වේදිකාව කියන්නෙ පර්යේෂණ ස්ථානයක් | Page 2 | සිළුමිණ

වේදිකාව කියන්නෙ පර්යේෂණ ස්ථානයක්

මේ වෙනකොට මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරගෙන යනවා

දේවින්ද කියන නම වෙනුවට දැන් 'ජයන්ත' කියලා තමයි හැමෝම මට කතා කරන්නෙ

 

නාට්‍ය කලාවෙන් කලාවෙහි අත්පොත් තබා පුංචි තිරයට පැමිණ වැඩි ප්‍රේක්ෂකාදරයකට හිමිකම් කියන යොවුන් රංගන ශිල්පියෙක් අපිට හමුවුණා. මේ දිනවල විකාශය වන 'නාඩගම්කාරයෝ' ටෙලි නාට්‍යයේ ජයන්තගේ චරිතයෙන් ආලින්දයට ගොඩවන ඔහු නමින් දේවින්ද වික්‍රමසිංහ.

 

ප්‍රේක්ෂකයන්ට කුතුහලයට පත් කරන 'ජයන්ත'ගේ ආගමනය ඔබට දැනෙන්නෙ කොහොමද?

ජයන්තගේ පැමිණීමේ අපේක්ෂාව මුළු නාට්‍යය පුරාම තිබුණා. විශේෂයෙන් කියන්න ඕන නාට්‍යය මැදදී මම පැමිණියාට ඔහුව අපේක්ෂාවෙන් වෙනම ප්‍රේක්ෂක පිරිසකුත් සිටියා. ඒ තුළ ලොකු කුතුහලයකුත් තිබුණා.බලාපොරොත්තු නොවුණ මොහොතක සද්ධාමංගල සූරියබණ්ඩාර සහ චාමර සමරවික්‍රම මට ඒ චරිතය කරන්න ආරාධනා කළාම ඇත්තටම පුදුමත් හිතුනා. සද්ධාමංගල සූරියබණ්ඩාර සමඟ 'ආගන්තුකයෝ' ටෙලි නාට්‍යයේත් වැඩ කරල තිබුණා.ඒ වගේම 'පාර දිගේ'නාට්‍යයට කතා කළත් දින ගැටලුවක් නිසා මට ඒකට සම්බන්ධ වෙන්න ලැබුණේ නෑ.

 

කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ?

ඉතාම ඉහළයි. ඇත්තටම අදහා ගන්න බැරි තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ලොකුම ප්‍රශ්නේ තමයි දේවින්ද කියන නම නැතිවෙලා දැන් 'ජයන්ත' කියලා තමයි හැමෝම මට කතා කරන්නෙ.

 

පහුගිය කාලේ ඔබ 'සකුණ පියාපත්' දීර්ඝ ටෙලිනාට්‍යයේත් රඟපෑවා?

ඔව්.ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සකුණ පියාපත් ටෙලි නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම ඔහු තමයි මාව වේදිකාවෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නෙත්. ඔහුත් සමඟ ටෙලි නාට්‍යය පහකට පමණ මම රංගන දායකත්වය ලබා දුන්නා.

 

රංගනයට අත්පොත් තැබුවේ කොයි කාලෙද.?

මං පාසල් කාලෙම තමයි රංගනයට පිවිසෙන්නේ. පාසල ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය. එහිදී මට මුණගැහුණ චාමික හත්ලහවත්ත ගුරුතුමා තමයි නාට්‍ය මාවතට මාව යොමු කළේ. පාසලේ දී ඔහුත් එක්ක නාට්‍ය ගණනාවක් ම කළා. එතනදි තමයි මට මේ ක්ෂේත්‍රයට ලොකු ආසාවක් ඇති වුණේ. මංගල සේනානායක, චාමික හපුආරච්චි වගේ ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ නාට්‍යවලත් මම රඟපෑවා. වේදිකාව කියන්නෙ ඇත්තටම පර්යේෂණ ස්ථානයක්. රංගනයේ යෙදෙන්න වගේම රංගනය ගැන ඉගෙන ගන්න,තමන්ගෙම නාට්‍යයක් කරන්න වේදිකාව හොඳ තෝතැන්නක්.වේදිකාවෙන් ලබන පරිචය සහ පුහුණුව රංගනයට වගේම ජීවිතයටත් ලොකු වටිනාකමක් ගෙන එනවා. ටෙලිනාට්‍යය කලාවට පිවිසෙන්නත් ඒ මාධ්‍යයට අනුගත වෙන්නත් වේදිකාවෙන් ලබා ගත්ත පුහුණුවක් වැදගත්.

 

ඔබේ කලා ජීවිතයට ලැබුණු අගය කිරීම් පිළිබඳවත් මතක් කරමු.

2014 වසරේ මම නාට්‍යයක් රචනා කොට නිෂ්පාදනය කළා 'මරා උපන් කුමරා' කියන නමින්. ඒ සඳහා යෞවන සහ රාජ්‍ය සම්මාන හිමි වුණා. 2015 වර්ෂයේ දී මම නිෂ්පාදන කළ 'මම අඩකුඹයි' වේදිකා නාට්‍යයටත් යෞවන නාට්‍ය උළෙලේ දී වසරේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන හයක් ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් එය සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේ ම පාසල් කාලයේ සමස්ත ලංකා දක්වාම ජයග්‍රහණ හිමි වෙලා තියෙනවා.

 

රංගනයට අධ්‍යාපන වටපිටාව කොයිතරම් වැදගත්ද?

අධ්‍යාපනය තමයි මනුෂ්‍යයෙක් සහ කලාකරුවෙක් පෝෂණය කරන්න ඉවහල් වෙන්නෙ. සමාජයක් වෙනස් කරන පරිවර්තනය කරන්න බලපාන මූලිකම දේ අධ්‍යාපනය. පාසල් අවධියෙන් පසුව 2013 දී මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධියක් හැදෑරුවා.ඊට අමතරව නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය පිළිබඳව හදාරමින් ඒවා ප්‍රායෝගික භාවිතයට ගෙන එන්නත් ඉඩ හසර විවර වුණා.ඒක මගේ කලා ජීවිතයට විශාල පිටුවහලක් වුණා.

 

ජයන්ත රංගනයෙන් සාහිත්‍යයට පිවිසෙන සුබ ආරංචිය ගැනත් මතක් කරමු.

මාර්තු 26 වෙනිද බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර් හි දී මම රචනා කරපු 'තෙස්පීස්ගෙන් උපන් ස්වයං කථනය' කියන ගවේෂණාත්මක කෘතිය එළිදක්වන්න සූදානම්. මරා උපන් කුමරා සහ 'මම අඩකුඹයි' යන වේදිකා නාට්‍යය අලළා ලියැවුණු කෘතියක්. කේ බී හේරත්, තිලක් කාරියවසම්,ධනංජය කරුණාරත්න ඇතුළු විශිෂ්ට නාට්‍යවේදීන් එකොළොස් දෙනෙකුගේ ලිපි මෙයට ඇතුළත් වෙනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනව මගෙ නාට්‍යය දෙකත් බලල පොතත් අරන් යන්න එදාට එන්න කියලා.

 

කොහොමද ඔබේ අධ්‍යාපන කටයුතු?

මේ වෙනකොට මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරගෙන යනවා. මට ගැළපෙන සහ හොඳයි කියලා හිතන මිනිසුන්ට සුබවාදීව ආමන්ත්‍රණය කරන්න පුළුවන් නිර්මාණ ඉදිරියේදිත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබේ ගමනට ශක්තියක් වූ අයවත් මතක් කරමු.

මගෙ මාම, අම්ම, පුංචි අම්මා ඇතුළු පවුලේ සැමත් මගේ නාට්‍ය ගුරුතුමන් වන චාමික හත්ලහවත්ත සහ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු , සද්ධාමංගල සූරියආරච්චි ඇතුළු මේ වනතෙක් සහයෝගය ලබා දුන් හැම දෙනාවම ස්තූති පූර්වකව මතක් කරන්න කැමතියි.

 

ආදරය ගැන මොකක්ද හිතන්නෙ.?

ප්‍රේමය ලෝකෙ හැමතැනම තියෙනවා. හැම දෙනාටම හමුවෙලා තියෙන ප්‍රේමය මටත් දවසක මුණ ගැහෙයි කියල හිතෙනවා.

Comments