කොරෝනාවෙන් පසු ප්‍රථමවරට බ්‍රසීලය සම්බා නටයි | සිළුමිණ

කොරෝනාවෙන් පසු ප්‍රථමවරට බ්‍රසීලය සම්බා නටයි

කොරෝනා වයිරසය හේතුවෙන් පැතිර ගිය කොවිඩ් වසංගතය බ්‍රසීලයට දැඩි පහර එල්ල කළ බව ලොවටම අමතක වී නැත. ඇමරිතාකවට පසු ලොව දෙවැනි වැඩිම කොවිඩ් ආසාදිතයන් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර මිය යන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛණ ලබා දීමටද වරෙක බ්‍රසීලය අසමත් විය. කොවිඩ් වසංගතයෙන් මිය ගිය පිරිස් භූමදානය කිරිමට සුසාන භූමි ඉඩ මදි වූයේන් ඇමසන් වනය එළි පෙහෙළි කරමින් මළ සිරුරු වළ දැමීමට කටයුතු කිරිමට බ්‍රසීල බලධාරින්ට සිදු විය. ඒ අනුව පසුගිය වසර දෙකක කාලය බ්‍රසීලයට අඳුරු යුගයක්ම විය.

 

දැන් එම අඳුරු යුගය අවසන් කරමින් බ්‍රසීලයට යළිත් සැණකෙළි හිරු පායා විත් තිබේ.

බ්‍රසීලය යනු කොහොමත් සැණකෙළිවලට ප්‍රසිද්ධ රටකි. රියෝ ද ජැනෙයිරෝ නුවර වාර්ෂික සැණකෙළි යනු සංචාරක තෝතැන්නකි. ලොව පුරා බ්‍රසීල සංස්කෘතිය ප්‍රිය කරන බොහෝ දෙනා බලා සිටින්නේ මේ සැණකෙළි සමය ඇරඹෙන තුරුය. කොවිඩ් හේතුවෙන් වසර දෙකක් පුරා නොපැවැත්වුණු මේ මහා සැණකෙළිය මෙවර පැවැත්වීමේ වාසනාව බ්‍රසීල ජාතිකයන්ටත්, එය අත්විඳීමේ වාසනාව ලොව පුරා සම්බා සැණකෙළි රස විඳින රසිකයන්ටත් මෙවර හිමි වී තිබේ.

වසර දෙකකට පසු ප්‍රථම වරට බ්‍රසීල සම්බා පා ගමනක් පසුගියදා රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්විණි. වසර දෙකකට පසු මුහුණූ ආවරණ සහ සමාජ දුරස්ථතාව ආරක්ෂා කිරීමෙන් වැළකුණු ජනතාව ඉතා නිදහසේ මේ සැණකෙළි සුවය විඳීමට රැස් වූහ.

රියෝ නගරයේ මුහුදු වෙරළ ආශ්‍රිතව වාර්ශිකව පැවැත්වෙන මේ සැණකෙළිය ‘සම්බාඩ්‍රෝමේ‘ යනුවෙන්ද හඳුන්වනු ලබයි. බ්‍රසීලයේ වසන්ත සැණකෙළිය සේ හැඳින්වෙන මේ සම්බා උත්සව මාලාවේදී අතිශය වර්ණවත් ඇඳුමින් සැරසුණූ සම්බා නැටුම් ශිල්පීන් උළෙල වර්ණවත් කරමින් රංගනයේ නිරතවන අතර සෙසු ලක්ෂ ගණන් නරඹන්නන් මුහුදු වෙරළේ අප්‍රමාණ නිදහස් සුවය විඳිති. මෙවර 2020 පෙබරවාරි මාසයට පසුව පැවැත්වෙන පළමුවැනි සම්බා සැණකෙළිය පසුගියදා රියෝ නගරයේ මුහුදු වෙරළ ආශ්‍රිතව ආරම්භ වූයේ ලක්ෂ ගණන් සංචාරකයන්ද ඒ වෙත කැඳවමිනි. මේ මහා උත්සවයට සහභාගී වෙමින් සිටි බොහෝ දෙනා මාධ්‍ය වෙත පවසා සිටියේ තමන්ට දැනෙන සතුට දෑසට කඳුළු ගෙන ඒමට සමත් බවයි.

‘කොවිඩ් රෝගයට අපේ ජනතාව ලක්ෂ හයකට වැඩියෙන් බිලිවුණා. දැන් අපට යළිත් වසන්තය පැමිණ තිබෙනවා. මේ විඳින නිදහස, සතුට කියන්නට වචන නැහැ.‘ වර්ණවත් ඇඳුමින් සැරසී රඟ දෙන නර්තන ශිල්පීන් එසේ පවසා ඇත්තේ යළිත් අහිමි වූ නිදහස අත් විඳිමිනි. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයේදී බ්‍රසීලයේ බොහෝ දෙනාට රැකියා අහිමි වූ අතර බොහෝ දරුවන්ගේ අධ්‍යාපනයද අතරමග කඩාකප්පල් විය. එහෙත් පසුගිය මාස හයක පමණ කාලයේදී යළිත් පෙර පැවති ආර්ථීක තත්ත්වය යළි ළඟා කර ගැනීමට බ්‍රසීලය සමත් වූ අතර දැන් ඔවුන් එහි සතුට භුක්ති විඳිමින් සිටිති.

බ්‍රසීලයේ සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයක් වන සම්බා නර්තනය හැදැරීම සඳහා විශේෂ වූ පාසල් රැසක්ද ස්ථාපිත කර තිබේ. මේවායේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ එකම අභිප්‍රාය වන්නේ මේ වාර්ෂික සම්බා උත්සව මාලාවට සහභාගී වෙමින් දස්කම් දැක්වීමයි. දැන් කොවිඩ් අවසන් කළ බ්‍රසීලය සම්බා නර්තනය සමඟින් සතුටු සයුරේ ගිලෙමින් සිටී.

 ටිරෝනි වෑවලගේ

Comments