![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/29/14.jpg?itok=1OAYFKPG)
කෞෂල්‍යා මධූ මේ පාර නතර වෙන්න හිතන කොට!
2019 ගුවාහාති සාග් උෙලළේ මීටර් 4x400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ තුන් වෙනි වටය දිව්වේ කෞෂල්‍යා.
ගයන්තිකා අබේරත්න ඉන්දියාවටයි, පාකිස්තානයටයි පිටිපස්සෙන් දුවගෙන එනකොට කකුලක් කරකව කරකව නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කෞෂල්‍යා,
කෞෂල්‍යා අරන් දුවන්න කියලා පසුබිමෙන් කවුදෝ පිරිමි කෙනෙක් කෑ ගහනකොට ගයන්තිකාගෙන් යෂ්ටිය ඩැහැගෙන ඊ ගහක වේගයෙන් දිව්වේ කෞෂල්‍යා
පෝනිටේල් දාපු කොණ්ඩය රූං පෙත්තක් වගේ කරකවාගෙන ඉන්දියාවට විතරක් දෙවැනි වෙමින් ඩිල්ෂි කුමාරසිංහට යෂ්ටිය බාර දුන්නේ කෞෂල්‍යා
සාග් තරගාවලි ඉතිහාසයේ 4x400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම මුල් වරට ලංකාව දිනා ගන්න කොට ඒ තරගයේ තුන්වෙනියට දිව්වේ කෞෂල්‍යා
මේ පාර නතර වෙන්න හිතන කොට ' කෞෂල්‍යා අරන් දුවන්න, කියලා කෑගහලා කියන්න කවුරුත් ම හිටියේ නැද්ද කෞෂල්‍යා?
(උපුටා ගත්තේ මුහුණු පොතෙනි)
ලෝකයේ සාර්ථකත්වය කරා යන බොහෝ මිනිසුන් කටුක සහ දුෂ්කර ගමන් මඟක යමින් ජීවිත හැඩ වැඩ කරගත් අයයි. දුෂ්කරතාවලට අභියෝග කරමින් ජීවිතය දිනන්නට වෙර දරන ඇතැම් අය දිනුම් කණුව පෙනි පෙනී අභියෝග අත්හැරීම් කරනු ද අප දැක නැතුවාම නොවේ. අප හැමෝට ම ප්‍රශ්න තිබේ. නමුත් පියවි සිහිය තියෙනවා නම්, මිනිස්සු සිය දිවි නසා නොගන්නා බව ඔබ දන්නවා ඇති. මානසික ආතතිය නිසා සිය දිවි හානි කරගන්නට මනසට බලපෑම් එයි. ඕනෑම පුද්ගලයකුට මැරෙන්න හිතෙන්නේ මනස රෝගී වූ විටය. එවිට පියවි සිහිය ඇත්තේ නැත. ඒක ඔබට, මට හැමෝටම පොදු කරුණකි. ඒත් උත්තරය ?
පසුගියදා ලක්මව රනින් සරසන්නට පෙරුම් පිරූ 26 හැවිරිදි ක්‍රීඩා තරුවක් නිවී යන්නේ කාටත් හොර රහසේ ගෙල වැලලා ගෙන ය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා සංචිතයේ සේවය කළ ලාන්ස් කෝප්රල් කෞෂල්‍යා මධුෂානි ය. වැඩි දෙනෙකු ඇය හඳුනන්නේ ක්‍රීඩා පිටියේ දැන හඳුනා ගන්නේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියක ලෙස ය.
පසුගිය 23 වැනිදා හෝමාගම , දියගම දී පැවති ලාංකේය මලල ක්‍රීඩා සියවැනි (100) සැමරුම් ශුරතා තරගාවලියේ දී ද පස්වන වරටත් මීටර් 400 කඩුලු මත දිවීමේ තරගයේදී ජාතික වාර්තාවක් තැබූ ක්‍රීඩිකාව ඇයයි.
කුලියාපිටිය, දුම්මලසූරිය, තෝර බිත්තිය, පඩිවෙල, ප්‍රදේශයේ පදිංචි මධුෂානි කුඩා කලදීම පිය සෙනෙහස අහිමි වුවත්, ආදරණීය මවගේ සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් ආදරේ ලබමින් ජීවිතය දිනන්නට වෙර දැරූ පවුලේ බඩපිස්සියයි.
ඇය පසුගිය 23 වෙනිදා හවස රන් පදක්කමත් තුරුලු කරන් මව සමඟ ජීවත් වන නිවසට ගොඩ වන්නේ තවත් යෙහෙළියක් සමඟ ය. ඒ ක්‍රීඩාව නිසා ම හඳුනාගත් ඇගේ හොඳම යෙහෙළියකි. ඈ එදින මදුෂානිගේ නිවසේ නවතින්නේ ඇගේ තනියට ශක්තියක් වෙමිනි. ඒ වන විටත් මව මධුෂානිගේ සොයුරියකගේ නිවසකට පිටත්ව ගොස් සිටි නිසා මධුෂානිගේ යෙහෙළියට මධුෂානි සමඟ රැය පහන් කරන්නට සිදුවිය. පසුදා උදෑසන මධුෂානිගේ දිවියේ ඉරණම විසඳෙන දිනය යැයි යෙහෙළිය සිහිනයකින්වත් නොසිතන්නට ඇත. මධුෂානිගේ යෙහෙළිය නිවසින් පිටත්ව ගිය පසු මධුෂානිගේ නිවසේ ආසන්නයේම පදිංචි ඇගේ ලොකු අක්කා ප්‍රියංගනී සුසීමා (44) උදෑසන ආහාරය ගැනීමට ඇයට එන ලෙස කතා කළ නමුත්, කෑම ගැනීම මධුෂානි පසුවට දැමුවා ය. ඒ නිසා මධුෂානිගේ වැඩිමල් සොයුරිය ආපසු තමාගේ නිවස කරා ගියා ය. උදෑසන 9 ට පමණ මධුෂානිගේ වෙනත් යෙහෙළියක් ඇය හමුවීමට පැමිණීම නිසා ඇය තම වැඩිමහල් සොයුරිය සමඟ මධුෂානිගේ නිවසට එනවිට මධුෂානි ගේ නිවසෙහි දොරගුළු වසා දමා තිබිණි. මධුෂානිගේ කාමරේ ජනේල් පියනට තට්ටු කර හැර බලන විටත් නංගි දණ ගසාගෙන බිම සිටි ආකාරය ඇගේ සොයුරිය දුටු බව මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදෙමින් කියා සිටියා ය.
මධුෂානි ගෙල වැලලාගෙන සිටි ආකාරය දැකීමත්, තම සොයුරියගේ විලාපයත් මුළු ප්‍රදේශය පුරා පැතිරි ගියේ ඒ සැණින් මධුෂානි ජීවිතයෙන් නික්ම ගිය පණිවිඩය ද පතුරුවමිනි.
ඇයගේ මියයාම පිළිබඳ ඇගේ මව වන, නාලනී කුසුමලතා (66) කියා සිටියේ ,
අනේ දුවට මොකක් වුණාද කියල හිතාගන්න බෑ . එයා අකීකරු දරුවෙක් නෙවෙයි .මං ගැන හොඳට හොයලා බලමින් වැඩ කරන දක්ෂ දරුවෙක්. ඔය සිද්ධිය වෙච්ච දවසේ මම ගෙදර හිටියේ නෑ . ඒත් ලොකු දුවගේ ගෙදරත් අපේ ගේ ළඟම තියෙන්නේ. ලොකු දුව මෙයා ගැන හොයලා බලලා. කෑම දෙන්න උදේ කතා කරනකොට පස්සේ කනවා කීවලු. ඊට පස්සෙ තවත් ටිකක් වෙලාවකින් එයාගෙ යාළුවෙක් එක්ක ගෙදරට යන කොටයි මේ සිද්ධිය දැකලා තියෙන්නේ.
මධුෂානිගේ නිසල දේහය රෝහල කරා රැගෙන ගියේ ඇයගේ වැඩිමහල් සොයුරියගේ ස්වාමිපුරුෂයා (46) මිල්රෝයි ප්රසන්දික ය.
අපේ නෝනා උදේ මෙයාට කෑම කන්න කතා කළා. එයා පස්සේ කනවා කිව්වා නිසා එයා ආපහු ඇවිත්, පස්සේ යාළුවෙකුත් එක්ක යද්දි නංගී ඇඳ ළඟ ඉන්නවා දැකලා. අපි එයාව රෝහලට අරන් ගියා. එයාගේ මරණය ගැන අපට වෙනත් කිසිදු සැකයක් නැහැ.
තත්පර 58.73 කාලයක් තුළ කඩුලු මතින් මීටර් හාරසියයක් දිව ගොස් රනින් පිදුම් ලැබූ ඇයට ජීවිතය හැර යාමට ඒ තරම්වත් කාලයක් වැය වී නැත. එහෙත් අවස්ථාව ලද හුදෙකලා වූ මොහොතක ඇය ඇගේ ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණි.
2024 දී ඔලිම්පික් සිහින මැවූ ඇය 2016, 2017, 2019, 2021, 2022 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශුරතා ඇය නොකඩවා හිමිකර ගත්තාය.
මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපන කටයුතු හමාර කරනු ලැබුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සංවිධානය කළ තිස් තුන්වන ජාතික යෞවන ක්‍රීඩා උෙලළේ දී ,ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්රීඩිකාවකී. 2014 තායිලන්ත බැංකොක් සංචාරයේදී ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා උෙලළේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම. 2019 දකුණු ආසියානු ක්‍රීඩා උෙලළේ මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කමක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක ද වුවා ය.
ඇගේ ක්‍රීඩා දක්ෂතා පිළිබඳ ප්‍රදේශයේම ක්‍රීඩා පුහුණුකරුවකු වූ ඩබ්ලිව් සේනාධීර කියන්නේ,
මේ ක්‍රීඩිකාව ඉතාමත් ධෛර්යය සම්පන්න ක්‍රීඩිකාවක්. ඇය, ඇගේ ජීවිතය පටන් ගත්තෙ බින්දුවෙන්. ඇය ඒ ජීවිතයෙන් පරාජය වෙන්න ඕන කාලෙ පහු කරලයි හිටියේ. ගොඩක් ප්‍රශ්න එයාට ජීවිතයේ දී මුල් කාලයේදී තිබුණත්, ඒ ප්‍රශ්න වලින් ජය ගන්නට තරම් ඇය ශක්තිමත්ව හිටියා. අපට හිතන්න බෑ මේ සිද්ධ වෙච්ච දේ. ඇය ක්‍රීඩාවෙන් ඉහළට යද්දි ගොඩක් උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා.
කෞෂල්‍යා මෙන්ම මීට සති දෙකකට පමණ පෙර අපට මෙවැනි ම කම්පනයක් ඇති කරමින් දිවි නසා ගැනිමක් මලල ක්‍රීඩාවෙන් ම අසන්නට ලැබූණී. ඒ චරිත් මධුශංක ය. චරිත් අභිරහස් ලෙස මිය ගියේ ද ගෙල වැලලා ගෙන ය. මෙම මරණ දෙකම එකිනෙකට සම්බන්ධයක් ඇතැයි අපි නොකියමු. නමුත් දෙදෙනා ම මිය ගොස් ඇත්තේ එකම ක්රමවේදයකටය. එනම් එක වගේම තම දෙමාපියන්ට ලිපි යොමු කරමින් ය. ඒ වගේම දෙදෙනාම සේවය කර ඇත්තේද එකම සන්නද්ධ සේවාවක ය. මෙකී මරණ දෙක ම රටට ප්‍රශ්නාර්ථයකි.
ජාත්‍යන්තරය අබිමුව රටට කීර්තියක් රැගෙන ආ මෙම ක්‍රීඩකාව රටකට කීර්තියක් රැගෙන ආ හැකි මෙම ජාතික තලයේ ක්‍රීඩකයා යන දෙදෙනාම රටට සම්පත් වුවද ඔවුන් තම තමන් ගැන තබා තිබූ අගය ප්රශ්නාර්ථයකී. නැතිනම් බාහිර බලපෑම් නිසා, ආදරය නිසා හෝ අනාදරය නිසා මෙවැනි අත්තනෝමතික කම්පනයක් තම දෙමාපියන්ට ගුරුවරුන්ට මෙන්ම ජාතික ක්රීඩාවටම ඉතිරි කර ක්‍රීඩා පිටියෙන් සදහටම සමු ගත්තේ මානසික ආතතියකින්ද? මෙය උභතෝකෝටිකයකී.
දිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි චරිත් මධුශංක දිගු දුර ධාවකයෙකි. සමස්ත ලංකා තලයේ ක්‍රීඩකයකු දක්වා කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ජාතික තලය දක්වා පැමිණි ගමනේදී හංවැල්ල රාජසිංහ ජාතික පාසලෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකී. ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අභිමුව සිටි මධුශංක සන්නද්ධ සේවයට එක්ව පුහුණුවිම්වල නිරතව සිටිමින් මෙසේ සිය දිවි තොර ගෙන තිබේ.
ඉබ්බාගමුව සමූහ කුමාරි දිසානායක
ඡායාරුප - Ceylon Athletics /
Thepapare.com කුමාරි දිසානායක
රටම කම්පා කරමින් දිවි කඩුල්ල නිමා කර ගත්තේ ඇයි?