එක එක දේවල් ගාන්න කලින් ඔබේ සම හඳුනා ගන්න | සිළුමිණ

එක එක දේවල් ගාන්න කලින් ඔබේ සම හඳුනා ගන්න

වියළි සම මලානිකයි; ඒ වගේම තදයි

 ප්‍රාණවත් බවකින්  යුතුව දිස්වෙන්නේ  සාමාන්‍ය සමයි

තෙල් සහිත සම ප්‍රාණවත් නැහැ

 

අපි හැම දෙනාම හැමදෙනාම කැමති නිරෝගී පැහැපත් සහ දිදුලන සමකට. ඉතින් බොහෝ දෙනා තමුන්ගේ මේ ඉලක්කය සපුරා ගන්න විවිධ දේවල් කරනවා. මේ අතර වඩාත් ජනප්‍රිය වන්නේ විවිධ ක්‍රීම් වර්ග භාවිතය, විවිධ ෆේස් වොෂ් වර්ග භාවිතය, සීරම් වර්ග භාවිතය එවැනි දේවල්. මේ සියලුම දේවල් සරලව අපි කියන්නේ බාහිර සත්කාර කියලා. බාහිර සත්කාර විදියට යම් නිෂ්පාදනයක් හෝ ආලේපනයක් භාවිත කිරීමට ප්‍රථමයෙන් අපි කළ යුතු නමුත් බොහෝ දෙනා අමතක කරන දෙයක් තියෙනවා.

 

ඒ තමයි අපි අපේ සම නිවැරදිව හඳුනාගෙන තියෙනව ද කියන දේ? මොකද අපි නිෂ්පාදනයක් හෝ පිළියෙල කරන ලද ආලේපනයකින් සමට බාහිරව සත්කාර කරන්නේ නම් ඒ දේ අපේ සමේ ස්වභාවයට ගැළපෙනවාද කියන දේ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිනම් සම මත විවිධ ආසාදන ඇතිවීම අවර්ණ වීම සහ සම මලානික වීම වැනි අතුරු අනිසි ප්‍රතිඵල ඇතිවීමට හැකියාවක් තියෙනවා.අපි අද සම වර්ග සහ ඒවාගේ මූලික ලක්ෂණ පිළිබඳ ඉතාමත් සරලව විමසා බලමු.

 

සමේ ස්වභාවය අනුව සම ප්‍රධාන වර්ග පහක් ලෙස වෙන්කර දැක්වීමට පුළුවන්, ඒවා නම්

සාමාන්‍ය සම ( Normal skin )

වියළි සම ( Dry skin )

තෙල් සහිත සම ( oily Skin )

මිශ්‍ර ලක්ෂණ සහිත සම (Combination skin)

සංවේදී සම (Sensitive skin)

 

අපි දැන් මේ සමහරු පිළිබඳ සරල අවබෝධයක් ලබා ගනිමු.

 

සාමාන්‍ය සම

මෙම සම වියළි බව හා තෙල් සහිත බව ඉතාමත් අඩු සමකි. බොහෝවිට සම ප්‍රාණවත් බවකින් යුතුව දිස්වේ. සම මත මෘදු බව සහ ඇදෙන සුළු බව විශේෂ ලක්ෂණයක් වේ.

 

වියළි සම

වියළි සමෙහි විශේෂිත ලක්ෂණ වන්නේ වියළි බව නිසා ඇතිවන මලානික බව සහ තද ගතියයි. මේ සම සහිත බොහෝ දෙනාගේ සමෙහි ඇදෙන සුලු භාවය ඉතාමත් අඩුයි. යම් අවස්ථාවලදී රතු ලප සහ සම මත ඉරි තැළීම් වැනි ලක්ෂණ ද දැක ගැනීමට පුළුවන්. වියළි බව නිසා සමයේ පොතු ගැලවීම ද ඇතැම් අවස්ථාවලදී දකින්න පුළුවන්. ඉතින් ඔබ සමට සත්කාර කිරීමේදී සමේ වියළි බව අඩු වන ආකාරයට සත්කාර තෝරා ගැනීම ඉතාම වැදගත්.

 

තෙල් සහිත සම

මේ වගේ සම ඉතාමත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. තෙල් සහිත බව නිසා දිලිසීමක් සහිත නමුත් සම ප්‍රාණවත් බවක් පෙන්නුම් කරන්නේ නැහැ. විශාල ප්‍රමාණයේ රෝම කූප පැවතීම, බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතාමත් ඉක්මනින් ඇතිවීම,

සම මත කුණු දූවිලි රැඳීම අධික වීම වැනි විශේෂ හඳුනා ගැනීම් මෙහි ලක්ෂණ වෙනවා. මෙවැනි සමකට හිමිකම් කියන අයෙකු සමයේ තෙල් සහිත බව පාලනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

 

මිශ්‍ර ලක්ෂණ සහිත සම

මේ වර්ගයේ තෙල් සහිත බව සහ වියළි ස්වභාවය යන දෙකම එකම සම මත දකින්නට පුළුවන්. බොහෝවිට නළල නාසය සහ නිකට ප්‍රදේශය තෙල් සහිත වීමත් අනිකුත් ප්‍රදේශ වියළි වීම හෝ සාමාන්‍ය වීම මෙහි දී දකින්න පුළුවන්. තෙල් සහිත ප්‍රදේශය තුළ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් වැඩිපුර ඇතිවීමේ ඉඩකඩ ඇති නිසා පිරිසිදු කිරීමේදී වැඩි අවධානයක් තෙල් සහිත ප්‍රදේශයට යොමු කිරීම කළ යුතු වෙනවා.

 

සංවේදී සම

සංවේදී සම ඉතාමත් විශේෂ වර්ගයක්. සම මත යම් ආලේපනයක් ගැල්වූ විට කැසීම් රතු වීම සහ දැවිල්ල වැනි ලක්ෂණ ඇත්නම් එම සම සංවේදී කාණ්ඩයට අයත් වෙනවා. මේ අය නිෂ්පාදන භාවිත කිරීමේදී කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතු අතර ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පවා ලබා ගැනීම යෝග්‍ය වෙනවා. සංවේදී සමක් ඇති අය එය හඳුනා ගැනීමත් ඒ තුළින් බාහිර සත්කාරවලදී ප්‍රවේශම්කාරීව සත්කාර කිරීමත් ඉතාමත් වැදගත් දෙයක්.

ඉතින් මේ ප්‍රධාන වර්ග පහ අතරින් ඔබේ සමේ ස්වභාවය හොඳින් වටහා ගැනීම ඔබගේ සමේ සෞඛ්‍ය සහ දීප්තිය මනාව පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් කාරණයක්. විවිධ ආලේපන භාවිතයේ දී ද තමාගේ සමට ගැළපෙන ආලේපන තෝරා ගැනීමටත් ඒ තුළින් අතුරු අනිසි ප්‍රතිඵල වළක්වා ගන්න කියන යෝජනාවක් එක්කම අදට අපි නතර වෙනවා. හැබැයි නිකන්ම නෙවෙයි ඉහත පැහැදිලි කළ විවිධ සම වර්ග වලට සත්කාර ක්‍රම ඉදිරියේදී අරගෙන එන බලාපොරොත්තුවෙන්.

Comments