
ගොඩක් අය හිතාගෙන ඉන්න මිත්‍යා මතයක් තමයි බබාට කිරි දෙනකොට දත් බුරුල් වෙනවා කියලා. පැහැදිලිව එහෙම දෙයක් වෙන්නේ නැහැ
දෙමාපියන්ගේ දත් නරක් වෙලා නම් දරුවන්ගේ දත් නරක් වෙන සම්භාවිතාව වැඩියි
අපි මංගල දිනයට බාහිරින් සුදානම් වෙනවා වගේම අපේ මුඛයත් සුදානම් කර ගන්න ඕනේ
ගොඩක් යුවතියන් විවාහ මංගල්‍යයට සුදානම් වෙද්දී රූපලාවණ්‍යාගාර බොහොමයකට යනවා තමන්ගේ රුව වැඩි කර ගන්න. නමුත් ඒ අයට මගහැරෙන අතපසු වෙන දෙයක් තමයි මේ මුඛ සෞඛ්‍ය ගැන. ඒකට හේතු වෙන්නේ මේ ගැන නිසි අවබෝධයක් නොමැතිකම. ඒ නිසා යුවතියක් මනාලියක් වෙලා මවක් වෙද්දී ගොඩක්ම දුක්විඳිනවා. මොකද මවක් වෙන්න සුදානම් වෙලා ඉන්න කාලේ දත් රෝගයක් මතුවීමත් එක්ක වේදනා දෙක තුනක් දරාගන්න සිද්ධ වෙනවා.
මගේ ගාවට ඇවිත් තියෙනවා එක අතක් කුසට සහ අනිත් අත කම්මුලට තියාගෙන. ඒ අය කියන්නේ ඩොක්ටර් වේදනාව මට දරා ගන්න බැහැ කියලා. හැබැයි මේ සියල්ලම කල්තියා වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුවත්වීම තමයි අපි මේ ලිපි මඟින් කරන්නේ.
දැන් සාමාන්‍යයෙන් විවාහ වෙන්න කලින් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තමන්ගේ මුඛය නිරෝගී ද කියන එක සැක හැර දැන ගන්න. සාමාන්‍යයයෙන් ගැහැනු ළමයි 20-25 අතරේ විවාහ වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි දත එහෙම නැත්නම් ඥාන දත කියන එක එන්න පටන් ගන්නෙත් ඔය වයසේදී. එතකොට ඒ දත බොහෝ අයට එන්නේ නැහැ, හනුව ඇතුළේ හිරවෙනවා. ඒ විදියට හිරවුණාම වේදනාව පටන් ගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ වෙද්දී මවක් වෙන්න නම් ඉන්නේ මේ වේදනා දෙකම දරා ගන්න අමාරුයි. ඒ එක්කම මේ දත හනුව ඇතුළෙ හිරවෙලා නම් ඔපරේෂන් එකකින් තමයි ගලවන්නේ. හැබැයි ගර්භණීකාලයේ ඒ වගේ ඔපරේෂන් කරන්න අමාරුයි. අමාරුම නම් කරනවා මිසක් නැත්නම් ගර්භණී කාලයේ එවැනි සුළු ශල්‍යකර්මවත් කරන්නේ නැහැ. ඒ කාලයේ වේදනා නාශක බෙහෙත් වර්ග ලොකුවට ගන්නත් බැහැ. ඒක එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් තමයි ගර්භණී කාලයේ දී ශරීරයේ හෝමෝන වෙනස් වෙනවා. එතකොට කොච්චර දත් මැද්දත් විදුරුමස් වල ප්‍රශ්න ඇතිවෙනවා. එතකොට බුරුසුවක් තිබ්බ ගමන් ලේ යන්න ගන්නවා. දත් මදින්න අපහසුයි. දත් මදිද්දී වමනේ යන්න ගන්නවා. වමනේ යද්දී පිට වෙන්නේ ආමාශයේ තියෙන ඇසිඩ්. ඒ ඇසිඩ් නිසාත් දත්වලට හානි සිදුවෙනවා.
මේ සියල්ල විවාහ වෙන්න පෙර රූපලාවණ්‍යාගාර වෙත යනවා වගේම දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා උපදෙස් ලබා ගන්න පුළුවන් දේවල්. ඒ නිසා අපි මංගල දිනයට බාහිරින් සුදානම් වෙනවා වගේම අපේ මුඛයත් සුදානම් කර ගන්න ඕනේ.
මේ වෙද්දී හොයාගෙන තියෙන තව දෙයක් තමයි තමන්ගේ මුඛයේ විෂබිජ වැඩිනම් මේ විෂබීජවලින් නිකුත් කරන සමහර රසායනික ද්‍රව්‍යය රුධිරයට ගිහිල්ලා රුධිරයෙන් දරුවාට කෑම දෙන පෙකණිවැල අවහිර වෙන්න පුළුවන් කියලා. එතකොට සමහර වෙලාවට දරුවා අඩු වයසින් බිහිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවා ප්‍රමාණවත් පරිදි වර්ධනය නොවෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට හෘදය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්. මොකද මේ කලල බන්ධය කියන කොටස විෂබීජ මඟින් අවහිර වෙනවා. මේ තරම් දරුණු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එක මේ වෙද්දී පර්යේෂණ මඟින් සොයාගෙන තියෙනවා.
තව දෙයක් තමයි ගොඩක් අය හිතාගෙන ඉන්න මිත්‍යා මතයක් තමයි බබාට කිරි දෙනකොට දත් බුරුල් වෙනවා කියලා. පැහැදිලිව එහෙම දෙයක් වෙන්නේ නැහැ. දතකට කැල්සියම් අයන ගිහින් දතේ තැන්පත් වුණාට පසුව නැවත දතේ තියෙන කැල්සියම් රුධිරයට ඇවිල්ලා කිරි සමඟ යන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියා ගන්න බබා හම්බුණ නිසා දරුවට කිරිදුන්න නිසා තමයි මගේ මේ දත් නරක් වුණේ කියලා කියන එක නෙවෙයි සත්‍යය. දරුවා ලැබෙන්න ඉන්නකොට දත් ගැන සැලකිලිමත් වෙලා නැහැ. හරියට දත් මැදලා නැහැ වගේ දත් සම්බන්ධ දේවල් වලට නිසි ප්‍රතිකාර නොකිරීම තමයි දත් හානි වෙන්න ප්‍රධාන හේතුව.
ඒ එක්කම ඔය දේවල් වළක්වා ගන්න අපි කළ යුත්තේ, ප්‍රධාන දේ මුඛ සෞඛ්‍ය නිරෝගීව තියාගන්න අලුත් එළවළු වර්ග අපේ ආහාරයට එකතු කර ගන්න ඕනේ.දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ දත්වල නිරෝගී භාවය ගැන සහතිකයක් ලබා ගන්න ඕනේ. උදේට දත් මදින්න අමාරු නම් දවල්ට හරි දත් මදින්න ඕනේ. (උදේට දත් මදිද්දී වමනේ යනවා නම්) ඇන්ටි බැක්ටිරියල් රසායනික ද්‍රව්‍ය තියෙන මුඛ සෝදන දියරයකින් කට සෝදන්න ඕනේ.
ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මදින්න, මොකද ෆ්ලෝරයිඩ් මඟින් දත ආරක්ෂා කරනවා. ෆ්ලෝරයිඩ් නැතිවුණොත් තවත් හානියට පත්වෙනවා.
මෙතැනදී මේ කාරණාවත් වැදගත්, මවක් තමන්ගේ දරුවව ආදරෙන් සිප ගන්නවා, කෑම ටික කටින් නිවනවා. මේ දේවල් කරද්දී මවගේ මුඛ සෞඛ්‍ය නිරෝගී නැත්නම් දරුවටත් ඒ විෂබීජ යනවා. දරුවාගේ මුඛය තුළ ලොකු විෂබිජ නැති වුණත් මවගේ තියෙන විෂබිජ නිසා දතක් එනකොටම දත් නරක් වෙන බැක්ටීරියා වර්ග ඔක්කොම අම්මා දරුවට දායාද කරලා තියෙන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ දත් නරක් වෙලා නම් දරුවන්ගේ දත් නරක් වෙන සම්භාවිතාව වැඩියි. ඒ නිසා මේ තුළින් දරුවන්ට ඇතිවන ප්‍රශ්න අපි ඉදිරි ලිපියෙන් කතා කරමු.
අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් මේ දේවල් හොඳින් මතක තියා ගන්න. පවුල් සෞඛ්‍ය නිලධාරීනිය විසින් ලබා දෙනවා කොළයක්. එහි තියෙනවා දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා පුරවා ගන්න කොටසක්. ගොඩක් අය ඒක ගණන් ගන්නේ නැහැ. දත් කැක්කුමක් ආවම තමයි ඒක මතක් වෙන්නේ. හැබයි එතකොට ප්‍රමාද වැඩියි. ඒ නිසා පුළුවන් තරම් විවාහ වෙන්න ඉන්න අය සහ මවක් වෙන්න සුදානමින් ඉන්න අය මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. නිසි දන්ත වෛද්‍යවරයෙක් මුණගැසී අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගන්න.