මගේ ගායන හැකියාව පිටුපස ඉන්නෙ තාත්තා | සිළුමිණ

මගේ ගායන හැකියාව පිටුපස ඉන්නෙ තාත්තා

" දෑස් අග පිපි කඳුළු සඟවා

මගේ මුවඟින් සිනහා දල්වා

අමාවක බැස සඳ නැඟෙන දින

තරුවකින් මා හොරෙන් ඇසුවා..

හොරෙන් ඇසුවා.."

 

'එක්තරා ප්‍රේමයක්' ගැන තරුවකින් අසන නවක ගායිකා විශාරද බෙත්මි නිහින්සා වීරතුංග අද අපිත් සමඟ ඇගේ ජීවන සහ කලා තොරතුරු බෙදාගන්න එක් වෙනවා.

මුලින්ම කියන්න මේ "එක්තරා ප්‍රේමයක් ගීතය නිර්මාණය වුණේ කොහොමද?

මම මුලින් ගීතයක් ගායනා කළා. ඊට පස්සෙ තවත් ගීතයක් ගායනා කරන්න ඕන කියන අදහසත් එක්ක තමයි මේ සින්දුව හැදුණේ. මුලින්ම චිරාත් සේනිය සිරිවර්ධන ගීතයේ වචන ලිව්වා. ඊට පස්සෙ ඒ පද රචනාවට තනුවක් හැදුවෙ අකිල බුවනෙක. නිෂ්පාදනයෙන් දායක වුණේ මහිරු සේනාරත්න.

 

කොයි කාලෙද ගීත ගයන්න පටන් ගත්තෙ?

මම සින්දු කියන්න පටන් ගත්තෙ පාසලේ 10 වසරෙ ඉගෙන ගන්න කාලෙදි.මගෙ ස්කෝලෙ නුගේගොඩ සුජාතා විද්‍යාලය. එහි සංගීත ගුරුතුමිය වන ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ගුරුතුමිය මිස් යටතේ මං සංගීතය හැදෑරුවා. පාසලේ ගායන තරග වලට සහභාගී වෙලා පළාත් මට්ටම දක්වා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

 

පාසල් කාලෙ ගායනයට අමතරව පෙන්වූ වෙනත් හැකියාවන් මොනවද.?

සංගීතය අමතර දෙයක් විදියට තමයි මම කළේ. තව නෙට්බෝල් සහ පිහිනුම් ක්‍රීඩා සඳහාත් කාලය වෙන් කළා. පාසල් කාලෙ ඉඳන්ම මම වැඩිපුරම කැමති ඉගෙන ගන්න.උසස් පෙළින් පස්සෙ මම ජෛව තාක්ෂණ උපාධිය හැදෑරුවා.

මේ වෙනකොට උපාධියෙ වැඩ කටයුතු අවසන් කරල නිවසෙ තමයි ඉන්නෙ. මාව සංගීතයට යොමු කරන්න ලොකු පෙළඹවීමක් තිබුණෙ මගෙ තාත්තාට. ඔහුගෙ උනන්දු කරවීමත් එක්ක තමයි 2019 අවුරුද්දෙදි මම මුල් ගීතයත් කළේ. "මා ගයනා හැම මොහොතක් පාසා.." නම් වන මගෙ පළමු ගීතය ලිව්වෙ ජයන්තිමාලා පෙරේරා.

තනුව හැදුවෙ ළහිරු පෙරේරා. ඒ ගීතය සංගීතවත් කළේ තිසල් රන්දුණු. මං ගායනා කළ ගීත දෙකම ප්‍රේමය තේමා කරගත් ගීත.

 

ඔබේ පවුලේ තොරතුරු මතක් කළොත්.?

මගෙ පවුලෙ මං එක්ක ඉන්නෙ අම්ම තාත්තා සහ මල්ලිල දෙන්නා.අපි පදිංචි වෙලා ඉන්නෙ නුගේගොඩ.

ඉදිරියේදි මගෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැකි සෑම විටම කලා කටයුතු වලටත් සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.

Comments