
ගල්කිස්සේ සිට දෙහිවලට ගමන් කරන කල්හි මුලින්ම හමුවන බස් නැවතුම් පොළ පිහිටා තිබුණේ සුමනාරාම මාර්ගය ඉදිරිපිටයි. මීට දශක කිහිපයකට ඉහත දී දිනක් එම මාර්ගයෙන් ක්ෂණිකව මතුවූ එම්. එස් ප්‍රනාන්දු මා ගමන් කළ පෞද්ගලික බස් රථයට ගොඩ වුයේය. එසැණින් රියදුරු එක් වරම “අපේ සර්ට සීට් එකක් දෙන්න” යැයි පැවසුවේ ය. ඉන්ඉක්බිතිව ඔහු මාර්ගය ඉදිරිය දෙස බලා කොන්දොස්තර වෙත තවත් උපදෙසක් ලබා දුන්නේ ය. ඒ “අපේ සර්ගෙන් සල්ලි ගන්න එපා” යි කියා ය.
එදා එම බසයේ කොන්දොස්තරගේ හැසිරීමෙන් මා හට නිරීක්ෂණය වූයේ, ඒ වන විටත් ඔහු එම්. එස් ප්‍රනාන්දුගෙන් මුදල් නොගැනීමට අදහස් කර සිටි බවකි. එදා බොහෝ පිරිස් එම්. එස් ප්‍රනාන්දුට එසේ ළෙන්ගතුකමක් දැක්වූයේ ඔහු ගායන ශිල්පියකු වීම නිසාම නොවේ. ඔහු සතුව පැවති නිහතමානී ගති සොබාද ඊට එකතු වී තිබූ බැවිනි.
අසූව දශකයේ මැද භාගය වන විට අඟහිඟකම්වලින් එතරවීමට බොහෝදෙනෙක් තෝරා ගනු ලැබූයේ මැදපෙරදිග රටවල්වල රැකියාවල නිරතවීමට ය. මා පදිංචි වී සිටි ගල්කිස්ස ගමේ ද එසේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකියාවක් නොලැබූ රැකියා විරහිත ස්ත්‍රී පුරුෂ පිරිසක් සිටින ලදි. ඒ අතුරින් විවිධ වෘත්තීන් සඳහා මැදපෙරදිග රටවල් වෙත රැකියාවන් සඳහා යොමු වූ අයද සිටියේ ය. ඔවුන් වසර කිහිපයක් ඉක්මයත්ම නැවත දිවයිනට පැමිණ පළමුවෙන්ම සිදු කරන්නේ, තම නිවාස නවීකරණයට පත් කර ගැනීමයි. නිවාස නොමැතිව සිටි අය නව නිවාස තනා ගැනීමට යොමු වන අවස්ථාද වෙති. මේ සෑම නිවසකම ආලින්දයෙහි රූපවාහිනී යන්ත්‍රයක්, ගුවන් විදුලි යන්ත්‍රයක් මෙන්ම විදුලි පංකාවක් තිබීමත් අනිවාර්ය අංගයකි. එසේ පැවති සමාජ සංස්කෘතියෙහි පැතිකඩක් එම්. එස් ප්‍රනාන්දු මහතා ගී පද සංකල්පනාවකට පෙරළුවේ “මම එන්නේ ඩුබායි රටේ ඉඳලා” ලෙසිනි. මේ අයුරින් ජීවන පරිසරය ඇසුරින් එම්. එස් ප්‍රනාන්දු නිර්මාණය කළ ගීත බොහෝමයකි. එවැනි ගීත මෙරට පොදු ජනතාව ආදරයෙන් වැලඳ ගනු ලැබුවේ, එම ගීතවල තම ජීවන අත්දැකීම් ද වැඩි වැඩියෙන් පැවතුණු බැවිණි.
වොලී බැස්ටියන් මෙරටට හඳුන්වා දුන් බයිලා ගායනය කලාවක් බවට පත් කර, එම කලාව ප්‍රචලිත කළේ එම්. එස් ප්‍රනාන්දු විසිනි. වර්ෂ 1975 දී ගීත දහසක් භාෂා පහකින් තැටිගත කිරීමත්, චිත්‍රපටි සියයකට පසුබිම් ගායනයෙන් දායකවීමත් වෙනුවෙන් කොළඹ කලා කවය විසින් එම්. එස් ප්‍රනාන්දු වෙත රන් නෙළුම් මලක් ප්‍රධානය කෙරිණි. එම ප්‍රධානය සිදු වී තිබෙන්නේ විශේෂ උපහාරයක් ද සහිතව එවක ජනාධිපති ධූරය හෙබවූ විලියම් ගොපල්ලවගේ ප්‍රධානත්වයෙනි.
ශාස්ත්‍රීය සංගීතයත් බයිලා සංගීතයත් මනා ලෙස හදෑරූ ඔහු කිසි විටකත් ශාස්ත්‍රීය සංගීතය ගැරහුමකට ලක් නොකළේ ය. ඔහු විශ්වාස කළේ ශාස්ත්‍රීය සංගීතයත්, බයිලා සංගීතයත් එකසේ ජීවත් විය හැකි බවයි. එම සංකල්පයද ගුරුතැන්හි තබා ඔහු විසින් ශාස්ත්‍රීය සහ බයිලා සංගීත පද්ධති ද්විත්වයම සම්මිශ්‍රණය කර, නව ආරක ගීත ගණනාවක් මෙරට ගීත ඉතිහාසයට එක් කරනු ලැබුවේ ය. “බෝල බෝල මැටි එක එක ගේනවා” “රන්වන් වත බැබළෙන්නේ”, “ඔබ දකින දකින දිනක මහද” ආදී සුමියුරු ගීත ඒ අතර වේ.
බයිලා චක්‍රවර්තී ලෙසින් විරුදාවලිය ලත් එම්. එස් ප්‍රනාන්දු ගීත ගායනයට පමණක් නොව, පද රචනයටත්, තනු නිර්මාණයටත් එකසේ නිපුණතාවක් දැක්වී ය. මෙවැනි කලාකරුවන් හඳුන්වන්නේ, වාග්ගේයකාව්‍යකරුවන් ලෙසිනි.