60 දශකය | Page 2 | සිළුමිණ

60 දශකය

silver screen යනු හැටේ දශකයේ කලාකරුවන් ඇගයීම් සම්මාන උළෙලකි. එහි සභාපතිත්වය දරන්නේ, ප්‍රවීණ චිත්‍රපටය නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුය. රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ එහි ලේකම් ධූරය දරයි. මෙම හැටේ දශකයේ කලාකරුවන් ඇගයීමේ සම්මාන උළෙල එළඹෙන මැයි මස 06 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ පසුගිය දිනකදී සම්මානලාභී කලාකරුවන් කිහිපදෙනකු හා සිදු කළ අදහස් විමසුම මෙසේයි.

 

සම්මානය ට පාත්‍ර වෙන හැමෝම මේ වනවිට වයස අවුරුදු 80 ට වැඩි අයයිප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක, සුනිල් ටී ප්‍රනාන්දු

අප අතරින් වෙන් වී ගිය ප්‍රවීණ රංගන ශිල්පි සුමිත් බිබිලේගේ සංකල්පයකට අනුව මෙම සම්මාන උළෙල පැවැත්වීමටයි අපි කටයුතු සූදානම් කළේ. සුමිත් බිබිලේ කියන්නේ සනෝජා බිබිලේ ගේ පියා. ඔහු රඟපාන කාලයේ ඉඳන්ම ඔහුගේ හිතේ සංකල්පයක් රැඳී තිබිලා තියෙනවා; කවදාහරි සිනමාව වෙනුවෙන් කැපවුණු නළු නිළියන් කාර්මික ශිල්පීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාට සම්මාන උළෙලක් පවත්වන්න. ඒක වර්ෂයක් පාසා පැවැත්වීමටයි ඔහුගේ හිතේ තිබිලා තියෙන්නේ. ඒ අනුව පසුගිය අවුරුද්දේ සනෝජා බිබිලේ සහ අපි කිහිප දෙනකු එකතු වෙලා මේ ගැන කතා කළා. ඒ කතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට ගිය අවුරුද්දේ මේ සම්මාන උළෙල 50 දශකයේ ශිල්පීන් වෙනුවෙන් පවත්වන්නට හැකි වුණා. ඒක අපි සියලු දෙනාම ලබපු ජයග්‍රහණයක්. ඒ අනුව අපි තීරණය කළා හැටේ දශකයේ කලාකරුවන්ටත් මේ සම්මාන උළෙල පවත්වන්න. ඒ අනුව මෙවර සම්මාන උළෙල සඳහා හැටේ දශකයේ කලාකරුවන් තිස් දෙනෙකු සම්මානයට පාත්‍ර වෙනවා. ඔවුන් සඳහා සම්මානයත්, සහතික පත්‍රයක්, සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනා වයස අවුරුදු 80 ට වැඩි අය. ඒක මෙහි විශේෂත්වයක්. මේ අමාරු කාලවකවානුවේ අපි මේකට අත ගැහුවේ ඔවුන් වෙනුවෙන්මයි. මම චිත්‍රපට 75ක් හදලා මෙවැනි අවස්ථාවක් සිනමාව වෙනුවෙන් සේවයක් කරන්න උදාවෙනකන් තමයි බලන් හිටියේ. ඒක මගේ වාසනාවක් කියලා මම හිතනවා.

 

ජීවත්ව ඉන්න කාලෙ මෙවැනි සම්මාන පිරිනැමීමයි වැදගත් - ප්‍රවීණ රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ

මගේ පියා 50 දශකයේ රංගන ශිල්පියෙක්. ඔහු මිය යාමට පෙර මගෙන් කලාව වෙනුවෙන් ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියා. එහි එක් දෙයක් තමයි මේ සම්මාන උළෙල පවත්වන්න කියපු එක. ඒ නිසා මම මුලින්ම අත ගැහුවේ මේ සම්මාන උළෙලටයි. 2021 වර්ෂයේදී අපි විද්වත් මණ්ඩලයක් මඟින් 50 දශකයේ තෝරා ගත්ත විවිධ අංශ නියෝජනය කරන කලා ශිල්පීන් සඳහා සම්මාන පිරිනැමීම සිදු කළා. මෙවර සම්මාන සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ 1960 - 1965 වෙනකම් සහ ඉන් පසුව 1966 සිට 1969 වෙනකම් අදියර දෙකකින් පැවැත්වීමටයි. එයට ප්‍රධානම හේතුව තමයි ශිල්පීන් වැඩි සංඛ්‍යාවක් සිටීම. 60 දශකය කියන්නේ සිනමාවේ ස්වර්ණමය යුගයක්. ඔවුන් සොයා ගැනීමත් ඉතාම දුෂ්කරයි. මොකද මේ වෙනකොට ඒ ශිල්පින් ගොඩක් වයසට ගිහිල්ලයි ඉන්නේ. එදා ඔවුන් පදිංචි වෙලා සිටි ප්‍රදේශවල නෙවෙයි අද ඔවුන් පදිංචි වෙලා ඉන්නේ. ඉතින් අපි කොහොමහරි ඔවුන් සොයා ගෙන අපි මේ කර්තව්‍යයට උර දෙනවා. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන ශිල්පීන් 04 දෙනකුට විශේෂ සම්මාන හතරක් පිරිනැමීමටත් අපි තීරණය කර තිබෙනවා. ඒ සියලු දෙනා සඳහා තවත් ත්‍යාග අටක් සහ ඡායාරුපයක් ද පිරිනැමීමට අදහස් කරනවා. මෙය රජය සහ චිත්‍රපට සංස්ථාව එක්ව කළ යුතු දෙයක්. එසේ සිදු නොවන කොට අපි සංවිධානයක් ලෙස එකතු වෙලා මේ වැඩේ කරන එක වටිනවා කියලයි මම හිතන්නේ. එයින් ඒ ශිල්පීන් දිරිමත් වෙනවා. ජීවත්ව ඉන්න කාලෙ මෙවැනි සම්මාන පිරිනැමීමක් සිදු කළොත් පමණයි ඔවුන්ට මතක හිටින්නේ. මේ සම්මාන උළෙල අපි වසරකට දෙවරක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙයින් කලාව වෙනුවෙන් කැප වුණු සියලු දෙනාට හොඳ උත්තේජනයක් දීමට අපට හැකි වෙයි කියලා හිතනවා.

Comments