාව විශේෂ උපාධියක් කරන්න...’ කියා යි. ඒ වචන මගේ හිතට තදින් කාවැදුණා. මම මොන අංශයෙන් ද ඉදිරියට යන්නේ කියලා ලොකු ඉලක්කයක් මට ඒ වනතුරු තිබුණේ නැහැ. එතුමිය දැන් පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ යි. මේ ළඟදිත් ලංකාවට ආව වෙලාවක මට ආරංචි වෙලා මම එතුමිය මුණගැසෙන්න ගියා.
එතුමියගේ වදන් නිසා මම දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධිය හැදෑරුවා. වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් දක්වා මා පැමිණි ගමනට ඒ ගුරුතුමියගේ අනාගත මග පෙන්වීම මහත් වූ ආශිර්වාදයක් වගේ ම ශක්තියක් වුණා. උපාධිය අවසන් කරලා විවිධ රැකියා සඳහා අයදුම්පත් යවමින් ඉන්න අතරේ කැලණිය විශ්වවිද්‍යාලයට තාවකාලික කථිකාචාර්යවරුන් බඳවා ගන්නා බවට දැන්වීමක් මගේ මිතුරියක් වන යමුනා මෙන්ඩිස් මහත්මිය දැකලා මට කතා කරලා ඒ ගැන කිව්වා.
අපි දෙන්නා ම ඒ තනතුරු සඳහා ඉල්ලුම් කළා. අපි දෙන්නා ව ම ඒ සඳහා තෝරා ගනු ලැබුවා. එතුමිය මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව අංශ ප්‍රධාන ලෙස කටයුතු කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හැත්තෑ ගණන් වෙද්දි අභාවයට ගොස් තිබිලා අලුතෙන් ආරම්භ කරලා තිබුණු කාලේ තමයි අපි එයට සම්බන්ධ වුණේ. එහි දෙවන වරට දේශපාලන විද්‍යාව විෂයය ආරම්භ කිරීමේ මුල් ගුරුවරුන් දෙදෙනාගෙන් කෙනෙක් බවට පත්වීමේ භාග්‍ය මට එයින් ලැබුණා. ඒ වෙලාවේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් තමයි දේශපාලන විද්‍යාව උපාධි පාඨමාලාවක් විදිහට පටන් ගත්තේ.
ඒ වර්ෂ 1996 දී යි. එතෙක් මෙතෙක් විශේෂවේදී ශිෂ්‍ය කණ්ඩායම් ගණනාවකට විෂය දැනුම ලබා දීමට මම වාසනාවන්ත වුණා. ඒ අයගෙන් සමහර අය අද ලංකාවේ විවිධ උසස් තනතුරුවල කටයුතු කරනවා. තවත් අය විදේශ රටවල විවිධ උසස් නිලතල දරනවා.
ජාත්‍යන්තර අධ්‍යයන විෂයය ද ඒ දිනවල ම ආර්ථික විද්‍යා අංශයෙන් පවත්වාගෙන ගිය නිසා ඒ පිළිබඳ උපාධිය හදාරන සිසුන් ගණනාවකට දැනුම ලබා දීමට මට අවස්ථාව ලැබුණා.”
ස්ථිර සේවයට බඳවා ගැනීමේ පුරප්පාඩු නොතිබීම හේතුවෙන් සහාය කථිකාචාර්යවරයෙකු ලෙස වසර හතරක කාලයක් ගත කරන්නට ඔහුට සිදු විය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය අවසන් කළ ඔහු සිය සහාය කථිකාචාර්ය සේවයේ ස්ථිරත්වය උදෙසා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජයීය විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළේ ය.
“ආචාර්ය උපාධිය සඳහා මැලේසියාවේ ෆිනෑන් දූපතේ පිහිටි යුනිවර්සිටි සෙයින්ස් මැලේෂියා (University Sains Malaysia) විශ්වවිද්‍යාලයට මම ගියා. එහිදී මහාචාර්ය කමරුල්සාමන් අස්කන්දර් මහතා යටතේ ‘ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු සාමය ගොඩනැගීම හා ප්‍රතිසංස්කරණය’ පිළිබඳ ව මම ආචාර්ය උපාධි පර්යේෂණය කළා.
මගේ පර්යේෂක වශයෙන් කටයුතු කළ මහාචාර්ය කමරුල්සාමන් මහතා අධ්‍යයන කටයුතු පමණක් නෙවෙයි එදිනෙදා කටයුතු, විශේෂ අවස්ථා ආදියට පවා සහභාගි වීමට අපට අවස්ථාව ලබා දුන්නා. ෆිනෑන් දූපතේ තමයි එම විශ්වවිද්‍යාලය තියෙන්නේ.
එයට ළඟා වීම සඳහා මුහුද මත ඉදි කළ ලොව දෙවැනියට දිග ම පාලම (කිලෝමීටර් 21ක් දිග) මතින් අපි ගමන් කළා. ඒකත් මගේ ජීවිතයේ සුවිශේෂ අත්දැකීමක් වුණා. ආචාර්ය උපාධියෙන් පසුව මම නැවත කැලණිය විශ්වවිද්‍යාලයට ආවා. කලින් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය යටතේ තිබූ දේශපාලන විද්‍යාව වෙනුවෙන් වෙන ම අධ්‍යයන අංශයක් කැලණිය විශ්වවිද්‍යාලයේ බිහි වුණා. විවිධ ක්ෂේත්‍ර යටතේ පර්යේෂණ පත්‍රිකා වැඩි වැඩියෙන් ලියන්න මම යොමු වුණා.
ඒවා ජාතික හා ජාත්‍යන්තර අධ්‍යයන සඟරාවල පළ වුණා. විවිධ දේශීය හා විදේශීය පර්යේෂණ වැඩමුළුවලට ඒවා ඉදිරිපත් කළා. 2019 දෙසැම්බර් මාසයේදී මම මහාචාර්යවරයෙක් බවට උසස් වුණා. තමන්ගේ අරමුණ කරා ළඟා වීමට ස්ථිර අධිෂ්ඨානයක් හා කැපවීමක් තිබිය යුතුයි. මගේ ජීවිතයේ බොහෝ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වුණේ ඒ අධිෂ්ඨානය හා කැපවීම නිසා යි.
මහාචාර්යවරයෙකු දක්වා පැමිණි ගමනේදී ඒ කැපවීම හා අධිෂ්ඨානය මගේ මුලු ජීවිත කාලය පුරා ම මා පවත්වා ගත්තා. කුඩා කාලයේ සිට ම මම ක්‍රමාණුකූල ව කටයුතු කළා. සෑම දෙයක ම පිළිවෙළක් තිබීම මම තදින් ම බලාපොරොත්තු වුණා. අද වුණත් මගේ ලියන මේසය පවා ඉතා ම පිළිවෙළට තබා ගැනීම මගේ පුරුද්දයි. අවුල් වුණු දේවල්වලට මම කැමති නැහැ.”
අවුල් නැතිව පවුල් ජීවිතය පවත්වාගෙන යන්නට බිරිය වර්ජිනියා තල්පාවිල වගේ ම එක ම පුත් ප්‍රණීත් තල්පාවිලත් ඔහුට සහනයකි. බිරිය කොළඹ පෞද්ගලික පාසලක චිත්‍ර කලා ගුරුවරියක වන අතර පුතා පෞද්ගලික විශ්වවිද්‍යාලයක විදුලි සන්දේශ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින්නේ ය. කලබලකාරිත්වයෙන් මිදුණු නිවසේ නිදහස ඔහුගේ කාර්යබහුලත්වයට විරාමයක් සපයනු ඇත.