හදවත පිරිමැදි රූපවාහිනියේ හදවතේ හතළිහ | Page 2 | සිළුමිණ

හදවත පිරිමැදි රූපවාහිනියේ හදවතේ හතළිහ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කළ, "හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය සංස්ථා පරිශ්‍රයේදී පසුගිය දිනෙක පැවැත්වුණේ අති උත්කර්ෂවත් ලෙසින්. "හදවතේ හතළිහක්" ප්‍රසංගය කියන්නෙම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කණ්ඩායමක් එකතුවෙන් ප්‍රේක්ෂකයාට තිළිණ කළ නවමු ප්‍රසාංගික අත්දැකීමක්. සිළුමිණ රසඳුන මේ සොයා යෑම "හදවතේ හතළිහක්" ප්‍රසංගයේ නිර්මාණ පසුබිම ගැන "හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගයේ පිටපත ලියන්නේ සහෘදය ජනමාධ්‍යවේදියකු වන නිලාර් එන් කාසිම්. ඒ නිසාම අපි මේ ප්‍රසංගය ගැන මුලින්ම ඔහුගෙන් විමසා සිටියා.

 

"හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය කියන්නේ රූපවාහිනී සභාපති සොනාල ගුණවර්ධන මහතාගේ ප්‍රමුඛත්වය ඇතිව අපේ පවුලේ කණ්ඩායමක් එකතු වෙලා සැලසුම් කළ ප්‍රසංගයක්. ඒ කණ්ඩායම තුළ චින්තක අනුරුද්ධ පෙරේරා, රංග ප්‍රේමරත්න, නලින් මාපිටිය, චන්දන සෙනෙවිරත්න ඇතුළු සමස්ත කණ්ඩායම සිහිපත් කළ යුතුයි.

ලංකාවේ ප්‍රමුඛතම රුපවාහිනී මාධ්‍යය විදියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැන් වසර 40ක් ඇවිත් තියෙනවා. ලංකාවේ ඊට පසු කොතරම් නාළිකා බිහිවුණත් ඒ හැම එකකම ආරම්භක කාල වකවානුවේ ඉඳලා පෝෂණය කළ නිර්මාණ ශිල්පීන් ජාතික රූපවාහිනියෙන් බිහිවුණු අය. ඒ වගේම ලංකාවේ ටෙලිනාට්‍යය සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ ජාතික රුපවාහිනිය. එතෙක් ගුවන් විදුලි මාධ්‍යය තුළ තිබුණු ගීතය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට රූපවාහිනී හැඩයක් සහිත ගීත බවට පත් කළේ ජාතික රුපවාහිනිය. මේ වගේ ලංකාවේ කලාව සන්නිවේදනය ප්‍රවෘත්ති, අධ්‍යාපන මේ හැම පැත්තකටම ජාතික රූපවාහිනිය දක්වපු දායකත්වය හරිම සුවිශාලයි. ඒ නිසා මේ වෙලාවේ ඒ සියල්ල මෙනෙහි කරමින් ප්‍රසංගයක් ප්‍රේක්ෂකයාට ලබාදීම තමයි අපේ අරමුණ වුණේ.

"හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය තුළ ස්මරණය වුණා රොබින් හුඩ්, ඔෂින්, මල්ගුඩි දවස, සුජාත දියණිය, චන්ගුමිගේ කතාව වගේ විවිධ රටවල සංස්කෘතික අත්දැකීම් අපේ නිර්මාණ හැටියට ලාංකේය ප්‍රේක්ෂකයාට ආවර්ජනය කළා. ඒ වගේම නන්දන වින්දන වගේ ප්‍රසංගවල ඉඳලා, නඳුන් උයන, මනෝහාරී, මියුරුසර, ආනන්ද රාත්‍රිය, යාත්‍රා වැනි වැඩසටහන්වලට සහභාගී වුණු ශිල්පින් එක්ක තමයි මේ ප්‍රසංගය කළේ. හතළිස් වසරක් නිසා හැම පරම්පරාවකටම අයත් හතළිහකට අධික ශිල්පින් සහභාගී වුණා.

සිංහල, දමිළ ශිල්පින් සහ මුස්ලිම් ශිල්පින් එකතුවෙන් විවිධ ජනවර්ග වල නියෝජනය මේ තුළ තිබුණා.

ඒ එක්කම මේ ප්‍රසංගය විචිත්‍රවත් කරන්න චන්න විජේවර්ධන, නේමාලි බුදවත්ත, චන්දන වික්‍රමසිංහ එකතු වුණා. ඒ ප්‍රධාන පෙළේ තුන්ගොල්ලොම එකම වේදිකාවක නටනවා දකින්නේ නැහැ. ඒ විචිත්‍රත්වය මේ තුළ අපුරුවට විදහා පෑවා. අනිත් පැත්ෙතනේ ඩිජිටල් තාක්ෂණය නව ආකාරයෙන් භාවිත කරපු ලාංකේය රූපවාහිනියේ ප්‍රාසංගික කලාවේ ඉදිරි තලයක් නව මානයක් සනිටුහන් කරන ප්‍රසංගයක් විදියට තමයි කෙරුණේ. ඒක නවීනයි සහ විචිත්‍රයි.

ලංකාවට රුපවාහිනිය දායාදයක් විදියට පිරිනැමුවේ ජපානය. ඒ නිසා ජපන් තානාපති ඇතුළු එහි නියෝජිතයන් මේ ප්‍රසංගයට අපි ආරාධනා කළා. ඒ තියෙන කෘතවේදීත්වයට මේ ප්‍රසංගය තුළ ජපන් සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කළා. මෑත අවදියේ ලංකාවේ රූපවාහිනී මාධ්‍යකින් කරපු ගුණාත්මක වශයෙන් විශාල දැවැන්ත ප්‍රසංගයක් "හදවතේ හතළිහක්" ප්‍රසංගය.

නිලාර් කියපු විදියට මෙහි දැවැන්ත කාර්ය භාරයක් ඉටුකරලා තියෙන්නේ මේ ප්‍රසංගයේ නිර්මාණ අධ්‍යක්ෂක චින්තක අනුරුද්ධ. ඒ නිසාම චින්තකගෙනුත් අපි මේ "හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය ගැන ඇහුවා.

ජාතික රූපවාහිනියේ 40වෙනි සංවත්සරය මුලික කරගෙන කරපු "හදවතේ හතළිහක්" ප්‍රසංගය කියන්නෙම සාමුහික ප්‍රයත්නයක සාර්ථක නිර්මාණ ප්‍රතිඵලයක්. දශක හතරක කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයා රසවින්ද සංගීත නර්තන ගායන වැඩසටහන්වල එකතුවෙන් අලුත් පරම්පරාවේ ප්‍රේක්ෂකයාටත් දැනෙන්න කරපු නව්‍යකරණය වූ සංගීත ප්‍රසංගයක්.

මම කවදත් කියන දෙයක් තමයි රූපවාහිනී නාළිකාවක් තුළ අන්තර්ගතය තුළ කොලිටි වැඩක් කරනවා නම් ඒ ජාතික රූපවාහිනිය කියන එක. ඒ තරම් අති දක්ෂ නිර්මාණශීලි පුද්ගලයන් රැසක් ඉන්න තැනක් ජාතික රූපවාහිනිය. අපි හැමදාම තිළිණ කරන්නේ පවුලේ සැමට එකට වාඩිවෙලා නරඹන්නට පුළුවන් වැඩසටහන්. එය මේ "හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය තුළිනුත් පිළිබිඹු කරන්නට හැකි වුණා. නැවතත් මම කියන්නේ මෙය සාමුහික හැඟීමක ප්‍රතිඵලයක්.

 

ජාතික රූපවාහිනියේ මුල්ම ගීතයේ අත්වැල් ගායනයටත් මම හිටියා එඩ්වඩ් ජයකොඩි

ජාතික රූපවාහිනියේ මුල්ම ගීතය ගායනා කළේ අමරදේව මාස්ටර් සහ නන්දා මාලිනි මහත්මියයි. ඒ “මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ” ගීතය. එහි අත්වැල් ගායනයට මම හිටියා. අත්වැල් වුණත් ඒ ගායනය අදත් මම දකින්නේ මගේ ජීවිතේට ලැබුණු ලොකු වාසනාවක් හැටියට. ඒ වගේම මුල්ම කාලේ ළමා වැඩසටහන් කරන්න මම දායක වුණා. ඒ වගේම මුල්ම ඒකාංගික ටෙලි නාට්‍යයක් වන බර්ට්‍රම් නිහාල්ගේ සාමයේ තරුව කියන නාට්‍යයේ මම රඟපෑවා.

මෙහි මුල්ම කාලේ තිබ්බ ටෙලි නිර්මාණ අතර එකක් තමයි සුදත් දේවප්‍රියගේ "අඹ යහළුවෝ" එහි තේමා ගීතය (කටු අකුලේ මල් ඇහැරේ ) ගායනා කළේ මමත් ටිලානි අමරසිංහත් ඇතුළු ළමා පිරිස. ඒක ලිව්වේ බන්දුල නානායක්කාරවසම්. සංගීතවත් කළේ ආනන්ද ගමගේ. මම පාසල් යන කාලේ මුලින්ම කියවපු නවකතාව තමයි ටී. බී. ඉලංගරත්නයන්ගේ "අඹ යහළුවෝ" නවකතා පොත. ඉතින් ඔය කරුණු එක්ක ජාතික රූපවාහිනිය මගේ හදවතේ තියෙන නාළිකාවක්. මේ නාළිකාව 40 වසරක් සමරද්දී හදවතේ හතළිහ නමින් විඳින්න හැකි ප්‍රසංගයක් නිර්මාණය කරලා තිබුණා. එහිදී මට ගයන්න ලැබුණේ මේ "අඹ යහළුවෝ" හි තේමා ගීතය.

 

මම රූපවාහිනියට යන්නේ මට අවුරුදු 9-10ක් වගේ කාලේ ඉඳන් සශිකා නිසංසලා

රූපවාහිනියට වසර 40ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් තමයි මේ වර්ණවත් ප්‍රසංගය සංවිධාන කරලා තිබුණේ. රූපවාහිනිය එක්ක මට තියෙන බැඳීම ගැන කියනවා නම් මම රූපවාහිනියට යන්නේ මට අවුරුදු 9ක් 10ක් වගේ කාලේ ඉඳන්. මුලින්ම මම ගියේ "උදාර" ළමා වැඩසටහනට. ලෙස්ලි සර් ධම්මිකා මිස් තමයි අපිට ගීත පුරුදු කළේ. ඊට පස්සේ අවිස්සාවේල්ල මානික්කාවත්තු මුතුහර ළමා සමාජයෙන් තරගවලට ගිහින් මුතුහර ළමා වැඩසටහන්වලට සහභාගී වෙලා තියෙනවා. මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව.

තුරුණු ශක්ති වලට පස්සේ නදුන් උයන වැඩසහනට මට ගීතයක් කරනවා රූපවාහිනියෙන්. "නිබඳව ඉකිලන" ඒක ලියන්නේ නිලාර් එන් කාසිම් අයියා සංගීතවත් කරන්නේ සමන්ත පෙරේරා. රූප රචනාව කළේ රවින්ද්‍ර මුණසිංහ අයියා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම රූපවාහිනී බිමේ හැදුණු වැඩුණු කෙනෙක් මම. ඒ නිසා අදටත් මම රූපවාහිනියේ ඕනෙම වැඩසටහනකට ආරාධනා කළොත් ඉතා සතුටින් සහභාගී වෙනවා. ඒ ගෞරවය හැමදාම හිතේ තියෙනවා.

"හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය තුළ මම ගායනා කළේ මාව බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු පාරමිතා ගීතයේ කොටසක් සහ මෑතක කරපු චන්ද්‍රා පායන්න ගීතයේ කොටසකුත් දෙකම එකට එකතු කරලා මහේෂ් දෙනිපිටියගේ නව සංගීත සංයෝජනයෙන් හැඩවුණු ගීතයක් විදියට. ඒකටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

හදවතේ හතළිහ ප්‍රසංගයට සම්බන්ධ වුණේ උපහාරයක් වශයෙන් කසුන් කල්හාර

රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව කියන ආයතන දෙකම ලංකාවේ සංගීතයට පමණක් නෙවෙයි, සියලුම කලාවන්ට සහ සම්පූර්ණ පැවැත්මට විශාල ශක්තියක් වුණු ආයතන. ඒ වගේම මේ ආයතන පටන් ගත්තු කාලේ ඉඳලම ගුණාත්මකභාවයක් පවත්වාගෙන ගියා. ඒ නිසාම ගුණාත්මකභවක් සහිත වැඩසහටහන් මේ තුළින් නිෂ්පාදනය කරන්න හැමවිටම උත්සාහ කළා. ඒක අද වෙනකම් ආරක්ෂා වෙලා තියෙනවා කියන එක තමයි අපේ අදහස. ඉතින් ඒ නිසා ජාතික රූපවාහිනිය 40 වසරක් සම්පූර්ණ කරන මොහොතේ පවත්වපු හදවතේ හතළිහ ප්‍රසංගයට සම්බන්ධ වුණෙත් උපහාරයක් වශයෙන්. එදින මහේෂ් දෙනිපිටිය ඇතුළු ඉතාම දක්ෂ වාද්‍ය වෘන්දයක් සමඟ මමයි ඉන්ද්‍රචාපායි දෙන්නම ගායනා කළේ අනන්තයට යන පාර දිගේ ගීතය.

සුබ පතනවා 40 වසරක් සමරන ජාතික රූපවාහිනියට තව තවත් ගුණවත් හරවත් දේ ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට හැකිවෙන්න කියලා.

 

රූපවාහිනියේ 40 වසරක ගමන මම දැක්කා චන්න විජේවර්ධන

1982 ජාතික රූපවාහිනිය පටන් ගත්ත දවසේ ඉඳන් මම හිටියා. චන්න උපුලි ප්‍රසංග කලා නිකේතනය ජනතාව අතරට යන්නේ ජාතික රූපවාහිනියෙන්. ඒ නිසා 40 වසරක් තුළ ගිය ගමන මම දැක්කා. ඉතිහාසයේ ඉදන් වර්තමානය දක්වාත් වත්මනේ සිට අනාගතය දිහාත් ප්‍රගතියක් පෙන්නුම් කරනවා ජාතික රූපවාහිනිය. විශේෂයෙන්ම කියන්න ඕනේ ජාතික රූපවාහිනිය සතු විනය ගැන. අපි නර්තන අංගයක් නිර්මාණය කළත් ඒ විනයට අනුව චලන වලත් විනයක් ඇති කරනවා. ඒ නිසා ජාතික රූපවාහිනිය අපි අඳින පළඳින විදිය කතා කරන භාෂාව එක්ක යන නාළිකාවක්.

හදවතේ හතළිහ ප්‍රසංගය තුළ මගේ නිර්මාණ තුනයි ගියේ, ඒ තුන කොටස් තුනකට ගියා. ඒ කොටස් තුනම නිර්මාණය වුණේ විනය එක්ක. මම මුලින්ම කළේ පොඩි මුද්‍රා නාට්‍යයක කොටසක්. රූපවාහිනියේ අරමුණ හොඳ නිර්මාණයක් කරන එක. එවැනි නිර්මාණාත්මක ප්‍රසංගයක් විදියට තමයි මම හදවතේ හතළිහ ප්‍රසංගය දකින්නෙත්.

 

මේ රූපවාහිනි ඉතිහාසයේ කරපු හොඳම ප්‍රසංගයයි - ජාතික රූපවාහිනියේ සභාපති සොනාල ගුණවර්ධන

ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ජාතික රූපවාහිනියට දැන් වසර 40ක්. දශක හතරක සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ගෙවුණු කාලය තුළ විවිධ සභාපතිවරුන් යටතේ පාලනය වූවා. 40 වසරක් සපුරන මේ ජාතික රූපවාහිනිය දැන් තවත් නැවුම් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදානම්. අලුත් වුණු ජාතික රූපවාහිනිය ගැන නව සභාපති සොනාල ගුණවර්ධන සමඟ සිළුමිණ රසඳුන කළ කතාබහයි මේ.

හදවතේ හතළිහ කොහොමද ඔබට දැනෙන්නේ

ඒ එක්කම අපේ රූපවාහිනී නාළිකාව වසර 40ක් සම්පූර්ණ කළ නිසා අපි හිතුවා, මේ වසර 40 තිස්සේ අපේ නාළිකාව සතු ටෙලි නාට්‍යය, සංගීත සහ අනෙකුත් වැඩසටහන් ගත්තම තියෙන සුවිශේෂී සන්දිස්ථාන එකතු කරලා සංගීතමය වැඩසටහනක් කළා. දශක හතරක සියලුම කලා ශිල්පීන් ශිල්පිනියන් එකතු කරගෙන ලංකාවේ මෙතෙක් නොකරපු විදියේ ප්‍රසංගයක් පවත්වන්න පුළුවන් ද කියන එක කල්පනා කරලා තමයි මේ "හදවතේ හතළිහක්" සංගීත ප්‍රසංගය පැවැත්වුවේ. එතකොට ඒක ඉතාම සාර්ථක විදියට සහ ආකර්ෂණීය විදියට අපි පැවැත්වූවා.

කොහොමද ඒවාට ලැබෙන ප්‍රතිචාර

අපි මේක රූපවාහිනී තිරය මත ප්‍රේක්ෂකයාට සමීප කළේ අප්‍රේල් 15වැනිදා. මේ වෙද්දී ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අනුග්‍රාහක භවතුන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක අපි මේ රූපවාහිනි ඉතිහාසයේ කරපු හොඳම ප්‍රසංගයක් කිව්වොත් නිවැරදියි. දශක හතරක කලාකරුවන් පිරිසක් එකම වේදිකාවක එකතු වීමත් සුවිශේෂී සිද්ධියක් වුණා.

ඔබ තරුණ සභාපතිවරයෙක්, ජාතික නාළිකාව ඉදිරියේදී තාරුණ්‍යයටද වැඩි ඉඩක් වෙන් වෙන්නේ

 

අපි අලුත් වැඩසටහන් කිහිපයක් නිර්මාණය කරමින් ඉන්නවා. තරුණයන් කොහොමද අපේ නාළිකාව එක්ක එකතු කරගන්නේ කියලා. මොකද තරුණ අයට සමාජ මාධ්‍ය එක්ක විකල්ප වැඩියි. ඒ නිසා රූපවාහිනියෙන් තරුණ පරම්පරාව ඈත්වීම නවත්ත ගන්නේ කොහොමද කියන එකට වැඩසටහන් නිර්මාණය කරමින් ඉන්නවා. ජාතික රූපවාහිනිය සමඟ රැඳී සිටියොත් ඒ සියල්ල දැකබලා ගන්න පුළුවන් වෙයි. තාරුණ්‍යයට පමණක් නෙවෙයි වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් අවධානයක් යොමු කරලා තියෙනවා.

හෙට දවසේදී කොයි විදියට ජාතික රූපවාහිනිය වෙනස් වෙයි ද?

 

ජාතික රූපවාහිනියේ අනන්‍යතාව රැකෙන විදියට වෙනස් වෙයි. ඒ එක්කම මාධ්‍යය නාලිකාවක් විදියට වගේම ව්‍යාපාරික ස්වරූපයකින් හිතන්න වෙනවා මාධ්‍යය ආයතනය පවත්වාගෙන යන ගමන් කොහොමද ලාබදායි විදියට පවත්වාගෙන යන්නේ කියන කාරණාව. හොඳම උදාහරණය තමයි මම ජනවාරි 11 මේ තනතුරට පත්වුණාට පස්සේ අද වෙනකම් මහා භාණ්ඩාගාරයෙන් රුපියලක්වත් අරගෙන නැහැ. ඒ කියන්නේ මේ ආයතනය 2014 ඉඳලම පාඩු ලබන ආයතනයක්නේ. සාමාන්‍යයෙන් මිලියන 40ක් ගන්නවා මහා භාණ්ඩාගාර­‍ෙයන් මිනිසුන්ගේ පඩි නඩි ගෙවන්න. නමුත් මම මේ මොහොත දක්වාම රුපියලක්වත් අරගෙන නැහැ. එකෙන් අදහස් වෙන්නේ දැන් ඔක්කොම සුඛිත මුදිතයි සම්පුර්ණයි කියලා. නමුත් ඒවා සියල්ල කළමනාකරණය කරගනිමින් යන ගමනක් තියෙන්නේ.

හැමදේම ඩිජිටල් වෙන යුගයක්නේ ඉස්සරහට එන්නේ, ඒ සඳහාත් ජාතික රූපවාහිනිය සුදානම් ද?

ජාතික රූපවාහිනිය කියන්නේ ජපාන රජයේ පරිත්‍යාගයක්. ඒ නිසා දැනටමත් අපි ජපාන රජය එක්ක කතා බහ කරලා තියෙනවා. ඔවුන් එකඟතාව පළකරලා තියෙනවා ලබන වසරේ අග වෙද්දී මේ සියල්ලම ඩිජිටල්කරණය කරන්න. එතකොට අපිටත් මේ ඩිජිටල් මාධ්‍යය කලාව තුළ ප්‍රමුඛයෙක් විදියට වැඩ කරන්න අවකාශය ලැබෙයි. ඒ නිසා බොහොම සුබවාදී විදියට අනාගතය දිහා බලන්න පුළුවන් වෙයි.

Comments