
රංගනය වෘත්තියක් හැටියට කරන්නේ නැහැ; ඒක මගේ විනෝදාංශයක්
මම මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි නිර්මාණවලට දායකත්වය දෙන්නේ
ඇය පාසල් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පිනියකි. ගැයුමට මෙන්ම නර්තනයට ද එක ලෙස දක්ෂතා පෙන්වන්නියක ද වූවාය. ඇය රංගනයෙන් දායක වූ මුල්ම ටෙලිනාට්‍ය වන්නේ සහන් විජේසිංහ අධ්‍යක්ෂණය කළ "සරදම" ටෙලි නාට්‍යයයි. සරදමෙහි ප්‍රේක්ෂකයා වඩාත් ඇද බැඳ ගත් විශාකාගේ දුවගේ චරිතයකට ඇය පණ පෙව්වාය. ඇය වත්සලා නිසංසලා නම් වූවාය. අප ඇය සමඟ කළ කතා බහ මෙසේ දිග හරිමු.
අවුරුදු කුමාරිට කවදා හරි දවසක රංගන ශිල්පිනියක් වෙන්න හැකි වෙයි කියලා හිතුවාද ?
මම හිතුවේ නෑ එදා මට අවුරුදු කුමාරි වෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් මගේ වාසනාවකට මම පිට පිටම අවුරුදු තුනක් අවුරුදු කුමාරිය වුණා. හැබැයි මට අන්තිම අවුරුද්ද තමයි මේ වාසනාව උදා වුණේ ඒ මහේන්ද්‍ර පෙරේරා සහ රන්ජන් රාමනායක කියන ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනා නිසයි. ඔවුන් එදා මාව රංගන ක්ෂේත්රයට යොමු කළේ නැත්නම් අද මම රංගන ශිල්පිනියක් නොවෙන්න තිබුණා.
එදා අවුරුදු කුමාරියක් වූ ඔබට වෙනත් කිසියම් හෝ අරමුණක් තිබුණාද ?
මම නර්තනයට වඩාත් කැමති නිසා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි වැඩි කැමැත්ත තිබුණේ. දැන් ඒ සියලුම දේවල් සමබරව කරගෙන මම මේ ගමන යනවා.
ඔබ කාලයක් හෙදියක් ලෙස කටයුතු කළා නේද ?
මම කොළඹ ජාතික රෝහලේ ස්නායු අංශයේ ඩොක්ටර් රංජනී ගමගේ යටතේ සේවය කළා. මම හෙදි වෘත්තියේ සේවය කළේ කෙටි කාලයයි. මගේ පෞද්ගලික හේතු නිසා සේවයෙන් ඉවත් වෙන්න සිදු වුණා. මට දැන් හිතෙනවා එදා මම හෙද සේවයෙන් ඉවත් වුණේ අපරාධයක්නෙ කියලා.
ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවාද ?
සරදම ටෙලිනාට්‍ය මගේ මුල්ම නාට්‍යයි. කළු අරලිය, සල්ලි තිබුණට මදි, පත්තිනි, ඉතින් ඊට පස්සේ, කළලය, පාළු රාත්‍රිය සහ තාරුකා යන ටෙලි නාට්‍යවලටත් චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. ජොලි හලෝ, ටාසන්, රිලෝඩ්, හරි අපූරු යාළුවෝ, බුද්ධි, එක රෑනේ කුරුල්ලෝ, සහ වේදිකා නාට්‍යය වන තට්ටු ගෙවල්, අයියාගේ සිහිනය, වෙස් ගත්තෝ, සහ සභාවෙන් අවසරයි වේදිකා නාට්‍යය කිහිපයත් මම රංගනයෙන් දායක වුණා.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයේ වඩාත් ජනප්‍රිය ඇවිදින මංතීරු හා ඩබල් ගේම් කියන නාට්‍ය ගැන කවුරුත් කතා වෙනවා නේද ?
ඔව්. ඔබ හරි. මේ දිනවල කවුරුත් කතා බහ කරන්නෙත් ටොනී සහ බිංදු (බන්දු සමරසිංහගේ duplicate) එක්ක කළ සමාජ මාධ්‍ය ඇවිදින මංතීරු හා ඩබල් ගේම් කියන නාට්‍ය ගැනයි. මේ වෙන විට ලක්ෂ ගණනක් මේ නාට්‍ය බලලා තියෙනවා. දැන් ඇත්තටම සමාජ මාධ්‍ය ජාලය තමයි ගොඩක් ප්‍රේක්ෂකයෝ නරඹන්න පුරුදුවෙලා තියෙන්නේ. ඒ නිසා ඒක හොඳ ලක්ෂණයක් වගේම හොඳ උත්තේජනයක් කියලා මට හිතෙනවා. මේකත් සමඟ තව නාට්‍ය දෙකකුත් අපි කරලයි තියෙන්නෙ. ඒ දෙකත් මේ වගේම ජනප්‍රිය වෙයි කියලා මට හිතෙනවා.
ඔබ සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය කියන අංශ තුනෙන් වඩාත් කැමැති කුමකටද ?
මම වේදිකාවට ගොඩක් කැමැතියි. වේදිකාව තමයි රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තියන හොඳම තෝතැන්න. එතැනින් ඉගෙන ගෙන එනවා කියන්නේ සිනමාවත්, ටෙලිනාට්‍යවලත් හොඳ ගමනක් යන්න පුළුවන් වෙනවා.
නවක රංගන ශිල්පිනියන්ට ක්ෂේත්රයෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
හොඳ සහයෝගයක් ප්‍රවීණයන්ගෙන් සහ අධ්යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්ගෙන් ලැබෙනවා. ඒ වගේම තිරය පිටු පසින් සිටින අයගෙන් ද ඒ ආකාරයටම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ අතර ක්ෂේත්රයේ ඉන්න විවිධ අයගෙන් විවිධ යෝජනාත් එනවා. ඒවා තමන් තේරුම් අරගෙන වැඩ කටයුතු කළ යුතුයි.
රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට මේ රංගන ක්ෂේත්රයෙන් පමණක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා කියලා ඔබ හිතනවාද ?
මම නම් රංගනය වෘත්තියක් හැටියට කරන්නේ නැහැ. අද පවතින වාතාවරණයත් එක්ක තමන්ගෙ වෘත්තිය බවට පත් කරගත්තොත් ජීවත්වීම ටිකක් අපහසුයි. ඒ නිසා මම මේ ක්ෂේත්රයේ රැඳී සිටින්නේ කලාව විනෝදාංශයක් කර ගත් නිසායි. මම මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි නිර්මාණවලට දායකත්වය දෙන්නේ. සමාජයට මගෙන් යමක් ඉටු විය යුතුයි කියලා හිතන නිසයි. මුදල් ගැනම හිතලා නිර්මාණයකට සම්බන්ධ වුණොත් එය සාර්ථක වෙන්නෙ නැතිවෙයි කියලයි මම නම් හිතන්නේ. ඕනෑම කෙනෙක් ආශාවෙන් අවංකව ඇවිල්ලා නිර්මාණයට දායකත්වයක් දෙනවා නම් එය සාර්ථක නිර්මාණයක් වේවි.
ඔබේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මගේ අම්මා මගේ හැම කටයුත්තකටම පිටිපස්සෙන් ඉදලා හැමදාම මට යෝධ ශක්තියක් වෙනවා. එයා හින්දා තමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණේ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
තාරුකා, ටෙලි සිත්තම්, පාළු රාත්‍රිය සහ අලුත් ටෙලියක මේ දවස්වල රුප ගත කිරිම් කරනවා.
you tube නාළිකාවකට නාට්‍ය දෙකක් කරලා තියෙනවා. සුනිල් ටී ප්‍රනාන්දුගේ lock down හා ලක්ෂ්මන් ගාමිණී හේවාවිතාරණගේ සපුනා සිනමාපට දෙක ඉදිරියට එන්න තියෙනවා. ඒ ඇරුණාම වේදිකා නාට්‍ය කීපයකටත් කතා කරලා තියෙනවා.