මම දැනෙන නිර්මාණ කරන්න කැමති කෙනෙක් | Page 2 | සිළුමිණ

මම දැනෙන නිර්මාණ කරන්න කැමති කෙනෙක්

ප්‍රංසයේ පැවැති ARG International Film Festival හිදි Best Short Film අංශය යටතේ අවසන් තරගකාරී වටය නියෝජනය කරමින් "පෙරිප්ලා" කෙටි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වී ඇති අතර එහි ප්‍රධාන චරිතයක් වන නිමාලිගේ චරිතය නිරූපණය කළ රංගන ශිල්පිනී ඉමේශා එදිරිපක්ෂ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මේ කතාබහ හොඳම නිළිය වූ ඉමේශා සමඟ.

 

නම - ඉමේශා එදිරිපක්ෂ

ගම - හංවැල්ල

පාසල - පාසල් තුනකට ගිහින් තියෙනවා. මුලින්ම ගියේ හේනේගම මහාබෝධි විද්‍යාලයට. ඊට පස්සෙ සාමාන්‍ය පෙළ දක්වා තුන්නාන සිරි සුමනජෝති විද්‍යාලයට ගියා. උසස් පෙළට ගියේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට.

 

පවුලේ විස්තර

අම්මයි, තාත්තයි මම යි. මම පවුලේ එකම ළමයා.

 

කොහොමද කලාවට අවතීර්ණ වෙන්නෙ

පාසල් වේදිකාවෙන් කලාවට අවතීර්ණ වෙන්නෙ. ඒ සාමාන්‍ය පෙළ කරන කාලයේ. හැබැයි මම නාට්‍යය හා රංග කලාව විෂයක් විදියට හදාරලා නැහැ.

 

මේ වෙද්දි මොන වගේ නිර්මාණ එක්කද ඉන්නෙ

කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තියෙනවා. තව මේ දිනවල වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරගෙන යනවා.

 

කොහොමද චරිත තෝරාගැනීම් කරන්නෙ

එහෙම ලොකුවට චරිත තේරීමක් නැහැ. පිටපත කියවද්දි ඒ දේ දැනුණොත් සහ රහක් තියෙන දෙයක් නම් ඒ දේ කරනවා. මම දැනෙන නිර්මාණ කරන්න කැමති කෙනෙක්. එහෙම ආරාධනා ආවොත් මම බාර ගන්නවා.

 

මේ වෙද්දි ජාත්‍යන්තර සම්මානයක් ලැබිලා තියෙනවා, ඒ නිර්මාණය සහ ඒ වෙනුවෙන් ලැබුණු සම්මානය ගැන කතා කරොත්

ඔව් අපි කරපු පෙරිප්ලා කියන කෙටි චිත්‍රපටය මේ වෙද්දි අන්තර්ජාතික සම්මාන උලෙළවල් කිහිපයකට දාලා තියෙනවා. ඒක ට ප්‍රංස සම්මාන උලෙළකදි හොඳම නිළියට හිමි සම්මානය මට ලැබිලා තියෙනවා. මෙතනදී මම මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂ ගයාන් ප්‍රානාන්දු, නිෂ්පාදකතුමා, පිටපත් රචක ජයන්ත අයියව සහ මාව ගයාන් අයියට සම්බන්ධ කරපු අමිල චින්තක ගමගේව. ඒ වගේම ඒ නිර්මාණය තුළ වැඩකරපු සියලුම දෙනාව ආදරෙන් සිහිපත් කරන්න ඕනේ. යම් ඇගයීමක් ලැබෙනවා නම් ඒ කණ්ඩායමේ සියලුම දෙනාගෙ කැපවීම නිසා.

 

ඒ නිර්මාණයේ චරිතය ගැන කිව්වොත්

නිමාලි කියන චරිතය තමයි මම කළේ. මට පිටපත දුන්නම ඒක කියවද්දි හිතුණා යම් වෙනසක් කළ හැකි චරිතයක් කියලා. ඒ නිසා බොහොම කැමැත්තෙන් ආසාවෙන් කරපු චරිතයක්.

 

ඉදිරියේදී මොනවගේ නිර්මාණ තුළින්ද ඉමේශා දකින්න ලැබෙන්නේ

කරපු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ත්‍රිශූල දීප තඹවිටගේ කලුදලරළ කියලා ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. තව කෙටි චිත්‍රපටයක් සහ චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒ එක්කම මේ දිනවල පුහුණුවීම් වෙන වේදිකා නාට්‍යය පවා රටේ වාතාවරණය හොඳ වුණ ගමන් පෙන්වයි කියලා හිතනවා.

 

මේ ගමන එන්න සහයෝගය ලබාදෙන අය කිව්වොත්

හැමදාම මට ශක්තිය වුණේ මගේ අම්මා තාත්තා. මම පවුලේ එකම ළමයා වෙලත් මේ ක්ෂේත්‍රයට එන්න දීපු නිදහසම ලොකු ශක්තියක්. එතනින් එහාට මට මේ ක්ෂේත්‍රය තුළ මුණගැහුණු මට වචනයකින් හරි උදව් කරපු හැමෝටම මට ලාබා දුන්නෙ හොඳ සහයෝගයක්. ඒ නිසා නම් වශයෙන් කියන්නෙ නැහැ. ඒ හැමෝටම ස්තුතියි.

 

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ද බලාපොරොත්තුව

දැනට නම් වෙන වෘත්තීයක නියැළිලා නැහැ. හැබැයි මම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙයිද කියන්නත් බැහැ. මොකද වෘත්තීය රංගන ශිල්පිනියක් වුනොත් මට හැම තනි ර්මාණයක්ම බාර ගන්නවෙයි. එහෙම වුණොත් මට දැනෙන මම කැමති දේවල් බාරගන්න බැරිවෙයි. ඒ නිසා රංගනය වෘත්තීය කර ගන්න එකක් නැහැ.

 

කලාවට සම්බන්ධ වෙලා අවුරුදු කීයක් ද

මම උසස් පෙළින් පස්සෙ 2015 දී තමයි ජයවීර දසනායක කියන අධ්‍යක්ෂතුමාගේ වේදිකා නාට්‍යයකින් කලාවට එන්නෙ. එදා ඉදන් දැන් අවුරුදු හතක් තිස්සෙ කලාව එක්ක ඉන්නවා.

 

මේ කාලය තුළ කරපු නිර්මාණ ගැන, ලැබුණු ආරාධනා ගැන තෘප්තිමත් ද?

මේ අවුරුදු හත තුළ මහා ලොකු වැඩ ප්‍රමාණයක් කරලා නැහැ. නමුත් මට අවස්ථාව ලැබුණ වෙනස් වෙනස් වැඩ ටිකක් කරන්න. මම බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ. ඒ නිසා මම තෘප්තිමත්.

 

අනාගත බලාපොරොත්තුව මොනවාද?

හොඳ නිර්මාණ ටිකක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

Comments