
පානදුර ශාන්ත ජෝන් බාලිකා පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ සන්ධ්‍යා කුමුදිනී සුබසිංහ, පානදුර බාලිකා මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ ද, කොළඹ රොස්මීඩ් බාලිකා විදුහලෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ද හැදෑරුවාය. චිත්‍ර ශිල්පයට නැඹුරු වූ සන්ධ්‍යාගේ සිත ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සූරින් නිසා කවියට පෙම් බඳින්නට වූ අතර ලේක්හවුස් ආයතනයේ යොවුන් ජනතා පුවත්පත මඟින් සංවිධානය කළ 'යොවුන් පහන් වැට' ලේඛක හමුවට ද එක්වන්නට ඇය වාසනාවන්ත වුවා.
ඉන් අනතුරුව රූපවාහිනී නාට්‍යකලාව වෙතද යොමු වූ ඇය රූපවාහිනී මාධ්‍යයට නවතම විශේෂාංගයක් වූ 'ගේම් ෂෝ' හඳුන්වාදීට පුරෝගාමී වූවාය. රූපවාහිනී නාළිකාවක වැඩසටහන් සාමාන්‍යාධිකාරී තනතුරක් ද හෙබවූ සන්ධ්‍යා රචනා කර ඇති ටෙලි නාටක පිටපත් සංඛ්‍යාව පහක්. 1980 දශකයේ අග භාගයේදී නිර්මාණය වූ සිරිතුංග පෙරේරා ගේ 'අභියෝගය' ඒකාංගික ටෙලි නිර්මාණයද ඇය විසින් රචනා කළ අතර සන්ධ්‍යාගේ මුල්ම දීර්ඝ ටෙලි නිර්මාණය වන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශනයවූ 'ඉන්ද්‍රචාප' ටෙලිනාටකයයි. ඉන් අනතුරුව ඇය තිමිර,පමාවී ආ වසන්තේ සහ හේරංගා ඇතුළු තවත් නිර්මාණ කිහිපයකටද දායකත්වය ලබාදී ඇත.
1. මගේ පළමු නවකතාව
කිසි දිනක නොසිතූ ලෙසින් මා නවකතාකරණයට පිවිසුනේ.මා ළඟ තිබූ ලෙජර් පොතක අරමුණකින් තොරව රිද්මා චරිතය මුල් කරගෙන ලියු නවකතාව කෙතරම් ජනප්‍රිය වූවාද කියනවා නම් 'රිද්මා' කොටස් ත්‍රිත්වයක් දක්වා එය ගෙන ගියා.
මා මාගේ මුල්ම නවකතාව වූ රිද්මා අත්පිටපත නිම කර ගෙදර සිටින කාලයේ අපේ නිවෙසට නිතර ආ ගිය, මගේ සැමියාගේ ළඟම හිතවතෙකු වූ රෝලන්ඩ් ප්‍රනාන්දු මහතා එය දැකලා පොත ප්රකාශනය කරන්නට බාරගත්තා. මේ නිසා කිසිදු වෙහෙසකින් තොරවම ලේඛිකාවක් වීමට මඟ පෑදුණා. අද වනවිට දෙව් මවු තුරුලේ සැතපෙන ඕහුට මා මොක් සුව පතනවා.
2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
රිද්මා නවකතා පොතෙහි එන, තමාට වඩා වයසින් වැඩි නවීන් වෙත රිද්මාගේ සිත බැඳීයාම ඇයට අහිමිව තිබූ පියසෙනෙහස නිසාම සිදුවීමක් ලෙසින් සාධරණීකරණය වෙනවා. එම ආදරයට ගෞරව කරන පාඨකයා රිද්මාට පිටුපා යන නවීන් කෙරෙහි ළෙන්ගතු වෙද්දී, ඔහුගේ පිටුපෑම නිසාම සිත සවි වඩා ගන්නා රිද්මා තම සිත ධෛර්යය කර ගනිමින්, ස්වාධීනව ජීවිතයට මුහුණ දෙමින් ජීවිතය මෙන්ම තම අහිමිව ගිය ආදරය යළි දිනා ගනිමින් කටයුතු කරන අන්දම පාඨකයාගේ සිතට ද දිරියක් එක් කරන අවස්ථාව මගේ සිත්ගත් මෙන්ම සංවේදී වූ අවස්ථාවක්.
3. මගේ වෙනත් නව කතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
වෘත්තීය ජීවිතය චිත්‍ර ශිල්පිනියක් ලෙසින් ආරම්භ කළ මා මගේ ජීවිත කාලය පුරාම විවිධ අත්දැකීම් ලබා ගත්තා. විවිධාකාර වෘත්තීන් ගණනාවක් කරමින් ලබා ගත් ඒ අත්දැකීම් එකතු කර මම මේ නවකතා නිර්මාණ ඉදිරිපත් කරන්නේ අප්‍රමාණ වූ සතුටකිනුයි.
මේ වනවිට මගේ නවකතා සහ පරිවර්තන නවකතා පනහකට වඩා අධික සංඛ්‍යාවක් පාඨකයන් වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරට යොවුන් පරපුර වෙනුවෙන් පරිවර්තනය වුණු 'පෙට්ටිගෙදර දරුවෝ' කතා මාලාවේ පොත් දහසයද ඇතුළත් වෙනවා. ඒ පෙට්ටිගෙදර කතා මාලාව නිසා මට යොවුන් දරුවන්ගේ වගේම පාසල් ගුරුවරුන්ගෙත් විදුහල්පතිවරුන්ගෙත් ප්‍රශංසාව හිමිවුණා. ඒ සඳහා පුස්තකාල පොතක් ලෙස අනුමැතිය ලබා ගන්නා මෙන් මා හට දැක්වූ ප්‍රතිචාර නිසාම මෙම කතා මාලාවට පුස්තකාල සඳහා නියමිත අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව උදා වුණේ. මගේ ආදරණීය තාත්තා විජේවංශ කවිකුමාර ලේඛකයාණන්. ඔහුට උපහාරයක් ලෙසින් මා හට ඔහු වෙනුවෙන් 'රුබයියාට්' කවිපොත පරිවර්තනය කළා'. එයත් මගේ ලේඛක දිවියේ මතක සටහනක්.
ඒවගේම ලොවෙහිම මුල්ම අගමැතිනිය වුණු සිරිමාවෝ මැතිනියගේ දිවියේ අවසාන වසර කිහිපයේදී ඈ වෙනුවෙන් සුබපැතුම්පත් නිර්මාණය කිරීමේ වාසනාවටද හිමිකම් කියන්නට චිත්‍ර ශිල්පිනියක්ද වූ මට අවස්ථාව හිමිවුණා.එය මා ලත් භාග්‍යයක්. එමෙන්ම රිද්මාගෙන් පටන්ගත් මාගේ නිර්මාණ පෙළ මේ වනවිට පොත් පනස් ගණනක් දක්වා දීර්ඝ වූයේ පාඨක ජනතාවගෙන් ලත් සහයෝගය නිසයි.
4. මා නොලියූ මා කැමති වෙනත් පොත්
මම විශේෂ කැමැත්තක් දක්වනව රහස් පරීක්ෂක කතාවලට. ඒ වගේම පුනර්භවය සම්බන්ධ කතා කියවන්නත් මම කැමතියි. ඇත්තෙන්ම ඒ වගේ පොත් කියවීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ වගේම කර්මඵලවාදය පිළිබඳව විශ්වාස කරන මා, මනුෂ්‍යයකුට සත්‍ය ජීවිතයෙදිත් තමන් කරන හැමක්රියාවකම ප්‍රතිඵල අත්විඳින්නත් සිදුවෙන බව අදහන නිසාම ඒ ධර්මතාව සනාථ කරවන දත්ත ඇතුළත් පොත්පත් කියවන්නත් දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම මම ලියන පොත්වලිනුත් පාඨකයාටත් මේ ගැන කිසියම් හැඟීමක් ඇතිකරවන්නත් කටයුතු කිරීමට මා පෙලඹෙනවා.
5. මගේ ඉදිරි සැලසුම්
මගේ හිතේ ඒ හැටි ලොකු ලොකු සැලසුම් නම් නෑ. මොකද එහෙම ලොකු ලොකු දේවල්වලින් හිතට බරක් පුරවගෙන හිතේ තියෙන නිදහස සැනසීම නැතිකරගන්න හිතන්න එපා කියන පාඩම මට කියලා දුන්නෙත් මට කලාවට මඟ පෙන්වපු මගේ ආදරණීය තාත්තා විජේවංශ කවිකුමාර ලේඛකයාණන්.
මගේ අලුත්ම නවකතාව 'කාලී' යි. නව යොවුන් යුවතියකට ඇගේ ජීවිතයේ අත්විඳින්න ඉඩකඩ තියෙන ලොකුම අසාධාරණයට මුහුණ දෙන්න සිද්ධ වුණු අවස්ථාවක් වටා මේ කතාව ගොඩනැඟෙනවා. අහිංසක දිළිඳු දැරියක වූ ඒ දැරිය මම මුලින්ම හැඳින්වූයේ උමංගා ලෙසින්. ඇය ඒ අසාධාරණයෙන්ම පන්නරය ලබාගෙන හිතේ දිරියෙන් ජීවිතය ජයගන්නා අන්දමත් තමාගේ අසරණ බවට එරෙහිවී ඒ ශක්තියම පළිහක් කොටගෙන විරුද්ධවාදීන්ට එරෙහිව නැඟී සිටින අන්දමත් පැහැදිලි කරමින් ලියූ ඒ නවකතාවේ උමංගා චරිතය මම අවසානයේදී 'කාලී ' ලෙසින් වෙනස් කළ නිසා අන්තිමේදි පොතේ නමත් 'කාලී' වුණා.