දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගෙන් බිහිවන අතුරුඵලය ඩිජිටල් සිතුවම්කරුවායි | සිළුමිණ

දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගෙන් බිහිවන අතුරුඵලය ඩිජිටල් සිතුවම්කරුවායි

ලංකාවෙ ජනප්‍රිය පුද්ගලයන් රැසකගේ ඩිජිටල් චිත්‍ර නිර්මාණය කිරීම හරහා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් නිර්මාණශීලි තරුණයෙක් අද සිළුමිණ රසඳුන සමඟ එක් වෙනවා. නුවන් තරංග වික්‍රමගේ නම් වන ඔහු දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපිද මිද්දෙණිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දැනට හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස රැකියාවේ යෙදෙනවා. නුවන්ගේ කලා භාවිතය පිළිබඳව නුවන් සමඟ කළ පිළිසඳරකි මේ.

 

ඩිජිටල් චිත්‍ර කලාව මෑතකාලීනව ප්‍රචලිත වූ දෙයක්. කොහොමද මේක විශේෂ වෙන්නේ ?

පාසල් යන කාලෙම මම චිත්‍ර අඳින්න පටන් ගත්තා. මුලින් ස්වභාවික තෙල් සායම් සිතුවම් තමයි කළේ. මාර්කටින් ප්‍රශ්න නිසාත් අමුද්‍රව්‍ය වැඩියෙන් භාවිත කරන්න අවශ්‍ය නිසාත් මම ඩිජිටල් පේන්ටින් කරන්න පටන් ගත්තා.පින්සල්, වර්ණ වර්ග එතකොට පැන්සල් , කඩදාසි මේ වගේ ගොඩක් අමුද්‍රව්‍ය නැචුරල් පේන්ටින් වලට අවශ්‍යයි. එතරම් අමුද්‍රව්‍ය නැතිව පරිගණකය භාවිත කරල කළ හැකි නිසා මේ ගැන මම අන්තර්ජාලය පාවිච්චි කරලා තනියම ඉගෙන ගත්තා. ලංකාවෙ තවත් ඩිජිටල් අඳින අය ගොඩක් ඉන්නවා. හැබැයි වෙනස තමයි ඒගොල්ලො ඒව සමාජගත කළේ නැහැ. ඒකට හේතුව ලංකාවේ වැඩි දෙනෙක් කැමති ස්වභාවික චිත්‍රවලට නිසා. මං මේකට වෙනසක් එකතු කළා. realistic digital oil painting ඒ කියන්නේ ස්වභාවික තෙල් සායම් චිත්‍රයක් වගේ පෙනුමෙන් ඩිජිටල් චිත්‍ර මම නිර්මාණය කරන්න පටන් ගත්තා. චිත්‍ර රසිකයන් හැමෝගෙම වගේ ගෙවල්වල තියෙන මොනාලිසා චිත්‍රය. හැබැයි ඒ මුල් චිත්‍රය නෙවෙයිනේ. ඒ චිත්‍රයට කැමති නිසා තමයි digital copy එකක් ගෙදර තියාගන්නේ. ඇත්තටම කිව්වොත් ස්වභාවික චිත්‍ර මිල අධිකයි. ඒ වියදම බොහෝ දෙනෙක්ට දරන්න බැහැ. තමන්ගේ oil painting එකක් ළඟ තියාගන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්.ෆොටෝ එකක් අරගෙන එක ඩිජිටල් පේන්ටින් එකක් විදිහට හදලා දෙන එක තමයි මම කරන්නෙ. ස්වාභාවික තෙල් සිතුවමක පෙනුම තිබුණත් මේකෙ Hand feeling එක වෙනස්.

 

චිත්‍ර පිළිබඳව හැදෑරුවෙ කොහොමද ?

පාසලේ දි මට චූලානන්ද කියලා චිත්‍රවලට අතිශය දක්ෂ හාමුදුරු කෙනෙක් මුණ ගැහුණා. ඊට පස්සේ යාපා කියලා ගුරුවරියෙක් මුණ ගැසුණා.10 වසරෙ ඉගෙනගන්න කාලෙ ඇය තමයි මුලින්ම හඳුනා ගත්තෙ මට මූර්ති නිර්මාණය කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ හැමදේටම විශේෂ අගය කිරීමක් ලැබෙන්න ඕනේ අන්තර්ජාලයට කියන දේත්.

 

ඩිජිටල් චිත්‍ර කලාව තුළ ඔබ හඳුනාගත් ගෝලීය ප්‍රවණතා මොනවාද.?

ලෝකෙ හැම රටකම වගේ ඩිජිටල් පේන්ටින් තියෙනවා. හැබැයි මාකට් එක වැඩිපුර තියෙන්නෙ ඉන්දියාවේ. ආසියානු සහ යුරෝපීය රටවල්වල ඉන්න අයගේ වර්ණ සංයෝජන වෙනස්. ඔවුන් භාවිත කරන ගෝල්ඩ් සහ මැට් වර්ණ සංකලනයට ලංකාවෙ බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි ඉන්දියාවේ දීප්තිමත් වර්ණ තමයි තියෙන්නේ. සමහරු කියනවා ලංකාවේ මිනිස්සුන්ගෙ රසවින්දනය අඩුයි කියලා. හැබැයි මං චිත්‍ර අදින කොට තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවෙ මිනිස්සුන්ට චිත්‍ර සම්බන්ධව හොඳ රසඥතාවක් තියෙනවා කියන දේ.

 

මේ ඩිජිටල් සිතුවම්වලට ලංකාවෙ තියෙන ඉල්ලුම ගැන සතුටුයි ද?

ඔව්. මාස කීපයක් තුළ මම හිතුවට වඩා වැඩියෙන් මගෙ ෆේස්බුක් පිටුවෙන් මේ සඳහා ඉල්ලුමක් ලැබුණා. ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පවා පැසසුම් ලැබුණා. නිලාර් එන්. කාසිම්, මහින්ද කුමාර දළුපොත, දොන් ෂර්මන්, යසනාත් ධම්මික බණ්ඩාර ඒ අතර ඉන්නවා. ලංකාවෙ ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන ඉන්ද්‍රනාථ තේනුවර වරෙක මගෙ සිතුවමක් බලල කියනවා තාක්ෂණික ප්‍රයෝග කොයි තරම් තිබුණත් නිසඟ හැකියාවක් නැතුව මේ වගේ චිත්‍ර අඳින්න බෑ කියලා. ඒ අගය කිරීම් මගෙ ගමනට ශක්තියක්. කලා ලොවේ දැවැන්තයන් මට බොහෝ දෙනෙක් උදව් කරන බවත් සිහිපත් කරන්න කැමතියි.

 

ස්වභාවික නිර්මාණයක් සහ ඩිජිටල් නිර්මාණයක් අතර ඔබ දකින වෙනස්කම් පැහැදිලි කළොත්?

මූලිකම දේ පරිගණකය භාවිතා කරලා digital pen එකකින් තමයි මේ චිත්‍ර අඳින්නෙ. ස්වාභාවික සිතුවම ඩිජිටල් එකට වැඩිය ගොඩාක් ඉස්සරහින් තමයි තියෙන්නේ. ඒ නිසා මම කොයි මොහොතකවත් ස්වභාවික චිත්‍රය අවතක්සේරු කරන්නේ නෑ.

දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගෙන් බිහිවන අතුරුඵලයක් තමයි ඩිජිටල් සිතුවම්. මැනුවල් චිත්‍ර අඳින්න සමහරවිට අවුරුද්දක් දෙකක් ගත වෙන්න පුළුවන්.

හැබැයි ඩිජිටල් පේන්ටින් එකක් කරන්න එච්චර කාලයක් ගත වෙන්නෙ නෑ. සමහර අය කියනවා තාක්ෂණික ප්‍රයෝග පාවිච්චි කරලා චිත්‍රයක් අඳින එක මහා ලොකු වැඩක් නෙවෙයි කියලා.

විශේෂයෙන් මතක් කරන්න ඕන මට කලා කටයුතුවලට සහයෝගය ලබා දෙන සුමුදු කරුණාරත්නව. ඔහුත් මං වගේම චිත්‍ර ශිල්පියෙක්.

 

නුවන්ගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

මම ඇඳපු විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ගෙ චිත්‍ර එකතු කරල ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ පළමු පොත් කවරය තමයි චමින්ද ප්‍රදීප්ගෙ 'ඈ විප්ලව නොකළාය' කියන පොතේ කවරය.

තවත් පොත් කීපයකට මම කවර නිර්මාණය කළා. ඉදිරියටත් එවැනි දෑ සඳහා දායක වෙමින් ඩිජිටල් චිත්‍ර කලාවේ යෙදෙනවා.

Comments