සුභාවිත ගීත රසය ආරක්ෂා කිරීම අපේ අරමුණයිි | සිළුමිණ

සුභාවිත ගීත රසය ආරක්ෂා කිරීම අපේ අරමුණයිි

"නින්නද 2022,ආවර්ජනා රස නුසුන් ගී දැහැන " ප්‍රසංගය අප්‍රේල් දෙවෙනිදා කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේ ග්‍රහලෝකාගාරය ඉදිරිපිට පිහිටුවා ඇති බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක, ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න සහ ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැලියගොඩ යන කලාකරුවන් තිදෙනාට උපහාර සම්මාන පිරිනැමුණා. මෙම ප්‍රසංගය සංවිධානය කළේ 'සවන රැඳී ගීත රසික සංසදය'යි. ඒ උපහාර ප්‍රසංගයෙත් ‍රසික සංසදයේත් තොරතුරු කතාබහ කිරීමට අද සිළුමිණ රසඳුන සමඟින් සම්බන්ධ වන්නේ 'සවන රැඳි ගීත' රසික සංසදයේ සභාපති කලාභූෂණ ලක්ෂ්මන් ලියනගේයි.

 

'සවන රැඳි ගීත' රසික සංසදයේ ආරම්භය සිදුවුණේ කොහොමද?

2011 මාර්තු මස රසික සංසදය ආරම්භක බීජය යරෝපණය කළේ වත්මන් ලේකම් ශාලිකා පියදාසගේ අදහසක් අනුවයි. මෙම සංසදයේ අරමුණු කිහිපයකි. අද වන විට ගුවන් විදුලිය ඇතුළු විද්යුත් මාධ්‍යයෙන් සුභාවිත ගී රසය කෙමෙන් මැකී යන වටපිටාවක අතීතයේ තිබූ සුභාවිත ගීත රසය ආරක්ෂා කිරීම සහ අනාගත පරම්පරාවට දායාද කිරීම අපගේ එක් අරමුණකි.එමෙන්ම ගීත ගායනා කිරීම සඳහා හැකියාව ඇති වැඩිහිටි සහ තරුණ සියලු දෙනාට වේදිකාවක් නිර්මාණය කර දීමටත් අවශ්‍ය වුණා.සුභාවිත ගීත වලට ආදරේ කරන රසිකයන් තමයි අපේ සංගමයේ සමාජිකයන් වෙලා ඉන්නේ. වසරක් පාසා සුභාවිත ගීතයට මෙන්ම පැරණි සිනමා හා ගුවන්විදුලි ගීතයන්ට මුල්තැන දෙමින් විවිධ තේමාවන්ට යටත්ව ගීත ප්‍රසංගයක් පවත්වන්න අපි කටයුතු කළා.

 

අතීතයේ පැවැත්වූ ප්‍රසංග පිළිබඳව සිහිපත් කළොත්?

2012 වසරේ 'සුභාවිත ගී දැහැන' නමිනුත් ,2013 'යුග ගී සරණිය'ත් ,2014 වසරේ හින්දි ගී රසිකත්වය වෙනුවෙන් 'සප්නෝකේ ගීත්' ප්‍රසංගයත් 2015 අවුරුද්දේ 'සිනෙ රූ ගී සර' නමිනුත් ,2016 වසරේ දී 'ගුවන මැවූ ස්වර රටා' ලෙසත් 2017 අවුරුද්දේ 'චලන රූ සුපෙම් ගී' , 2018 දී 'තුන්පත් රටා' නමිනුත් 2019 වසරේ දී 'නොව පැරණිය ගී රමණිය' සහ 2017 වර්ෂයේ දී 'හෙළත ගී කෙත විසිරි භරත ගී තනු අසිරි' නමිනුත් ප්‍රසංග පවත්වන්න අප සංසදයට හැකියාව ලැබුණා. වසර කිහිපයක දී මේ ප්‍රසංගයේ අන්තර්ගතයට තවත් විශේෂත්වයක් අප එකතු කළා.ඒ 70, 80 දශක වලින් ගීත ගැයූ ගායක ගායිකාවන්, යේය පද රචකයින්, සංගීතඥයින් ඇගයීම උදෙසා සම්මාන මූල්‍යමය ත්‍යාග ලබා දීමයි. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි, ප්‍රවීණ සංගීතවේදී දයාරත්න රණතුංගයන්ට ගේය පද රචිකාවන් වන කුසුම් පීරිස් සහ දයා ද අල්විස්ටත්, ගායන ශිල්පිනි අයිරින් ද අල්විස්, ප්‍රවීණ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස්, ප්‍රවීණ ගායිකා රූපා ඉන්දුමතී යන කලාකරුවන්ට ඒ යටතේ උපහාර පුද කෙරුණා.

 

මෙවර ප්‍රසංගය විශේෂත්වය කුමක්ද?

2011 වර්ෂය ආරම්භ කළ සවන රැඳී ගීත රසික සංසදය මෙවර පැවැත්වූයේ දසවස් පුර්ණ සංවත්සර ප්‍රසංගයයි.මෙම මෙවර ප්‍රසංගයේදී උපහාර පුද කෙරුණේ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය සුජාතා අත්තනායක, ගායන ශිල්පී ටී එම් ජයරත්න සහ ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැලිය­‍ෙගාඩ යන කලාකරුවන් වෙනුවෙනුයි.

මෙවරද සංගමයේ සාමාජික ගායක ගායිකාවන් විසින් ඉපැරණි ගීවල රසය රැකගනිමින් ගීත ගායනා කිරීම විශේෂත්වයක්. රාජ්‍ය නර්තන කණ්ඩායමේ අලංකාර නර්තනාංග කීපයකින්ද ප්‍රසංගය වර්ණවත් වූ අතර නොමිලේ මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමට ලැබීම සතුටක්.

Comments