ලාංකේය එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසගතවන අමරණීය බල්ටියේ හිමිකාරයා බල්ටි රේමන් | සිළුමිණ

ලාංකේය එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසගතවන අමරණීය බල්ටියේ හිමිකාරයා බල්ටි රේමන්

 

එල්ලේ ක්‍රීඩාවට ගුවන් කරණම හඳුන්වාදීමෙන් නොමැකෙන නමක් තැබූ රේමන්ඩ් අප්පුහාමි මෙළොව එළිය දකින්නේ 1949 දෙසම්බර් 05දා ය.අම්මායි තාත්තයි එක්ක සම්පුර්ණ පවුල සහෝදරයෝ හත් දෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙකි. අනෙක් දරුවන් මෙන් රේමන්ඩ් ද සිය පාසල් දිවිය අරඹන්නේ දන්කොටුව ගොඩැල්ල රෝමානු කතෝලික කනිෂ්ඨ විදුහලිනි.පාසල් සමයේ සිට ප්‍රදේශයේ අනිත් ළමුන් මෙන් ම ඔහුත් එල්ලේ ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන්නේ සිය පියාත් සහෝදරයිනුත් එල්ලේ ක්‍රීඩාවේ නිරත වන අයුරු නිතර ම ඇස ගැටුණු නිසාවෙනි.වයස අවුරුදු 14 සම්පුර්ණ වෙද්දී ම එල්ලේ ක්‍රීඩාවට පුර්ණ වශයෙන් ම යොමුවන රේමන්ඩ් අප්පුහාමි හාපුරා කියා එක්වන්නේ රෙඩ් ඇරෝ කණ්ඩායමට ය. පසුව සිය සහෝදරයා ද නියෝජනය කරන දන්කොටුව සුහද කණ්ඩායමට එකතු වන්නේ තරුණ වියේදීමය. ඒ වන විට අප්පුහාමි පවුලේ සියලු ම සහෝදරයන් එල්ලේ ක්‍රීඩාවට අත්පොත් තබා අවසන් ය.

දන්ෙකාටුව සුහද ට එක්වූ දා පටන් සිය තුන් ඉරියව් දස්කම් වඩ වඩාත් ඔප් නංවාගන්නා ඔහු සුහද ට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට ක්‍රමයෙන් පත්වෙයි. රේමන්ඩ් අප්පුහාමි ශ්‍රී ලංකාව පුරාම එල්ලේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා සමාජවල නරඹන්නන්ගේ කතාබහට ලක්වන ක්‍රීඩකයෙක් බවට පත්වන්නේ කවුරුත් නොකළ නැවුම් අත්දැකීමක් වූ ගුවන් කරණම පිටියට ගෙන එමින් ය. ඒ නිසාම ඔහු එකල ප්‍රකට වුයේ බල්ටි රේමන් නමින් ය. මෙරට එල්ලේ ක්‍රීඩාව පවතිනා තුරු එකී නාමය ඉතිහාසගත වන බව නොරහාසකී.

අන්තිම කඩ ඉමේ නැත්නම් තුන්වැනි කඩ ඉමේදී මම බල්ටියක් ගහලා තමයි ලකුණ සම්පුර්ණ කරන්නේ.මේ වගේ දෙයක් ඒ දවස්වල කවුරුවත් කරලා නෑ. ඒ හින්දා තමයි මට බල්ටි රේමන් කියන්න පටන් ගත්තේ.

එල්ලේ ක්‍රීඩාවේ සැබෑ ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වු බල්ටි රේමන් එල්ලේ කට්ටි අතර ධාවනයේ යෙදෙමින් ගුවනේ පියාඹා කරණමක් ගසා බිම පතිත වීම එකල නරඹන්නන් මවිත කරන දෙයක් වී ඇත්තේ එවන් අත්දැකිමක් දැක නොතිබු නිසාවෙනි. අද එල්ලේ ධාවන පථයේ කරණම් ගසන ක්‍රීඩකයන් කොතෙකුත් සිටියත් ඒ තරම්ම දුරට කරණමක් ගසන ක්‍රීඩකයෙක් නැති බව බල්ටි රේමන් පවසන්නේ ද, මුවඟ සිනාවක් ද රඳවා ගනිමින් ය. එකී වකවානුවේ සුහද නාමය ඉහළින්ම බැබළීමට බල්ටි රේමන් සේම පෝල් පෙරේරා, ඇන්ටනී, සිරිල්,ස්ටැන්ලි, වැනි දැවැන්ත එල්ලේ ක්‍රීඩකයන් පෙරමුණ ගත් හෙතෙම ආදරෙන් සිහිපත් කරයි.ඒ නිසා ම හැත්තෑව සහ අසූව දසකවල මුල් කාලයේ ඔවුන් ලාංකීය එල්ලේ පිටියේ නොමැකෙන නමක් තබා ගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටි ප්‍රබල ම එල්ලේ කණ්ඩායම විය.

1974 අනුරාධපුරයේ පැවති පළමු ජාතික ක්‍රීඩා උ‍ෙලළේ පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි බල්ටි රේමන් ප්‍රමුඛ දන්කොටුව සුහද කණ්ඩායම , ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි හැදල සාගර පරාජය කරමින් ශූරතාව දිනා ගත් අතර, එකී තරගය පළමු ඉනිමේ ක්‍රීඩාංණයෙන් එළියට දැවැන්ත පහරවල් හතරක් එල්ල කරමින් ලකුණු 4 ක් රැස් කර ගත්තේ එකී තරගය අවසන් වීමට පෙරම තරගයේ වීරයා එනම් ජාතික ශූරයාට ඇවැසි සියලු සුදුසුකම් සපුරාලමින් ය. එතැනින් නොනැවැතුණු හෙතෙම පිටියේ දක්ෂ ලෙස පන්දු රකිමින් ද, සුපුරුදු ධාවන දස්කම් නිසා ම බල්ටි රේමන් ජාතික එල්ලේ ශූරයා වන්නේ සුහද නාමය තව තවත් ඉහලට ඔසවා තබමින් ය. අනතුරුව 1976 ජාතික ක්‍රීඩා උ‍ෙලළේ ශූරතාව ත්‍රිකුණාමලයේ දී දන්කොටුව සුහද කණ්ඩායම රැගෙන එන්නේ ද බල්ටි රේමන් ප්‍රමුඛ දැවැන්තයන් ය.එකී ක්‍රීඩා උ‍ෙලළේ ශූරයා වන්නේ බල්ටි රේමන්ගේ සහෝදරයා වූ ඇන්ටනි අප්පුහාමියි.

අයියා වැල්ලම්පිටිය රණකාමී තරගයේ දී ලකුණු හයක් ලබා ගත්තා.

බල්ටි රේමන් ව එකල පිටියේ කඩ ඉම් රකින්නන් තුන්දෙනෙක් රැක්ක ද ඔවුන්ව එතරම් තර්ජනයක් නොවු අතර, බල්ටි රේමන්ගේ එකී තුන් ඉරියව් දස්කම් නිසා ම සුගතදාස පිටියේ පැවති ගම්බද නගරබද තරගයක් තුළ ගම්බද පිල නියෝජනය කිරීමට බල්ටි රේමන්ට අවස්ථාව හිමි ව තිබේ.

මම ගම්බද නියෝජනය කළේ අපි ඒ තරගයත් දිනුවා

ගලහිටියාව මධ්‍ය මහා විදුහල් පිටියේ අසූව දසකයේ මුල පැවති හොරගොල්ල දීපශිකා වයික්කාල නූරාණි උළු කම්හල් කණ්ඩායම් අතර ප්‍රදර්ශන තරගයක් තුළදී පිතිකරුවෙක් ලෙස කෙළින් දිසාවත් ඔෆ් කලාපයත් ආක්‍රමණය කරමින් ලකුණු රැස් කල අයුරුත්, කෙළින් අත දිසාවෙන් දියත් කළ පන්දු පහර උඩ පන්දුවක් ලෙස දීපශිකා ක්‍රීඩකයෙක් තමා දවා නොගන්නට එදා ඒ තරග ප්‍රතිඵල වෙනස් වන්නට බොහෝ දුරට ඉඩ තිබු බව ද බල්ටි රේමන් සිහිපත් කරයි. අනතුරුව 85 පමණ හැදල සාගර ක්‍රීඩාංගණයේ පැවැති දීපශිකා සහ සුහද තරගයක් තුළ ද බල්ටි රේමන් සුවිශේෂි දස්කම් දක්වා තිබේ. එකී වකවානුවේ ම මාටාගොඩ පිටියේ මාටාගොඩ ආනන්ද කණ්ඩායමට එරෙහිව තරගයක් තුළ දන්කොටුව සුහද ට ජයග්‍රහණයට ලකුණු 8 ක අභියෝගයක් එල්ලවූ අවස්ථාවේ බල්ටි රේමන් තනියෙන් 8 න් 6 ක් ලබාගත් ඉනිම අමතක නොවන බව ද පවසයි.

1980 බදුල්ලේ තිබ්බ ජාතික ක්‍රීඩා උ‍ෙලළේ අපේ කණ්ඩායමේ නායකයා වුණේ මම , කෝපියාවත්ත ජය ශ්‍රී තරගයෙන් අපි දිනුවා. ඒ තරගයෙත් හොඳම ක්‍රීඩකයා වුණා.ඔය අතර කාලයේ අපි 1974,76,79 සහ 80 ජාතික ශුරතා දිනුවා. 1973,75 සහ 77 අනුශූරතා තුනක් දිනලා තියෙනවා.

දන්කොටුව සුහද පිල 1985 දී මෝරුක්කුලිය රන්තරු තරග මාලාවේ අවසන් තරගය තුල එදා ජාතික ශූරතාව පවා දිනමින් කාගේත් සිහින කණ්ඩායම වූ තොටළඟ අරුණ කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනා ගත් අයුරු බල්ටි රේමන් අදටත් සිහිපත් කරන්නෙ මහත් අභිමානයෙනි .එකී තරග මාලාව තුළදීත් බල්ටි රේමන් ප්‍රබල දස්කම් දක්වා ඇත. අනූව දසකයේ මුල් වකවානුව වන විට දන්කොටුව සුහද නාමය ටිකෙන් ටික එල්ලේ පිටියෙන් මැකී ගොස් තිබේ. ඒ ගැන බල්ටි රේමන් තුළ ඇත්තේ බලවත් කනගාටුවකි.

Comments