
මද්දහන පසුවී ගෙවී ගොස් ඇත්තේ හෝරා කිහිපයකි. තවමත් ප්‍රචණ්ඩව හැසිරෙන හිරු යටින් ගං දිය දෙබෑ කරමින් බෝට්ටුව හිමින් සීරුවේ ඉදිරියට ඇදෙයි. ඉහළ අහසේදී එකිනෙකා හා තදින් වෙළෙමින් බැඳෙමින් සෑදුණු කොළපැහැ පිරි කඩොලාන උමග හිරුගේ චණ්ඩ රැසින් ගංදිය මුදා ගනී. කඩොලාන තුරු හිස් අතරින් හිරු රැස් තැනින් තැනින් ගං දියට එබුණත් කඩොලාන උමගේ සිසිල හමුවේ පරාජය වූ හිරු රැස් මලානික ලෙස ගංදිය හා එක් වෙයි. ඉන් ඇති වන සිහින් ආලෝක කැළැල් පතුල පෙනෙන නොපෙනෙන කාලවර්ණ ගංදියේ විසිතුරු රටා මවයි. අතරින් පතර ගඟට එබුණු කඩොලාන අත්තක දෙකක බාධාවක් හැරුණු විට මේ කඩොලන උමග සැහැල්ලු සුන්දර බෝට්ටු සවාරියකට මං විවර කර දෙයි. ඒ සුන්දර සවාරිය නෙතට රසඳුනක් ගතට සැනසුමක් ගෙන එයි.
හිමින් සීරුවේ ඉහළට ඇදෙන බෝට්ටුවක බඳ මත දිගා වී කඩොලාන උමගේ අසිරිය විඳීමට රිසිවූ රසවතුන් ලොව සිවුදෙසින්ම මේ සුන්දර කඩොලාන පරිසර පද්ධතිය සොයා පැමිණීම නිසාම අද මේ ගංගාව ලොවපුරා ප්‍රකට සංචාරක ගමනාන්තයකි. මේ රසවත් සාරවත් සංචාරක ගමනාන්තය තවත් ප්‍රකට සංචාරක ගමනාන්තයක් වූ බෙන්තොටට නොදුරු කළුවාමෝදර ගංගාව ආශ්‍රිත හරිත වර්ණ කඩොලාන උමග ය. සංචාරක බෝට්ටුවක නැඟි ගඟ දිගේ ඉහළට යමින් කඩොලාන වනයක අසිරිය නරඹා ඉතා රසවත් අත්දැකීමක් ලබා ගත හැකි මේ කළුවාමෝදර කඩොලාන පරිසර පද්ධතිය කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම නගරයට ආසන්න කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටා තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ හල්කඳවිල, කීරන්තිඩිය ආදී ප්‍රදේශ වලින් ආරම්භ වී බෙන්තර ගඟ මුහුදට වැටෙන බෙන්තොට ගං මෝය හා එක්වන කුඩා ගංගාවක් වූ කළුවාමෝදර ගඟ මේ සුන්දර කඩොලාන පරිසර පද්ධතියේ නිර්මාණකරුවාය. තවත් එක් ස්වාධීන ගංගාවක් ලෙස මෙන්ම බෙන්තර ගඟ මුහුදට එක්වන බෙන්තර ගං මෝයෙන්ම මහා සාගරය හා එක්වන නිසා බෙන්තර ගඟෙහි අවසාන අතු ගංගාව ලෙසින්ද විවිධ මතවාදයන්ට ලක්වන මේ සුන්දර ගංගාව සාගරයට සමීපවත්ම අතිවිශාල කඩොලාන වනාන්තරයක් බිහි කරයි. මේ නිසා ගං මෝයේ සිට ගඟ ඉහළට විහිදෙන්නේ සරුවට වැඩුණු කඩොලාන ශාකයන්ගෙන් වටවූ කඩොලාන උමගක් මැදිනි.
ගාලු පාරේ අලුත්ගම නගරයට ආසන්න කන්දේ විහාරයට හැරෙන ස්ථානය වන විට කළුවාමෝදර ගඟෙහි කඩොලාන ප්‍රජාව ඉතා සරුසාරව වැඩී කඩොලාන උමගක් නිර්මාණය වී තිබෙන අතර මෙම කළුවාමෝදර කඩොලාන ප්‍රජාව සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්වී තිබේ.
නොගැඹුරු ගං පතුලක් සහිත කළුවාමෝදර ගඟෙහි වූ මේ සුවිශාල කඩොලාන උමගේ සුන්දරත්වය නිසා කළුවාමෝදර ගඟ දිගේ බෝට්ටුවකින් ගොස් කඩොලාන අසිරිය විඳීමට රිසිවූ රසවතුන් අති විශාල ප්‍රමාණයක් දිනපතා කළුවාමෝදර ගඟේ කඩොලාන අසිරිය සොයා එයි. අතීතයේ පොල්ලෙලි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රකට වූ කළුවාමෝදර ගඟ ආශ්‍රිත ප්‍රදේශයෙහි වූ සුන්දරත්වය නිසා සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණු වූ අතර සංචාරකයෝ මෙහි සුන්දරත්වය සොයා ආහ. ඒ අනුව හබල් ඔරුකරුවන් සංචාරකයන්ට ගංදෑලේ කඩොලන අසිරිය පෙන්වා ආදායමක් උපයා ගැනීමේ සේවා ආරම්භ කළ අතර පසුව ක්‍රමයෙන් ඔරු අඩුවී යාන්ත්‍රික බෝට්ටු කඩොලාන නැරඹීමේ සංචාරයන් සඳහා එක්විය. මේ නිසා අද වන විට මෙම ගංගාවේ අසිරිය විඳීමට එන සංචාරයක් ඉලක්ක කරගත් බෝට්ටු සේවා විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර ඒවා මඟින් සුළු මුදලකට සුන්දර බෝට්ටු සවාරියකට අවශ්‍ය පහසුකම් සලසා ගත හැකිය.
කළුවාමෝදර ගංගාව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කඩොලාන ශාක ප්‍රජාවන්ගෙන් එකක් ලෙස ලැයිස්තු ගත වූ කඩොලාන පරිසර පද්ධතියකි. මෙරට හමුවන කඩොලාන ශාක විශේෂ 20 පමණ මෙහිදී නිරීක්ෂණය කළ හැකි අතර මල් කඩොල්, කිරල, මණ්ඩ/මඬ ගස් කටු ඉකිලි තෙල / තෙල කීරිය මුට්ටි කඩොල් ආදී කඩොලාන ශාක විශේෂ ඒ අතර වෙයි. මෙම පරිසර පද්ධතිය වඩාත් සුන්දරවීමටත් එහි ජෛව විවිධත්වය ඉහළ යාමටමත් මෙහි හමුවන කඩොලාන ශාකයක්ගෙන් බිහිවී ඇති කරු මුල්, කයිරු මුල්, දණිස් මුල්, පටිමුල් ආදී සුවිශේෂී කඩොලාන ශාක මූල පද්ධති හේතු වී ඇත. මෙම මූල පද්ධති ඉස්සන් කකුළුවන් ඇතුළු ජලජ ජීවීන් රැසකට වාසස්ථාන සපයයි. එයට අමතරව තවත් ජලජ ශාක හා අර්ධ ජලජ ශාක, භෞමික ශාක විශේෂ රැසක් මේ ගං දෑල හැඩ කරයි.
දහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම නිසා අද වන විට මේ ගංදෑල සංචාරක හෝටලවලින් පිරී පවතින අතර ඒවා බොහොමයක් බෝට්ටු සවාරි සංවිධානය කර දෙයි. ගං දෑල වසාගත් හෝටල් නිසා ගංගාවේ ස්වාභාවික සුන්දරත්වය අඩුවී ඇති නමුත් සංචාරක කර්මාන්තය ඉතාමත් සරුවී තිබේ. මේ නිසා අවම පිරිවැයකින් සුන්දර බෝට්ටු සවාරියක් විඳීමේ වරම මෙහි එන්නකුට හිමිය. ඉදින් කළුවාමෝදරට පැමිණ ජීවිතයේ මෙතෙක් නොවිඳි රසවත් අත්දැකීමත් ජීවිතයට එක් කොට තුටින් යාමට පුළුවන. ඒ මිහිර විඳීමේදී මේ කඩොලාන උමග රැක ගැනීමටද සිත් යොමන්නේ නම් ඒ සුන්දරත්වය සදාකල් විඳීමට හැකිවනු ඇත.