රජරටින් පසු වැඩිම නටඹුන් එක්තැන් බිම රජගලතැන්න ගමන් මඟ | සිළුමිණ

රජරටින් පසු වැඩිම නටඹුන් එක්තැන් බිම රජගලතැන්න ගමන් මඟ

පළාත : නැඟෙනහිර

දිස්ත්‍රික්කය : අම්පාර

කොළඹ සිට දුර: 412.5 km

අම්පාරේ සිට දුර: 26 km

අම්පාර මහඔය මාර්ගයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බක්කි ඇල්ල මං සංදියෙන් හැරි 1 km පමණ ගමනකින් රජගල කඳු මුඳුනට යා හැකි ප්‍රවේශ මාර්ගයට ළඟා විය හැකිය.

 

අතීත රජ දවස පටන් මෙරට ශිෂ්ටාචාරය සුපෝෂණය කරන්නට දායක වූ පුද බිමකි අම්පාරේ උහන පිහිටි රජගල. දුර ඈත අතීතයේ පටන් ගිරිකුම්භීල විහාරය, කුම්භීලතිස්පව් විහාරය, අරියකෝටි විහාරය, අරිත්තාරා වෙහෙර වැනි නම් වලින් හැඳින්වූ මේ පුදබිම වසර දහස් ගණනක් වනගතව තිබු අතර වර්තමානයේ රාස්සහෙල හෙවත් රජගල නමින් හඳුන්වයි. එබැවින් රජරටින් පසු රටේ අපට ජීවමානව දැක ගත හැකි විශාල ස්මාරක පුරාවිද්‍යා නටබුන් දැකගත හැකි භුමියකි රජගලතැන්න. මුහුදු මට්ටමේ සිට අඩි 1038 ක උසකින් යුත් මේ තපෝවනය පුරා අක්කර 1025 පමණ නටබුන් ස්මාරක විසිර පැතිර ඇත.

 

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම ලක්දිව නව යුගයක උදාලෝකයයි. ඒ බව සාක්ෂි සහිතව සනාථ වන ශිලා ලිපියක් මිහින්තලයෙන් හමුවී ඇත. අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලද ධාතූන් වහන්සේලා තැන්පත් කළ බවට ශිලා ලිපියක සාධක හමුවන්නේ අප මේ සිටින රාස්සහෙළ හෙවත් රජගලතැන්නේදීය. මෙහි පුරා වස්තු බහුල පෙත්මඟ අසල ගල්තලාවේ කුඩා ගල් කැට යොදා ගනිමින් ඉදිකළ කුඩා දැගැබ මිහිඳු සෑය නමින් හඳුන්වයි. ඒ අසලම ඇති ගල්තලාවේ ඇති ශිලා ලිපියක මෙසේ සඳහන්ව ඇත.

" යෙ ඉමදීප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ" එහි සඳහන්ව ඇති ආකාරයට මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්තුපය ලෙස හැඳින්වේ. එය ක්‍රි.පු 3 වන සියවසේ පමණ බ්‍රාහ්මි අක්ෂරවලින් ලියා ඇති බව සොයාගෙන ඇත. තවද ක්‍රි.පු. 100 පමණ සිට ක්‍රි.ව 10 වන සියවස දක්වා වසර දහසක කාලයක් තුළ කෙරුණු ඉදිකිරීම් මෙහි දක්නට ලැබේ.

රජගල වඩාත් සුවිශේෂී විමට තවත් හේතුවක් වන්නේ එහි ඇති ඡත්‍ර ගුහාවයි. දණ්ඩක් සේ ඉහළට එසවී ඇති ඡත්‍රයක් හෙවත් කුඩයක් සේ පෙනෙන බැවින් එයට ඒ නම ලැබී ඇත. වැසි සමයක වුවද මේ ගල් ගුහාවේ සියයකට වුවද නොතෙමී සිටිය හැකිය. අභයගිරි විහාර කැණීම්වලින් පසු මතුවූ තවත් ගල් ඔරලෝසුවක් ද මෙහි කළ කැණීම්වලින් සොයා පහදා ගන්නට පුරාවිද්‍යාඥයන් සමත් වී ඇත.

කන්ද මැද පිහිටා ඇති කුඩා ප්‍රමාණයේ වැව කදිමය. මනරම්ය. වැඩි ජලය බැස්සවිමට ඇළ මාර්ගයක්ද සකසා ඇත. වැව අසලම තවත් ඉදිරියට යා හැකි ඉපැරැණි මංපෙතකි. ඒ මඟ දෙපස ගොඩනැගිලි කිහිපයක අත්තිවාරම් හා ගල්කණු කිහිපයක නටබුන් දැකිය හැකිය. මෙවායෙහි දොරටුවල කොරවක්ගල් හා නාග මිනිස් රෑ යෙදු මුරගල් සවි කර ඇත.

ඈතින් පෙනෙන ගල්තලාව මැදට ආ විට අපට දැක ගත හැකි වුයේ අපූරු පොකුණ දෙකකි. වැසි ජලය වැටි හැඩ වැඩ ලලිත වන මේ කුට්ටම් පොකුණ අවට අලි වසුරු විසිරිලාය. සැන්දෑ ඉර කෙමෙන් ළං වන විට අලි ඇතුන් පහළ ඇති මහ කැළය මතින් පැමිණ මේ ගල් තලයට ගොඩවී මේ පොකුණු වලින් ඇඟපත තෙමාගන්නා බව පැහැදිලිය.

පෙත් මඟ දිගේ තවත් ඉදිරියට ගිය විට මහා තපෝවනයක අපූර්වතම ඉතිහාසයක ගරා වැටුණු නටබුන් විශාල ප්‍රමාණයක් බලා කියා ගත හැකිය. රජගල පුරාණ දිගාමඬුලු දනව්වේ වැදගත් විහාරාමයකි. අනුරපුර යුගයේ අවසන් භාගය පමණ වන විට අති දියුණු සංඝාරාමයක් වශයෙන් විශාල ශාසනික සේවාවක් සපයන්නට ඇති බව මේ බිමේ සැරිසරන විට මනාව පසක් වේ. මෙහි පවතින බොහෝ නටබුන් අනුරාධපුර පුර රාජ්‍ය සමයට අයත් ඒවාය. අනුරාධපුර සමයට අයත් වැඩිම ස්මාරක ප්‍රමාණයක් රජගලින් හමුවීම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අතින් අතිශය වැදගත්ය.

සාහිත්‍ය මුලාශ්‍ර ශිලා ලිපි සහ මේ පුදබිමෙන් හමුවන තොරතුරුවලට අනුව සද්ධාතිස්ස රජුගේ දෙටුපුත් ලජ්ජිතිස්ස කුමරු මේ තපෝවනය ආරම්භ කළ තැනැත්තා බව සැලකේ. ලජ්ජතිස්ස රජුගේ ඇවෑමෙන් ගිරිකුම්භීල විහාරය හෙවත් රජගල අනුරාධපුර රාජ්‍ය සමයේ විවිධ රජවරුන් මාගම පාලනය කළ යුව රජවරුන් වෙනත් මහාමාත්‍යාදීන් ද පොදු ජනතාවද මෙම විහාරයේ අභිවෘද්ධියට විශාල දායකත්වයක් ලබා දී ඇත.

විවිධාකාර ගොඩනැගිලි එකදු පහදු වී විශාල විහාරාරාම සංකීර්ණයක් බවට රජගල පත්වී ඇත.

ලජ්ජතිස්ස රජු මේ විහාරය ඉදිකිරීමෙන් පසු ශත වර්ෂ හය හතක් පමණ ගතවන තෙක් මේ විහාර සංකීර්ණය ගැන කිසිදු සටහනක් මහාවංසයේ දක්නට නොලැබේ. එනමුත් මේ අතරතුර කාලයේ රජගල ඉතිහාසය ගොඩ නැඟීමට අදාළව තොරතුරු රැසක් සාහිත්‍ය මුලාශ්‍ර ඇසුරින් ලබාගන්නට හැකිවිම සතුටකි. සීහලවත්ථුපකරණය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය සහ අට්ඨකථා ආදි සාහිත්‍ය මුලාශ්‍ර වල ගිරිකුම්භීල වෙහෙර ගැන කතා කිහිපයක් රචනා වී ඇත.

මහාවංසයේ සඳහන් අකාරයට පළමුවන දප්පුල රජු සහ පළමුවන උදය රජුගේ කාලයේද රජගල පැරණි තපෝවනය තුළ විවිධ වෙනස්කම් සිදුකොට ඇත.

ශතවර්ෂ දහසක පමණ කාලයක සිට ඉදිකළ ලෙන් විහාර දානශාලා විවිධ ගොඩනැගිලි පොකුණු පෙත්මඟ දාගැබ් ආදී නිර්මාණයක් බොහොමයක් මෙහි ගිය විට ඔබට දැකගත හැකිය. ක්‍රි. පු. අවධියේ පටන් කිසිදු ඉඩෝරයකට නොසිඳෙන සීතල ජලය සහිත විශ්මිත උල්පතක් අදටද දක්නට ලැබේ. මේ උල්පතෙන් ගල් කණු හරහා ජලය ගෙන ගොස් දානශාලා අසල විශාල ගල් පාත්‍ර දෙකකට ජලය පුරවා ඇත. දැනුදු ඒ යෝධ ගල් පාත්‍ර අපට දැක බලා ගත හැකිය.

කිසියම් යුගයක රටේ ඇතිවු ආරවුලක් හේතුවෙන් අඩක් නිම කර තිබු හිටි පිළිමයක් බිම වැටී ඇති අයුරු දක්නට ලැබේ. එය බොහෝ සංවේගයක් ගෙන දේ. පුරාවස්තු කොල්ලකරුවන්ගේ සැහැසි ග්‍රහණයට මේ පුදබිම කලක් නතුව තිබු බැවින් බෝහෝ ස්තුප හාර පෙරළා විනාශ කර දමා ඇත.

වර්තමානයේ රජගල පුරාවිද්‍යා භුමියේ ගවේෂණය කැණිම් සංරක්ෂණය ආදිය සිදු කරන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශය සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර එකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙනි.

රජගලතැන්න මත හිඳ බටහිර පැත්තට වන්නට දිවුලාන වැවද වාලිබේහෙල කඳු වැටියද අපුරුවට දිස්වේ. උතුරු දෙසින් මනරම් තොප්පිගල කන්දද මඩකලපුව ද දැකිය හැකිය.

Comments